Daily News සියවස සපුරයි | Page 4 | සිළුමිණ

Daily News සියවස සපුරයි

 ලේක් හවුස් ආයතනයේ දිනපතා ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රය වන ‘ඩේලි නිවුස්’ පුවත්පතට ජනවාරි 03 වැනිදාට වසර 100ක් සපිරෙයි. ඒ වෙනුවෙන් පුවත්පතේ ඉතිහාසය ඇතුළු වැදගත් කරුණු රැසක් සංග්‍රහ කළ පිටු 100ක විශේෂ අතිරේකයක් පාඨකයන් වෙත පිරිනැමීමට කටයුතු යොදා ඇත.

1918 ‘ක්‍රවුදර්’ නම් ඉංග්‍රීසි ජාතික කතුවරයා යටතේ ආරම්භ කෙරුණු පුවත්පත මේ දක්වා මෙහෙයවා ඇති කර්තෘවරුන් සංඛ්‍යාව 26කි. ‘ඩේලි නිවුස්’ පුවත්පතේ වත්මන් කතුවරයා ලෙස කටයුතු කරන්නේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලලිත් අලහකෝන් මහතාය. ඉංග්‍රීසි පාලන කාලයේ ‘සිලනිස්’ ලෙස පැවති පුවත්පත ලේක්හවුස් නිර්මාතෘ ඩීආර් විජයවර්ධන මහතාගේ උපදේශකත්වයෙන් ‘ඩේලි නිවුස්’ නමින් අලුත් පුවත්පතක් ලෙස ජනතාව අතට පත් කෙරිණි.

එදා-මෙදා තුර ඉංග්‍රීසි පාලන සමයේ මෙන්ම නිදහසේ හා නිදහසින් පසු යුගයන් පුරා සියලු සමාජ ක්‍රියාකාරකම්, ආණ්ඩු පත් වීම් - පෙරළීම්, නායකයන්ගේ පත් වීම් - සමු ගැනීම්, කැරලි සහ එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම ආදි සියලු පුවත් ඒ අයුරින්ම වාර්තා කරමින් මෙරට ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයන් දැනුම්වත් කිරීමේ මෙහෙවර මැනැවින් ඉටු කිරීමට ‘ඩේලි නිවුස්’ පුවත්පත සමත් විය. 1973 වසරේ ලේක්හවුස් ආයතනය රජයට පවරාගන්නා තෙක් ස්වාධීන පුවත්පතක් ලෙස කටයුතු කළ අතර, ඉන් පසු විවිධ කර්තෘවරුන්ගේ ප්‍රතිපත්තිවලට සමගාමීව අදාළ මතවාද සමාජගත කිරීමේ වගකීම එය ඉටු කරමින් සිටී.

‘ඩේලි නිවුස්’ රජයේ ප්‍රවෘත්ති පත්‍රයක් ලෙස සමාජ සාධාරණත්වය හැකි උපරිමයෙන් ඉටු වන පරිදි ප්‍රවෘත්ති සහ විශේෂාංග රැසක් සමඟින් දැනුම හා වින්දනය එක්තැන් වූ යහපත් මාධ්‍ය කලාවක් වෙනුවෙන් කැප වුණු පුවත්පතකි. එය මේ වන විට සාපේක්ෂ වශයෙන් යළිත් නිදහස් මාධ්‍යයක් ලෙස කටයුතු කරන අතර, දකුණු ආසියාවේ වසර 100ක් අඛණ්ඩව පැවති පුවත්පතක් ලෙසද ‘ඩේලි නිවුස්’ පුවත්පත වාර්තාගත වී තිබේ. 

Comments