ජනාධිපති රන් කුසලාන යළිත් කටාන සහ කොස්වාඩියට | සිළුමිණ

ජනාධිපති රන් කුසලාන යළිත් කටාන සහ කොස්වාඩියට

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මෙවරත් විවෘත කාන්තා සහ පිරිමි කාන්ඩයන්හි ජය හිමිකර ගැනීමට කොස්වාඩිය විජය සහ කටාන ඒකාබද්ධ කණ්ඩායම් සමත් විය. වයස අවුරුදු 22 පහළ කාන්තා සහ පිරිමි කාණ්ඩයන්හි ජය බෝයගම සිරිපැරකුම් මෙන්ම නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායම් හිමිකර ගැනීමට සමත් විය.

ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලය දක්වා ඔසවා තබන ලාංකේය භූමියේ ප්‍රධානතම වොලිබෝල් තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙකී තරගාවලිය හා අත්වැල් බැඳගැනීම මේ අවසන් මහා තරගවලට එක්වූ ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට නව ජවයක් බව පැහැදිලිය.

මෙකී තරගාවලිය සඳහා දිවයිනේ සතර දිග්භාගයම නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ හාරදහසක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පනස්දහසකට අධික සංඛ්‍යාවක් අත්වැල් බැඳ ගත්හ. දිවයින පුරාම ග්‍රාමසේවා වසම් තුන්සියයක් පමණ ආවරණය වෙමින් මෙකී තරගාවලිය විහිදී පැවැත්වීම ද විශේෂත්වයකි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය විවෘත කාන්තා - පිරිමි සහ වයස අවුරුදු 22 න් පහළ කාන්තා - පිරිමි වශයෙන් පැවැත්වීම තුළ ග්‍රාමීය මට්ටමේ සිටම මෙකි තරගාවලියේ ආකර්ෂණීය භාවය මෙන්ම තරගකාරිත්වය ද ඉහළ යාමට හේතු වී තිබේ. එපමණක් ද නොව, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය හරහා ග්‍රාමසේවා මට්ටමින් ම ඉදිවෙන වේදිකාවට ගොඩවදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලය හරහා ජාත්‍යන්තරය දක්වා සිය ක්‍රීඩා කෞශල්‍යය ප්‍රදර්ශනය කිරීමට හැකි වටපිටාව සකසා ගැනීමට හැකිවීමද විශේෂත්වයකි. කුසලතා පිරි තරුණ ජවය ක්‍රීඩා පිටිය හරහා ජනගත කිරීමට ජනාධිපති රන් කුසලතා වොලිබෝල් තරගාවලිය කදිම තෝතැන්නකි.

 

තරගකාරීත්වය

නමුත් මෙයින් උපරිම ඵල ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව පමණක් නොව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද නෙලා ගත්තාද යන්න ගැටලුවකි. විවෘත කාන්තා සහ පිරිමි තරග දෙකම වට පහ බැගින් දිව ගියද, වොලිබෝල් ක්‍රීඩාවේ පැවැතිය යුතු ජීව ගුණය මේ අවසන් මහා තරග දෙක තුළදීම දක්නට නොලැබීම ලාංකේය ක්‍රීඩාව තව බොහෝ දුර යා යුතු බවට කදිම සාධකයකි.

 

78 සහ 115

පිරිමි ජාතික කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 78 සහ කාන්තා ජාතික කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 115 වැනි ස්ථානයන්හි පසුවන ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ලබන වසරේ සැලසුම් අතර ආසියාවේ පිරිමි කාන්ඩයේ 14 වැනි ස්ථානයේ සිට තවත් පියවර තුනක් ඉදිරියට පැමිණීමට බලාපොරොත්තු තබා ගෙන සිටියි. කාන්තා කණ්ඩායම ද ඒ ආකාරයෙන්ම ඉදිරියට පැමිණීමට අපේක්ෂිතය. නමුත් ජනාධිපති රන් කුසලාන විවෘත අවසන් මහා තරග ද්විත්වය දෙස විශේෂයෙන් අවධානය යොමු කිරීමේ දී වොලිබෝල් පාලකයන්ට බොහෝ දේ අලුතින් සිතීමට සිදුවන බව නම් රහසක් නොවේ.

ජනාධිපති රන් කුසලාන තරගාවලිය හෝ ජාතික ශූරතාවලිය ගත්ත ද මෙකී භූමිභාගයේ කුමන බාධක වැටකඩුළු අභියස වුවද පෙරට ගිය ද, මෙකී භූමිභාගයෙන් එළියේ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව අත්පත් කරගන්නා වූ ඉරණම් සහගත තත්ත්වයන් පිළිබඳ බලධාරින් මීට වඩා අවධානය යොමු කළ යුතුය. ලාංකේය සමස්ත ක්‍රීඩාව ම බිඳවැටී ඇති මොහොතක වොලිබෝල් ක්‍රීඩාවට පමණක් එයින් මිදීමට නොහැකි බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. මෙකී භූමිය තුළ කොතරම් තරගාවලි පැවැත්වුවද, මෙතැනින් එළියේ අප සිටින තැන දැනෙන්නේ තරගාවලියක් අවසානයේදීය. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අවසන් වරට එක් වූ ආසියානු තරගාවලි ද්විත්වයේදීම සිතූ තරම් දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ බව නොරහසකි. එකළොස්වැනි යොවුන් ආසියානු වොලිබෝල් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අටවටය පවා අහිමි වීමද බලධාරින්ගේ විශේෂ අවධානයට ලක්විය යුතු සාධකයකි.

 

යොවුන් ජවය කොහෙද

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 22 පහළ මන්චි ජාතික ශූරතාවලියේ ආධුනික තරගාවලිය, ජාතික තරුණ සේවා, රූපවාහිනි වොලිබෝල් තරගාවලියේ යොවුන් තරගාවලිය ගත්තද, වාර්ෂික එක්වන කණ්ඩායම් සංඛ්‍යාව සිය ගණනින් ඉහළ ගියද වොලිබෝල් ක්‍රීඩාවේ ඉස්මතුවීම නම් අල්ප බව පැහැදිලිය. මේවායේ අඩුපාඩු අතපසුවීම් හඳුනා ගැනීමට බලධාරින් මීට වඩා අවධානයක් යොමු කළ යුතුය.

දහවැනි යොවුන් ආසියානු තරගාවලියේදී පස්වැනි ස්ථානය හිමිකර ගත් ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව එතැනින් ගමන් කළ යුතුව තිබුණේ ඉදිරියටයි. මීට වසර තුනකට පෙර පස්වැනි ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර අටවැනි තැන පවා අහිමි වීම ලෙහෙසියෙන් අමතක කළ හැකි හෝ බැහැර කළ හැකි දෙයක් නොවේ. සිවු අවුරුදු සැලසුම යටතේ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවට බොහෝ දුරක් යා හැකි බව පැහැදිලිය. වඩා වටින්නේ මේවා වචනවලට ලඝු නොකර යථාවක් බවට පත්කර ගැනීමට හැකි වටපිටාව සකසා ගැනීමය.

 

අප සූදානම්ද

ආසියානු මට්ටමේ ගත්තත් අපේ පාසල් මට්ටම මුල් අවදියේ ඉතාමත් දියුණුයි. සාමාන්‍යයෙන් කණ්ඩායම් 4000 - 5000 ක් ක්‍රීඩා කරන තරගාවලි ඉතාමත් අඩුයි. අපේ පාසල් මට්ටමේ තරගාවලියට විශාල කණ්ඩායම් සංඛ්‍යාවක් එක්වන බවද පවසන වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක, නමුත් මේ තත්ත්වය වයස අවුරුදු 15 - 16 පමණවන විට ලාංකේය අධ්‍යාපනය සමඟ ගැටගැසී ඇති උපකාරක පන්ති ගිළගෙන ඇති බවද පවසයි. හෙතෙම වැඩිදුරටත් පවසන්නේ මේ තත්ත්වය ප්‍රතිපත්තිමය වශයෙන්ම වෙනස් විය යුතු බවය.

සමස්තයක් ලෙස ලාංකේය ක්‍රීඩාවේ කඩාවැටීමේ දිග පළල තේරුම් නොගන්නා තාක් කල් ඕනෑම ප්‍රශ්නයක් මඟහැර යා හැකිය. නමුත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වනවිට අපට වඩා ලෝකය බොහෝ දුර ගමන් කර තිබෙන බව සිතා ගැනීමටවත් නොහැකිවනු ඇත. ජනාධිපති රන් කුසලානය හරහා මතුවන දක්ෂතාවන්ට වඩාත් හොඳ මෙන්ම ශක්තිමත් වේදිකාවක් සාදා දීමට බලධාරීන්ට හැකිවිය යුතුය. එය මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය නිමාකර තවත් වසරකින් එකී තරගාවලියට පෙළ ගැසීමට වඩා වැදගත් වනු ඇත. ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ වත්මන් නියමුවා වන රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාට එකී හැකියාව සහ දිරිය ඇති බව දනිමු. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ පෙර ගමන්කරු විය යුතුයි.

 

 

බන්දුල ජයමාන්න

Comments