
නවකතා, කෙටිකතා හා කාව්‍ය පරිවර්තිකාවක මෙන් ම ගුවන්විදුලි වැඩසටහන් අධ්‍යක්ෂවරියක ද වන සීතා මහේන්ද්‍ර මහත්මියගේ ස-වන පරිවර්තන කෘතිය ‘ඉරි ඇඳුමේ සැඟවුණ කඳුළ‘යි. ජර්මනියේ හිට්ලර්ගේ නාසිවාදි වදහිංසාවලට ලක් වූ යුදෙව් ජනතාව ඉසිලූ අනේක ප්‍රකාර දුක්-දොම්නස් පිළිබඳ නවකතා හා සිනමා කෘති රැසක් බිහි විය. එ් වටා ගෙතුණු ඇතැම් කෘති විශාල වශයෙන් ජනප්‍රිය විය. සීතා මහේන්ද්‍ර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද, අයර්ලන්ත ජාතික John Boyne විසින් රචිත The Boy in the Striped Pyjamas නමැති මේ නවකතාවට පාදක වී ඇත්තේ ජර්මනියේ එක්තරා වඳ කඳවුරක ගාල් වුණු යුදෙව් දරුවකු හා ඒ කඳවුර භාරව සිටි නාසිවාදි සෙබළ නායකයකුගේ කුඩා දරුවා හා මිත්‍රසන්ථවයක් ඇති වූ ආකාරයත් අවසානයේ ඒ දරුවන් දෙදෙනාට අත් වූ අවාසනාවන්ත ඉරණමත් ය.
• ඔබ අතින් පරිවර්තනයට ලක් වූ ‘ද බෝයි ඉන් ද පිජාමාස්‘ කෘතිය අයර්ලන්ත ග්‍රන්ථ සම්මාන උලෙළේදී සම්මානය දෙකක් ම හිමි කරගත්තා. ඒ වගේ ම එය චිත්‍රපටයක‍් ලෙසත් සම්මානයට නිර්දේශ වූ බව සඳහන්. මේ කෘතිය සිංහලයට නැඟීමට ඔබ පෙලඹුණේ ඇයි?
මෙය අවුරුදු නවයක ළමයකු වටා ගෙතුණු ඉතා සංවේදි කතාවක්. කතාවේ හැටියට එක්තරා පවුලක් ජර්මනියේ ඉඳලා පෝලන්තයට එනවා. ඒ පවුලේ පුතෙක් සහ දුවෙක් ඉන්නවා. මේ පවුලේ පුතා තමයි කතා නායකයා. ඔහුට ජර්මනියට වඩා වෙනස් පෝලන්තය. ඒ දරුවා නිතර මේ පරිසරය පිළිබඳව තාත්තාගෙන් විමසීම් කරනවා. ජර්මනියට වඩා මේ රටේ වැටකඩුලු විශාලයි; කඳවුරු තියෙනවා. මේ දරුවා නිතර තාත්තාගෙන් විමසීම් කරනවා. මිනිසුන්ගේ ඇඳුම් පැලඳුම්වල වෙනස පවා ඔහුට අරුමයක්. මේ තත්ත්වය ඔහුට නුහුරුයි. මේ පවුල ඉන්නේ කඳවුරක. මේ කඳවුරේ කම්බි වැටෙන් පැනලා මේ පුංචි දරුවා යනවා එළියට. ඒ යන කොට මේ කුඩා දරුවාට හම්බ වෙනවා නාසි දරුවෙක්. ඒ දරුවා ඔහුගේ හොඳම මිතුරා බවට පත් වෙනවා. බෲනෝ නම් මේ දරුවා ෂ්මූල් නම් තම මිතුරා ගැන ගෙදරට කියන්නේ නැහැ. අවසානයේ ඒ දරුවාත් මේ නාසිවරුන් විස ගෑස්වලට පිලිස්සිලා මිය යනවා. මේ අනුවේදනීය සිදුවීම මහත් කම්පනයට පත් කළා. මෙය අපේ රටේ දරුවන්ටත් කියවීමට සැලැස්විය යුතුයැයි මා කල්පනා කළා.
• මේ පරිවර්තනය කර්තව්‍යයේදී ඔබ අනුගමනය කළ ක්‍රමවේද පිළිබඳ කතා කළොත්...
මා මේ පොත ලිවීමට උත්සාහ කළේ ව්‍යවහාර භාෂා භාවිතයෙන්. එක හුස්මට කියවා අවසන් කළ හැකි සරල භාෂා ශෛලියක් මෙහිදී මා අනුගමනය කළා. මගේ අදහස පාඨකයා වඩාත් කැමැති වන්නේ කතාවක ඇති චරිතවලට බවයි. එනිසා ඒ චරිතවලට මූලික තැන දීමට මා කටයුතු කළා. මේ කතාව ඉදිරිපත් කර ඇති ආකාරය අනුව මෙහි ඇතැම් සිදුවීම් චිත්‍රපට දර්ශන හා සමානයි. නවකතාව චිත්‍රපටයක් ලෙස නිර්මාණය වීමටත් මුල්කෘතියේ ඇති මේ භාෂා ශෛලීය හේතු වන්නට ඇති. මාක් හර්හන් නමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයාත් මෙය චිත්‍රපටයක් බවට පත් කිරීමේ කාර්යය ඉතා විශිෂ්ට ආකාරයෙන් කර තිබෙනවා. මේ චිත්‍රපටය ගෙතෙන්නේ දරුවන්ගේ දෘෂ්ටිකෝණයට වඩා පවුලේ දෘෂ්ටිකෝණයෙන්. එහෙත් කතාවට එයින් බාධාවක් වෙලා නැහැ. මේ චිත්‍රපටය රටවල් කිහිපයක ප්‍රදර්ශනය කෙරුණා. ඒ තරමට එය මිනිසුන් අතර ජනප්‍රිය වුණා. ඒ නිසා ම මා ඉතා සරල දෙබස් ආකාරයෙන් ලියන්න උත්සාහ කළා.
• ඔබ මේ කෘතිය දකින්නේ ළමා කතාවක් ලෙස ද?
මෙය ළමා කතාවක් ලෙස මා දකින්නේ නැහැ. එහෙත් මා සිතන්නේ ඇත්ත වශයෙන් ම මෙය පොඩි ළමයෙක් වටා ගෙතුණ කතාවක් නිසා ඉතා ජනප්‍රිය වූ බව යි.
• ජර්මනියේ සිදු වූ යුදෙව් සංහාරය පිළිබඳ පෞද්ගලික අත්දැකීමක් මෙහි මුල් කතුවරයාට තිබී නැහැ. එහෙත් ඒ හා සම්බන්ධ සිදු වීමක් පාදක කරගනිමින් ඔහු සාර්ථක නවකතාවක් ලියනවා. යම් කෘතියක් නිර්මාණය කිරීමේදී අත්දැකීම වැදගත් වෙනවා නේද?
ඇත්තට ම මේ කතුවරයා අයර්ලන්ත ජාතිකයෙක් වීම සුවිශේෂත්වයක්. ඔහුට මේ පිළිබඳ කිසිදු සම්බන්ධයක් නැහැ. එහෙත් ඔහු මේ සිදුවීම මනාව විග්‍රහ කරන්නට අවශ්‍ය තොරතුරු රැස් කරගෙන තිබෙනවා; මේ කෘතිය ලිවීමට පෙර ඔහු ඒ සමාජ වටපිටාව පිළිබඳ අවුරුදු 15ක තිස්සේ හදාරා තිබුණා; මේ පිළිබඳ චරිතාපදාන, ඒ සම්බන්ධයෙන් ලියැවුණු වෙනත් පතපොත පරිශීලනය කර තිබෙනවා. පෞද්ගලික අත්දැකීමක් නැති වුවත් ඔහු එය අනුභූතිමය අත්දැකීමක් බවට සාර්ථකව පරිවර්තනය කරගෙන තිබෙනවා කියා මා විශ්වාස කරනවා. ඒ නිසා එම නාසි හමුදා විසින් කරන ලද මහා විනාසය මේ කතාව ඔස්සේ සාර්ථකව කියා පෑමට ඔහුට හැකිවී තිබෙනවා. මේ නවකතාව චිත්‍රපටයක් ලෙසත් ඉතා ජනප්‍රිය වුණේ නවකතාවේ සාර්ථකත්වය නිසයි.
• මේ කෘතිය පරිවර්තනයේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?
මේ කතාවෙන් විශාල වශයෙන් දරුවකු තනි වන ආකාරය සහ ඒ හුදෙකලාව නිසා ඔහු හැසිරෙන ආකාරය පිළිබඳ විග්‍රහ කරනවා. හුදෙකලාව නිසයි මේ දරුවා ගෙදරින් පිටට ගොස් නාසි දරුවකු සමඟ මිත්‍රත්වයක් ආරම්භ කරන්නේ. ළමා ලෝකයේදී ඒ දකින සුන්දර මිතුරා නිසා ඔහු යළිත් ජර්මනියට යෑම පවා ප්‍රතික්ෂේප කරනවා.
කුඩා කාලයේ පටන් දරුවකුට ලැබෙන නිසි ගෞරවය නොලැබීමෙන් දරුවකුගේ මනසට එය බලපාන ආකාරය මේ කෘතියේ මැනැවින් පැහැදිලි කෙරෙනවා. එබඳු දරුවකුගේ මනස හැසිරෙන ආකාරය පැහැදිලි කිරීමේදී බොහෝ පරිස්සම් විය යුතුයි. විවිධ අදහස් සිතුම්-පැතුම් ඇති රටවල් දෙකක් අතර ඇති දේශපාලනික, සමාජ, ආර්ථික තත්ත්වයන් මෙන් ම ඇවැතුම්-පැවැතුම් ගති-සිරිත් පිළිබඳවත් වෙන ම අධ්‍යයනයක නිරත වෙලයි මෙබඳු කෘතියක් ගොඩනැඟිය යුත්තේ. එය වෙනත් රටක භාෂාවකින් පරිවර්තනය කිරීම ඊටත් වඩා අභියෝගයක්. ඒ අභියෝගය ජය ගැනීමට මා උපරිමයෙන් උත්සාහ කළා.
• ඇත්තට ම පරිවර්තනයක දී සැලකිය යුතු ලෙස ඔබ වටහාගත් විශේෂ කරුණු මොනවාද?
විශේෂයෙන් පරිවර්තන කාර්යයක දී අදාළ පරිවර්තන කෘතියේ භාෂාව වගේ ම තමුන්ගේ භාෂාව පිළිබඳවත් මනා අවබෝධයක් තිබිය යුතුයි. භාෂා ප්‍රවීණත්වය, අත්දැකීම් මෙන් ම මනා සමාජාවබෝධයක් ද තිබිය යුතුයි. යම් පරිවර්තනයක් කිරීමේ දී වචනයෙන් වචනයට පරිවර්තනය කරන්න අවශ්‍ය නැහැ. කතාව තේරුම් ගෙන එහි මුල් හරය නොබිඳෙන ආකාරයට පරිවර්තන කාර්යයේ නිරත විය යුතුයැයි මා සිතනවා.
• ඔබ දකින ආකාරයට ලංකාවේ පරිවර්තන සාහිත්‍යය කෙබඳු තැනක ද තිබෙන්නේ්?
අැතැම් විට හොඳ පරිවර්තන සිදු වෙනවා. ඒත් සමහර වෙලාවට පරිවර්තන කියල අනුවර්තන එළිදැක්වෙනවා. අනුවර්තනයක් කවදාවත් පරිවර්තනයක් වන්නේ නැහැ. මුල් කෘතියේ රස බිඳින්න හොඳ නැහැ. පරිවර්තනයක් කරද්දි සියලු සමාජ, දේශපාලන සහ ආර්ථික වටපිටාව පිළිබඳ වටහාගන්න අවශ්‍යයි.
• පරිවර්තන සාහිත්‍ය කෘති නිසි ඇගැයීමකට ලක් වෙනවා යැයි ඔබ සිතනවාද?
මා පෞද්ගලිකව කිසිදු පරිවර්තනයක් සම්මාන අපේක්ෂාවෙන් කරන්නේ නැහැ. එහෙත් ජනතාව මගේ මිරිඟුව, අමරණීය සිතුවම, අවර ගිරග ඇඳි සිතුවම, ආර්යාවගේ සේවිකාව පරිවර්තන වගේ ම මේ නවතම කෘතියත් ඉතා ජනප්‍රිය වුණා. මට ඒ ජනතාවගෙන් ලැබුණ ප්‍රතිචාර, සම්මානවලට වඩා ඉතා වැදගත්.
සේයාරුව - තිලක් පෙරේරා