මේ වසර ජාතික ආහාර නිෂ්පාදන වර්ෂයයි | Page 2 | සිළුමිණ

මේ වසර ජාතික ආහාර නිෂ්පාදන වර්ෂයයි

 ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් ගොවියාට සැලැසෙන සේවා සම්බන්ධයෙන් ‘සිළුමිණ’ ට අදහස් දැක්වීය.

* ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුවේ කවදාද? කුමන අරමුණකින්ද?

ශ්‍රී ලාංකික ගොවිජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් 1957 ඔක්තෝබර් 01 දින ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ එතෙක් පැවැති ආහාර දෙපාර්තමේන්තුව අහෝසි කරමිනුයි. 1958 අංක 01 දරණ කුඹුරු පනතින් බල ගන්වන ලද මේ දෙපාර්තමේන්තු‍ව මේ වන විට 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත හා එහි සංශෝධනයන් අනුව ක්‍රියාත්මක වෙනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු හා ප්‍රධාන කාර්යයන් රාශියක් කියනවා‍.

රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට අනුකූලව කෘෂිකාර්මික ඉඩම් යෙදවීමට අදාළ විධි විධාන සැලැස්වීම ඉඩම් යෙදවී‍මට කෘෂිකාර්මික ඉඩම් හිමියන්, ගොවීන්, අඳ ගොවියන්ගේ වගා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන විධිවිධාන ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධ නියෝග සෑදීම සහ එම විධිවිධාන ක්‍රියාත්මක වීම තහවුරු කිරීම, ගොවිජන සංවර්ධන සභා ස්ථාපිත කිරීම සහ ඒවායේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මඟ පෙන්වීම හා අධීක්ෂණය දිවයින පුරා පවත්නා සෑම ගොවිජන සංවර්ධන සභා බල ප්‍රදේශයකටම අදාළව කෘෂිකාර්මික ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් කෘෂිකාර්මික ඉඩම් නාමලේඛන පිළියෙල කර සංශෝධන හා ප්‍රතිශෝධනය කර පවත්වාගෙන යෑම, කෘෂිකාර්මික ඉඩම්වලට අදාළ අඳ ගොවි ගැටලු සහ වෙනත් ගොවි ආරවුල් විසඳීම සඳහා කටයුතු කිරීම, සුළු වාරි කර්මාන්ත සහ ජල ප්‍රභවයන්ගේ ඵලදායිතාව ආරක්ෂාව, සංරක්ෂණය සහ කළමනාකරණයට අදාළ වන විධිවිධාන ක්‍රියාත්මක කිරීම, ගොවිජන සංවර්ධන පනත හා රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන පාර්ශ්වයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම රජයේ කෘෂිකාර්මික හා කාලීන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වෙනත් ආයතන වෙත අවශ්‍ය වන්නා වූ ආයතනික නෛතික සහාය හා කළමනාකරණ සේවාවන් සැලැසීම ආදිය මෙහි අරමුණු හා ප්‍රධාන කාර්යයන් වෙනවා.

ශ්‍රී ලාංකික ගොවිජන සමාජයේ හා සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසාර සංවර්ධනය මෙහි ඉදිරි දැක්මයි‍.

ශ්‍රී ලාංකික ගොවිජන සමාජයේ තිරසාර සංවර්ධනය හා සියලු කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ත ඵලදායිතාවක් ලබාගත හැකි වන පරිදි ආයතනික සහායක නෛතික හා කළමනාකරණ සේවාවන් සැකසීම හා කාලානුරූපව ‍පවත්වාගෙන යෑම මෙහි මෙහෙවර ප්‍රකාශය වෙනවා.

* ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගමනය හා වර්තමාන විකාශනය ගැන කිවොත්...

පසුගිය ඔක්තෝබර් 01 දා මෙහි 60 වන සංවත්සරය සැමරුවා. වර්ෂ 1957 දී දෙපාර්තමේන්තුවේ සේවක ‍මණ්ඩලය 1061 වුණා. වර්තමානයේ 14000 පමණ වෙනවා.

1958 ආරම්භ කරනු ලැබූ විවිධ සේවා සමුපකාර ව්‍යාපාරය 1956, අග වන විට සමිති 4000 දක්වා, ඉහළ නංවාගැනීමට හැකි වුණා. මෙමඟින් ගොවීන්ට අවශ්‍ය වගා ණය, පැළ සිටුවීමේ ණය, අස්වැන්න නෙළාගැනීමේ ණය, අලුතින් ඉඩම් අස්වැද්දීමේ ණය, හරකුන් මිලට ගැනීමේ ණය, පොහොර ණය, ළං තැනීම, ගොවි උපකරණ මිලට ගැනීම් ණය, කෘෂිද්‍රව්‍ය රැස් කර තැබීමේ ප්‍රවාහනය, ණය, කෘෂි රසායන ද්‍රව්‍ය හා ඉසින යන්ත්‍ර ගැනීමේ ණය ගොවිතැනට ජලය සැපයීමේ ණය ආදී වශයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට සපයා ඇති ණය මුදල රුපියල් 13,924,172ක් වුණා.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පස්වෙනි වසරට එළඹීමත් සමඟම, දෙපාර්තමේන්තු කාර්යයන්ට අදාළ වැදගත් ව්‍යවස්ථා තුනක් සම්මත වුණා. 1961 අංක 13 දරණ වගා රක්ෂණ පනත, 1961 අංක 13 දරන වගා රක්ෂණ පනත, 1961 අංක 33 දරන කෘෂි ද්‍රව්‍ය නිෂ්පාදන පනත, 1961 අංක 61 දරන කුඹුරු සංශෝධන පනත ආදී වශයෙන්.

1960-61 මහ හා 61 යල් කන්නයන් හිදී වගා කරන අක්කර 1,471,985 ප්‍රමාණය සමඟ සංසන්දනය කර බලන විට 1961–62 යල් කන්න‍යන්හිදී වගා කරන ලද අක්කර ප්‍රමාණය 1,535,932 දක්වා වැඩි වෙලා තියෙනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක 25ක කාර්යාල 25 තියනවා.

ගොවිජන සේවා මධ්‍යස්ථාන ලංකාව පුරාම 56 තියනවා. සංවර්ධන කමිටු තියනවා. කෘෂිකර්ම, පර්යේෂණ හා සංවර්ධන සහකාර නිලධාරීන් 9,000 සිටිනවා. කුඹුරු, පනත ක්‍රියාත්මක කිරීම පමණයි. ඒ කාලේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පැවැතියේ. දැන් කුඹුරු සම්බන්ධයෙන් පමණක් නොව පුළුල් පරාසයක ක්‍රියාත්මක වෙනවා.

කුඹුරුවල අයිතිය සම්බන්ධයෙන් විශේෂයෙන් කුඩා වාරිමාර්ග, කෘෂිකාර්මික පාරවල්, කෘෂිකාර්මික කුඩා වැව් අමුණු සංවර්ධන කටයුතු, අනෙකුත් යටිතල පහසුකම් ගම් මට්ටමින් සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යෑමේ වගකීම තියනවා.

වී වගාව සම්බන්ධයෙන් බිත්තර වී සැකසීම, පොහොර බෙදාහැරීමේ කටයුතුවලට මැදිහත් වීම, අනෙකුත් පොහොර සහනාධාර ලබාදීම, කෘෂිකාර්මික තොරතුරු, ලබාදීම ආදිය ද ක්‍රියාත්මක කරනවා.

* ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් ගොවීන්ට සැලැසෙන සෙත සම්බන්ධයෙන් පැහැදිලි කරන්න.

ලංකාව පුරාම කුඩ‍ා වාරිමාර්ග 35,000ක් තියනවා. ඒ අතරින් 25,000ක් ප්‍රතිසංස්කරණය කළයුතු මට්ටමේ තියෙනවා.

2017 වසරේ වැව් අමුණු ප්‍රතිසංස්කරණයට ලැබුණු මිලියන 4500ක් මුදලින් වැව් අමුණු 1000ක් පමණ ප්‍රතිසංස්කරණය කළා. කෘෂි පාරවල් 1500ක් පමණ මෙන් ම කෘෂිකාර්මික වගා ළිං 2000ක් ප්‍රතිසංස්කරණය කළා.

එමෙන් ම නීතිමය, පැත්තෙන් ගොවීන්ගේ ගැටලු, ඉඩම් අයිතිය අඳ අයිතිය ගැන බලය තියෙන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවටයි. ගොවිජන විනිශ්චය සභා පිහිටුවා තියෙනවා. අවශ්‍ය නීති ගැටලු විසඳීමට අභියාචනා කිරීමට, ගොවිජන සමාලෝචන මණ්ඩල කොළඹ පිහිටා තියෙනවා.

ගොවීන්ට අවශ්‍ය බිත්තර වී, පෝර ගෙවතු වගාවට අවශ්‍ය පැළ ලබාදීම, වී වගා කිරීමට නොහැකි කුඹුරුවල කෙටිකාලීන භෝග, එළවුළු, පලා වර්ග සිටුවීමට පහසුකම් ලබාදීම.

පුරන් කුඹුරු අස්වැද්දීමක් සඳහා 2016 වසරේ ලංකාව පුරා ‘ගම්දොර’ නමින් වැඩසටහනක් ආරම්භ කළා. මින් 150,000 පමණ පුරන් කුඹුරු හඳුනාගන්න.

එයින් 110,000ක් පමණ වගා කළ හැකි මට්ටමේ තියෙනවා. වී ඇතුළු එළවුළු, අලවර්ග, කොළ එළවුළු වගා කළ හැකියි. තවත් අක්කර 20,000ක් තියෙනවා.

* වගා සංග්‍රාමය මඟින් කෘෂි ක්ෂේත්‍රයේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ විස්තර කළොත්‍...

නියඟය නිසා, ආහාර නිෂ්පාදනය අඩාළ වූවා. ඉන් ප‍ීඩාවට පත් වූ ජනතාව ඉන් මුදාගැනීමේ අරමුණින්, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ සටන වගා සංග්‍රාමයයි. ඒ වගේම ගංවතුර නායයෑම් සෝදා පාළුව නිසාද වගාවට මහත් සේ හානි වුණා. වගා සංග්‍රාමය යටතේ රාජ්‍ය සේවයේ ගෙවතු 25000ක් වගා කිරීම, පුරන් කුඹුරු අක්කර 130,000ක් අස්වැද්දීම ඉපනැල්ලේ වවමු. වැඩසටහන යටතේ තුන් වැනි කන්නයක් යටතේ කවුපි, මුං වගාව වියළි කලාපයේ පොල් අක්කර 10000ක් වගාකිරීම සිතමු.

කාන්තා ගොවි සමිති සාමාජිකාවන්ගේ ගෙවතු 500,000ක් වගාවට සූදානම් කිරීම, නාගරික වගා සංග්‍රාමය, වැව් 1000ක් ප්‍රතිසංස්කරණය, වගා ළිං 2000 ප්‍රතිසංස්කරණය, අතහැර දමන ලද ඉඩම් වාණිජ වගාවට යෙදීම, කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණයට ලක්ෂ 12,000ක්, ආගමික සිද්ධස්ථානවල පලතුරු හා පොල් වගාව ප්‍රචලිත කිරීම නෙළාගන්නා එළවළු හා පලතුරු අස්වැන්නෙන් 40% ශීතාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් විනාශ වන අතර එම හානිය අවම කිරීමට ශීතාගාර ඉදිකිරීම, අක්කර 100 හරිතාගාර ස්ථාපනය කිරීම ආදී පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

‍වගා සංග්‍රාමය 2017 - 2020 යටතේ එල්ලංගා පද්ධතිය (වැව්) (cascade) ක්‍රියාත්මක කරන්න මුදලක් වෙන් කරලා තියනවා. එසේ ම කෘෂි රක්ෂණ මණ්ඩල මඟින් ගොවි රක්ෂණ කටයුතු සඳහා අපේ කෘෂිකර්ම නිලධාරීන් තමයි සහාය වන්නේ. කුඩා වැව් අමුණු ප්‍රතිසංස්කරණය යටතේ රොන් මඩ ඉවත්කිරීමට අය-වැයෙන් මුදලක් වෙන් කරලා තියෙනවා. ජනාධිපතිතුමා දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා මේ වසර ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය කියලා.

නිශානි ලසිතා
හේරත් බන්නැහැක
සේයාරුව - තුෂාර ප්‍රනාන්දු 

Comments