වසරේ අවසන් බොක්සිං සටනේ ජය හෝර්න්ට | සිළුමිණ

වසරේ අවසන් බොක්සිං සටනේ ජය හෝර්න්ට

මෙම වසරේ ඉතා තීරණාත්මක අවසන් බොක්සිං තරගය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පවත්වනු ලැබීය. එය පැවැත්වූයේ ලෝක බොක්සිං සංවිධානයේ වෙල්ටර්වේට් කිරුළ සඳහාය.

එහිදී තරග කළේ වත්මන් ශූරයා වන ඔස්ට්‍රේලියාවේ ජෙෆ් හෝර්න් සමඟ බ්‍රිතාන්‍යයේ ගැරී කෝර්කෝරන්ය. තරගය නිමා වූයේ 29 හැවිරිදි හෝර්න් 11 වන වටයේදී ගැරීව පරාජය කරමින්ය.

ඒ අනුව තවදුරටත් තම අපරාජිත බව රැක ගැනීමට හෝර්න් සමත් වූයේය. මේ වන විට හෙතෙම වෘත්තීයමය තරග 19 කට සහභාගි වී තිබේ. එහිදී ජයග්‍රහණ 18 කි. මින් 12 ක්ම තරග නිමාවීමට පෙර ලැබූ නොක්අවුට් ජයග්‍රහණයි. තරගයකට ජය පරාජයක් නැත.

මෙම ජයග්‍රහණයත් සමඟ ලබන වසරේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වන තරගයකට සම්බන්ධ වීමට හෝර්න්ට අවස්ථාව උදා වී තිබේ. ඒ තවත් අපරාජිත ශූරයකු වන ඇමෙරිකාවේ ටෙරෙන්ස් ක්‍රෝෆෝඩ් සමඟිනි.

30 හැවිරිදි ටෙරෙන්ස් තරග 32 කට තරග කරමින් ඒ සියල්ලම ජය ගැනීමට සමත් වී සිටියි. මින් 23 ක්ම නොක්අවුට් ජයග්‍රහණ වේ. ඔහු හිටපු ලෝක ශූරයෙකි. ඒ ලෝක බොක්සිං සංවිධානයේ ලයිට්වේට් (2014 - 15), ලයිට්වෙල්ටර්වේට් (2015 - 17) සහ ලෝක බොක්සිං සභාවේ ලයිට්වෙල්ටර්වේට් (2016 - 17) අංශයන්ගෙනි.

ලබන වසරේ දී හෝර්න් සහ ටෙරෙන්ස් අතර තරගය සිදුවුවහොත් එය ලෝක බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම මුදලක් ඉපයූ තරග අතරට එක්වනු ඇත.

හෝර්න් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවූයේ මෙම වසරේ ජුලි මාසයේදී සුපිරි ශූරයකු වන පිලිපීනයේ මැනී පැකියාවෝ පරාජය කළ විටදීය. එම අනපේක්ෂිත ජයත් සමඟම ලෝක බොක්සිං සංවිධානයේ වෙල්ටර්වේට් ශූරතාව ඔහුට හිමිවිය.

හෝර්න් බොක්සිං ක්‍රීඩාවට යොමු වූයේ විවිධ පුද්ගලයින්ගෙන් එල්ල වූ තාඩන පීඩනවලින් මිදීම සඳහාය. එය මේ වන විට සාර්ථක වී තිබේ. එමෙන්ම ඔහු ලෝක ශූරයෙක් බවටත් පත් කර අවසන්ය.

හෝර්න් ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. එමෙන්ම කාලයක් ශාරීරික අධ්‍යාපන පාසල් ගුරුවරයකු වශයෙනුත් සේවය කර තිබේ. 'සටන්කරන පාසල් ගුරුවරයා' හෙවත් ද ෆයිටිං ස්කූල් ටීචර් යන නාමය ඔහුට පටබැඳුණේත් ඒ නිසාමයි.

 

 

 

 

Comments