
ලාංකේය ක්‍රීඩා කෙත නිරන්තරයෙන් ම පෝෂණය කරනු ලබන තවාන් බිම, තිඹිරිගෙය පාසලය. ලාංකේය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි, වොලිබෝල්, පාපන්දු, දැල් පන්දු සහ පිහිනුම් ක්‍රීඩාවන්ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙකී ක්‍රීඩා ඉලක්ක කරගත් සම්මාන උළෙලවල් අතර, අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) නැතහොත් පත්තර මහ ගෙදර සංවිධානය කරනු ලබන සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ඇගැයීමේ සම්මාන උළෙලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.
වාණිජ පරමාර්ථ මුල් කරගත් සමාජ ක්‍රියාකාරකම් අතු ඉතිසේ දලු ලා වැඩෙන ලාංකේය භූමිය මත ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙල යනු අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන් කරළිගත කිරීමේ උදාරතර සද්කාර්යයක් බව නොරහසකි. ලාංකේය ධජය යටතේ ජාත්‍යන්තර ටෙස්ට් - එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් ක්ෂේත්‍රයට විශිෂ්ටයන් රැසක් කරළිගත කළ සම්මාන උළෙල ලෙසද මෙකී සම්මාන උළෙලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මුල් කාල වකවානුවේ මෙකී සම්මාන උළෙලේ ජයග්‍රහණ කොළඹට කේන්ද්‍ර ගත වුවද පසුගිය කාල පරිච්ඡේදයේ කොළඹ අභිබවා යාම තුළ අර්ධ නාගරික සහ ග්‍රාමීය අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද නව ජවයක් වී තිබේ.
මෙවර හතළිස්වන වරටත් කරළිගත වන මෙකී සම්මාන උළෙලට ශ්‍රී ලංකා ක්‍රිකට්, ලකුණු සටහන් කරුවන්ගේ සංගමය, පාසල් ක්‍රිකට් සංගමය සහ ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය ද සුපුරුදු පරිදි සිය දායකත්වය එක් කරති.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස ඉමහත් කීර්තියක් දිනා සිටින රන්ජන් මඩුගල්ලේ ගෙන් සමාරම්භය සටහන් වූ මෙකී සම්මාන උළෙලේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටයන් අතර අර්ජුන රණතුංග සහ මුරලිට හිමිවන්නේද සුවිශේෂි ස්ථානයකි. මුරලි ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන විට ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් මුරලිට එරෙහිව ක්‍රියාත්මක කළ පන්දුව දමා ගසනවා යැයි කියූ කුමන්ත්‍රණය ඉදිරියේ නායකයකු ලෙස අර්ජුන රණතුංග දියත් කළ සටන නොවන්නට, මුරලි ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් නොවන්නට ද තිබුණි. එකී මෙකී සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අංකුර ලෙස ගොඩ වූ එකම වේදිකාව ද මෙය ලෙස හැඳින්විය හැකිය.
ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව හතර ගාතින් ගමන් කරන මොහොතක මෙකී සම්මාන උළෙල ක්‍රිකට් අංකුරවලට වේදිකාවක් බවට පත්ව තිබේ. මෙකී කරලියට පැමිණෙන අංකුර ක්‍රීඩකයන්ට ඔබ්සර්වර් මොබිටෙල් සම්මාන උළෙල සිහිනයක් නොව යථාවක් වනු දැකීම අපගේ අරමුණය.

මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම මුලින්ම දස්කම් දැක්වූයේ පාසල් තරගවලදීය. එම දක්ෂතා අගය කරමින් වාර්ෂික සම්මාන ප්‍රදානය කිරීම ලේක්හවුස් ආයතනයේ ඔබ්සර්වර් පුවත්පත විසින් සිදුකරනු ලබයි.
මෙම පාසල් ක්‍රිකට් සම්මාන උළෙලට ගතවූ වසර 11 ක කාලයක් පුරා පිට පිටම ප්‍රධාන අනුග්‍රහකත්වය සැපයුවේ මොබිටෙල් ආයතනයයි. 2018 වසර සඳහාත් අනුග්‍රාහකත්වය ලබා දීමට මොබිටෙල් ඉදිරිපත් වී සිටියි. 2018 ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙල වෙනුවෙන් අදාළ අනුග්‍රාහකත්වය මොබිටෙල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නලින් පෙරේරා මහතා විසින් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතාට පිරිනැමූ අයුරු.

බන්දුල ජයමාන්න










