ඉඩම මොකවුවත් ගෝවා වැවේ | Page 2 | සිළුමිණ

ඉඩම මොකවුවත් ගෝවා වැවේ

 ගෝවා Brassica oleracea යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන ලොව පුරා ප්‍රචලිත එළවළුකි. මෙය ශ්‍රී ලංකාවේද වසර පුරා පහසුවෙන් වගා කළ හැකි බෝගයකි .එමෙන්ම වගා නඩත්තුව හා අස්වනු නෙළීමද පහසුය. පෝෂණ අගයද ඉහළය.එහෙයින්ම ගෝවා මෙරට වගාකරුවන් අතර මෙන්ම පාරිභෝගිකයන් අතරද ප්‍රසිද්ධ වූවකි.

පස සහ දේශගුණය

ගෝවා වාණිජ වගාවක් ලෙස වඩාත් ප්‍රචලිත වී ඇත්තේ සීත කලාපයේය. එහෙත් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ සුදුසු ප්‍රභේදයක් වගා කරන්නේ නම් වියළි කළාපයේදී ද සරු අස්වැන්නක් ලබා ගත හැකිය.සාරවත් පසක් තිබීම සරු අස්වැන්නකට හේතු වන තවත් ප්‍රධාන සාධාකයකි.

මෙහිදී වඩාත් යෝග්‍ය වනුයේ පි.එච්.අගය 6-6.5 වන කාබනික ද්‍රව්‍යයෙන් පොහොසත් පසකි.එහෙත් පවතින පස ඉහළ ආම්ලික ස්වභාවයකින් යුක්ත නම් හෙක්ටයාරයට ටොන් 2ක අළු හුනු එක් කරමින් ගෝවා වගා කිරීමට සුදුසු වන පරිදි බිම සකසා ගත හැකිය.

වගාව ආරම්භයේදී පස පෙරළා ක්ෂේත්‍රය හොඳින් සැකසිය යුතුය. එහිදී සෙන්ටිමීටර් 30-40 පමණ ගැඹුරට පස පෙරළීම යෝග්‍ය වේ. එමඟින් පසෙහි පාංශු ව්‍යුහය වැඩිදියුණු වේ.

ප්‍රභේද

වගාවට අවශ්‍ය වන සියලු සාධක ලබා දුන්නද සුදුසු ප්‍රභේදයක් තෝරා නොගන්නේ නම් බලාපොරොත්තුව වන අස්වැන්න ලබා ගත නොහැකිය. එහෙයින් වගාවට යෝග්‍ය ප්‍රභේදය තෝරා ගැනීම පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත්ය. එනම් වගාව ආරම්භ කරන ප්‍රදේශය අයත් කෘෂි දේශගුණික කලාපයට නිර්දේශ කළ ප්‍රභේදයක් තෝරා වගා කිරීම කළ යුතුය.

උඩරට තෙත් කලාපය සඳහා නිර්දේශිත ප්‍රභේද වන්නේ එක්සෝටික් සහ හර්කියුලස් යන ඒවාය.මැදරට ප්‍රදේශයේ ගෝවා වගාව ආරම්භ කරන්නේ නම් වගා කළ යුතු වන්නේ ඒ.එස්.ක්‍රොස් හා කේ.වයි.ක්‍රොස් ය.එමෙන්ම එක්සෝටික් මැදරට ප්‍රදේශයේද වගා කළ හැකිය.

හර්කියුලස් යනු කොළ වර්ණයෙන් යුත් වඩාත් තද ස්වාභාවයකින් යුක්ත රවුම් ඵල හට ගන්නා ප්‍රභේදයකි.සාමාන්‍යයෙන් ඒවා සිටුවා දින සියයකින් පමණ ඵලදාව ලබා ගත හැකිය.

ඒ.එස්.ක්‍රොස් සහ කේ.වයි.ක්‍රොස් ප්‍රභේද වලින් ඵලදාව ලබා ගත හැක්කේ සිටුවා දින80- 90ක් පමණ ගත වූ විටය.

එහෙත් එක්සෝටික් ප්‍රභේදයේ ගෝවා වගාවකින් දින 80 කින් පමණ ඵලදාව ලබා ගත හැකිය.

මේ නිර්දේශිත ප්‍රභේද කාලයෙන් කාලයට වෙනස් වේ.මන්ද කෘෂි පර්යේෂණයන්ගේ ප්‍රගමනයත් සමඟින් කෘෂි පර්යේෂකයින් විසින් පවතින ප්‍රභේදයන්ගේ දුර්වලතා හඳුනාගෙන වැඩි දියුණු කළ නව ප්‍රභේදයන් ක්ෂේත්‍රයට නිරතුරුවම හඳුන්වා දෙනු ලැබේ.එහෙයින් වගාව ආරම්භයට ප්‍රථම දැනට පවත්නා නව ප්‍රභේද පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් වේ.

තවාන් සැකසීම

පැළ තවානක මූලික අරමුණ ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු නීරෝගී පැළ ලබා ගැනීමයි.මෙහිදී තවාන සැකසිය යුත්තේ පෙර කන්නයේ ගෝවා කුලයේ බෝගයක් වගා නොකළ බිමකය.මන්ද එවන් බිමක ගෝවා වලට ආසාදනය වන රෝග කාරකයින් පසෙහි රැඳී සිටිමේ අවධානමක් ඇති හෙයිනි.එමෙන්ම තවාන් බිමට හොඳින් හිරු එළිය ලැබිය යුතු අතර ජලය හොඳින් බැස යන ආම්ලික නොවන පසක් තිබිය යුතුය.පාත්ති සැකසිය යුත්තේ මීටර් 1 × 3 ප්‍රමාණයටය .පාත්ති වල උස මීටර 12-15 පමණ වීමත් එහි උසින් අඩක් පමණ කොම්පෝස්ට් හා මතුපිට පස් (top soil) 1:1 වන පරිදි පිළියෙළ කල මිශ්‍රණයකින් පිරවීමත් කළ යුතුය.ගෝවා බීජ පැළ කළ යුත්තේ පේළි අතර පරතරය සෙන්ටිමීටර 10 ක් වන පරිදිය.තවද බීජ සෙන්ටිමීටරයකට වඩා අඩු ගැඹුරකින් පසේ සිටුවීම කළ යුතුය.බීජ සිටවූ පසු වසුනකින් වැසීම වැදගත්ය .එම වසුන බීජ පැළ වූ පසු ඉවත් කිරීම සුදුසුය.පැළ දැඩි කිරීම එනම් පැළ සිටුවීමට නියමිත ක්ෂේත්‍රයේ තත්වයන්ට සුදුසු පරිදි පැළ පුහුණු කිරීම ඇරැඹිය යුත්තේ සිටුවීමට දින දහයකට පමණ ප්‍රථමවය.එහිදී පැළ ක්‍රමයෙන් හිරු එළියට නිරාවරණය වන කාල සීමාව වැඩි කළ යුතුය.

ක්ෂේත්‍රයේ පැළ සිටුවීම

තවාන් දමා මාසයකට පමණ පසු නීරෝගී පැළ ගලවා ක්ෂේත්‍රයේ ස්ථාපනය කළ යුතුය.

එහිදී පේළිය තුළ පැළ සිටුවිය යුත්තේ සෙන්ටිමීටර හතලිහක පරතරයකිනි .එහෙත් පේළි දෙකක් අතර පරතරය සෙන්ටිමිටර පනහක් විය යුතුය.

පොහොර යෙදීම

පැළ සිටුවීමට දින හතකට පෙර කුකුළු පොහොර පස් සමඟ මිශ්‍ර කර ඉන්පසුව නිර්දේශිත පොහොර වර්ගයක් නැවත පැළ සිටුවීමට දින දෙකකට පෙර ක්ෂේත්‍රයට එක් කළ යුතුය. ආම්ලික පසක් නම් අළුහුණු එක් කළ යුත්තේ පැළ සිටුවීමට සති දෙකකට පෙරය.ඉන්පසු පැළ සිටුවා සති දෙකෙන් ,පහෙන් සහ සති අටෙන් පොහොර යෙදීම කළ යුතුය.

ජල සම්පාදනය.

පැළ සිටවූ මුල් දින වල දිනකට දෙවතාවක් ජලය දැමිය යුතුය .එහෙත් පසුව දිනකට වරක් ජලය දැමීම ප්‍රමාණවත් වේ.එමෙන්ම ගෙඩි වර්ධනයට ක්‍රමවත් ජල සැපයුමක් අනිවාර්ය වේ.

රෝග හා පලිබෝධ පාලනය.

බරවා රෝගය ගෝවා වගාවට බලපාන ප්‍රධාන රෝගී තත්ත්වයයි. Plasmodiophora brassicae නමැති දිලීර විශේෂයෙන් මෙම රෝගය ආසාදනය වේ.පසේ ආම්ලික බව වැඩි වීම රෝගය ව්‍යාප්ත වීමට බලපාන ප්‍රධාන සාධකයකි .එයට අමතරව දියමළන් කෑම ,යටිපුස් රෝගය ,පත්‍ර පුල්ලි රෝගය ආදී රෝගී තත්වයන් ගෝවා වගාවකට බහුලව වැළඳෙන රෝගී තත්වයන්ය.එහෙත් යහපත් කෘෂි වගා පිළිවෙත් මඟින් මේ රෝගී තත්ත්වයන් පහසුවෙන් මඟ හරවා ගත හැකිය.ශෂ්‍ය මාරු ක්‍රමයට වගා කිරීම,පස ආම්ලික බවින් තොර දිය සීරාව නොරැඳෙන පසක් වීම මෙහිදී වැදගත් කරුණු වේ. තවද කියත් පණුවා ,දියමන්ති සලබයා ,ගෙඩි විදින සලබයා හා කොළ කන දළඹුවා ආදීන්ගේ හානි ඇති විය හැකි අතර එහිදී නිර්දේශිත පළිබෝධනාශකයක් භාවිතයෙන් එම හානිය මර්දනය කරගත හැකිය.

අස්වනු නෙළීම හා ප්‍රවාහනය

අස්වැන්න නෙළන අවධිය ප්‍රභේදය අනුව වෙනස් වේ. අස්වනු නෙළය යුත්තේ උදය කාලයේදීය. තියුණු සැතක් භාවිතයෙන් ගෙඩි වෙන් කර ගත යුත්තේ ගෙඩියට අවම හානියක් වන පරිදිය. අස්වැන්න සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් හතළිහක් පමණ වේ. වගාකරුවන් කෙතරම් හොඳින් වගාව රැක බලා එයින් ඉහළ අස්වැන්නක් හිමි කර ගත්තද ප්‍රවාහනයේදී සිදුවන හානි අවම කර නොගන්නේ නම් උපරිම ආර්ථික වාසි ලබා ගත නොහැකි වන්නේය.එහෙයින් නිසි ප්‍රවාහනය වැදගත් වේ.මෙහිදී අස්වැන්න සුදුසු පරිදි ශ්‍රේණි ගත කළ පසු ඒවා ඇසිරිය යුත්තේ හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි කූඩ හෝ ගෝනි තුළය. එමෙන්ම නොතැ­‍ෙළන පරිදි වෙළෙඳපොළ කරා හැකි ඉක්මනින් ප්‍රවාහනය කිරීම ඉතාමත්ම වැදගත්ය.

උමයංගනා පූජනී ගුණසේකර
රුහුණ විශ්වවිද්‍යාලය

Comments