
ශ්‍රී ලංකා තේ සඳහා රුසියාව මඟින් පනවා ඇති තාවකාලික වාරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ ක්ෂේත්‍රය තුළ යම් තැති ගැන්මක් ඇති කර තිබේ. මෙරට අපනයන වෙළෙඳාමට අදාළව සලකා බැලීමේ දී එය තේ කෝප්පයක ඇති වූ කුණාටුවක් ලෙස ලඝු කොට තැකිය නොහැකිය. අප රටේ විදේශ විනිමයේ ආදායම පිළිබඳව සැලකීමේදීද තේ කර්මාන්තය ආශ්‍රිතව දිවි ගෙවන පවුල් ප්‍රමාණයේ විශාලත්වය අනුවද ශ්‍රී ලංකා තේ පිළිබඳ අන්තර්ජාතික වශයෙන් අත් කරගෙන සිටින දැවැන්ත කීර්තියට ඒ මගින් ඇති කරන බලපෑම සලකා බැලීම තුළද රුසියාවේ ඒ තීරණය කිසි සේත්ම නොසලකා සිටිය නොහැකිය.
ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව රුසියාව පනවා ඇත්තේ තාවකාලික තහනමක් විය හැකි වුවත් ඒ මඟින් රටට අත් කර දිය හැකි කෙටිකාලීන ප්‍රතිවිපාක පිළිබඳ සලකා බැලීමේ දී කිසිදු ශ්‍රී ලාංකිකයකුට සතුටක් ඇති විය නොහැකිය. එහෙත් ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ ස්වරූපය මෙසේයැයි ප්‍රදර්ශනය වන ආකාරයට ඒ තුළින්ද නරුම සන්තෝෂයක් ලබන අය සිටින බව පෙනෙන්නේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් ද වන උදයංග වීරතුංග විසින් නිකුත් කර ඇති නිවේදනය සලකා බැලීමේදීය.
නරුමයන්ගේ සතුට
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර ඇති උදයංග වීරතුංග අදාළ නිවේදනය මගින් පළ කර ඇති අදහස් සියුම් ලෙස සලකා බැලීමේ දී පෙනී යන්නේ රටට අත් වී ඇති මේ තත්ත්වය තුළද ඔහු කිසියම් නරුම සතුටක් සියුම් ලෙස ආස්වාදනය කරමින් සිටින බවයි. ඔහු එහි දී නොයෙක් හේතු කියයි. වර්තමාන රජයේ දේශපාලන ප්‍රතිපත්ති හා රුසියාව අතර මතු වී ඇතැයි කියන නොගැළපීම් ගැන අර්ථකථන දෙන්නටද ඔහු එහි දී වෙහෙසෙන ආකාරයක් දක්නට තිබේ.
තම පාලන සමයේ දී මේ රටේ ඇති වූ සමාජ, ආර්ථික, දේශපාලන පරිහානිය තුළ රටක් ලෙස රැකගත යුතුව පැවැති වටිනාකම් බිඳවැටීම හේතුවක් කරගනිමින් යුරෝපා සංගමය මගින් පනවනු ලැබූ ජීඑස්පී+ බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවේ උදයංග වීරතුංගගේ මස්සිනා කෙනකු වන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රදර්ශනය කරන ලද හැසිරීම තුළ එක් අතකින් උදයංග වීරතුංගගේ හැසිරීම පිළිබඳව කිසිවෙක් පුදුම වියයුතු නැත. ජීඑස්පී+ බදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීම පිළිබඳව 2017 ජූනි මස 12 දිනැති විශේෂ නිවේදනයක් මගින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ජීඑස්පී+ බදු සහනය නැවත ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන, නෛතික හා ආයතනික රාමුවට අතිශයින් බරපතළ හානියක් සිදු විය හැකි බවයි.
රුසියාවේ වටිනාකම
ඒ අනුව එකී කරුණට අදාළව තවදුරටත් අවධානය යොමු කිරීමෙහි තේරුමක් නැත. දැන් අප සොයාබැලිය යුතුව ඇත්තේ ප්‍රශ්නයට තුඩු දී ඇති හේතුව සහ විසඳුමක් කරා යන මාවත පිළිබඳවය.
එහි දී ප්‍රශ්නයේ ගැඹුර තේරුම් ගැනීමට නම් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කර ඇති තේ තොගවල ප්‍රමාණය සහ ඊට අදාළව ලබාගෙන ඇති ආදායම් ද ගණනය කළ යුතුය. වාර්තා වන අන්දමට 2014 වසරේ දී ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කර ඇති තේ තොගයේ ප්‍රමාණය කිලෝ ග්රෑම් 43, 554, 833කි. ඒ තුළ ලබාගෙන ඇති ආදායම රු. 29, 049, 388, 619කි.
2015 වර්ෂයට අදාළව සැලකීමේ දී එසේ අපනයනය කර ඇති තේ ප්‍රමාණය කි.ග්රෑම් 36, 099, 034ක් වන විට එමගින් ලබාගෙන ඇති ආදායම රු. 20, 651, 604, 771ක් පමණ වේ. ඉකුත් වසරට අදාළව සැලකීමේ දී රුසියාවට අපනයනය කර ඇති තේ ප්‍රමාණය කි.ග්රෑම් 34, 079, 116ක් වන විට ආදායම වශයෙන් රු. 20, 403, 046, 643ක මුදලක් උපයාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තේවලට අදාළව රුසියානු වෙළෙඳපොළේ ඇති වටිනාකම තේරුම්ගත හැකිය.
දැන් සොයාබැලිය යුත්තේ ප්‍රශ්නයට තුඩු දී ඇති හේතුවයි. මාධ්‍ය වාර්තා අනුව හේතුව කෘමි සතෙකි. ඒ පිළිබඳව විවිධ මත පළ වේ.
අදාළ කෘමියා ශ්‍රී ලංකාවේ සිට තේ තොගයක් අතරට වී රුසියාවට ළඟා වී ඇත්ද? අතරමග වරායක දී ඊට එක් වී තිබේද වැනි ප්‍රශ්න ගණනාවකට යොමු වීම තුළ ඊට පිළිතුරු සොයාගත යුතුය. කෙසේ නමුත් මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව අදාළ කෘමියා ශ්‍රී ලංකාවේ සිට රුසියාවට ළඟා වූ සතකු විය නොහැකිය.
අතරමග වරා දී කිසියම් ආකාරයකින් තේ තොග රැගත් බහාලුමකට ඇතුළු වී ඇති සතකු විය හැකිය. කෙසේ නමුත් එහි දී අප තේරුම්ගත යුතුව ඇති වැදගත්ම කාරණය වන්නේ ලෝකයේ දියුණු රටවල් තම රටට ළඟා වන නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය කෙරෙහි දක්වන සැලකිල්ලේ තරමය. එය මේ රටේ තේ නිෂ්පාදනයට අදාළව පමණක් නොව සියලු ආකාරයේ නිෂ්පාදනයන්ට අදාළ වන්නා වූ සෑම පාර්ශ්වයක්ම ගැඹුරින් අවධානය යොමු කළ යුතුව ඇති වැදගත් කරුණකි.
ඒ කෙසේ වෙතත් මේ වන විට පැහැදිලි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ තේවලට අදාළව රුසියාව මඟින් ගෙන ඇති තාවකාලික තීරණය පිටුපස දේශපාලන වටිනාකම් පිළිබඳ වන ප්‍රශ්නයක් නැති බවයි.
සත්‍යවශයෙන් ඒ සඳහා දක්වා ඇති හේතුව වන්නේ භාණ්ඩ අපනයනයේ දී රඳවාගත යුතු තත්ත්වයන් පිළිබඳ ප්‍රශ්නයකි.
එහෙත් මේ අතර ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලකයන් මෙන්ම දේශපාලන විශ්ලේෂකයන්ද මතු කරන කාරණාවක් තිබේ. එනම්: ශ්‍රී ලංකා රජය මඟින් පනවා ඇති ඇස්බැස්ටෝස් නිෂ්පාදන ද්‍රව්‍ය ආනයන තහනම සමඟ ශ්‍රී ලංකාවේ තේ ආනයනය කිරීමට අදාළව රුසියාව මඟින් පනවා ඇති තහනම අතර කිට්ටු සබඳතාවක් පවත්නා බවයි.
විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දක්වන ලද අදහස් අනුවද එවැන්නක් හැඟවේ.
ඒ සමඟ ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළව ශ්‍රී ලංකාව පනවා තිබූ වාරණය ඉවත් කිරීමට පසුගියදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබීම මඟින්ද ඒ පිළිබඳ වන යම් අදහසක් කෙනෙකුට ඇති කරගත හැකිය.
එහි දී අප මැනවින් තේරුම්ගත යුතුව ඇති කරුණක් තිබේ. එනම් ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව රුසියාව විසින් පනවා ඇති තහනම මොනම තත්ත්වයක් යටතේ හෝ රටක් ලෙස පවත්වාගත යුතු මූලික දේශපාලනික වටිනාකම් අදාළ කරගනිමින් ඇති කරගෙන ඇති තක්සේරුවක් තුළ පනවන ලද තහනමක් නොවන බවයි.
අනුමාන හා ඇත්ත
2005 වසරේ දී ශ්‍රී ලංකාවට අදාළව ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ඇඟලුම් අපනයනයට අදාළ වූ කෝටාවට එරෙහිව පනවන ලද වාරණය මෙන් අත්හිටුවීමක් නොවන බවය. එමෙන්ම 2010 වසරේ දී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවන ලද ජීඑස්පී+ බදු සහනය අත්හිටුවීමේ නියෝගය හා යුරෝපයට මසුන් අපනයනය කිරීමට අදාළව පනවන ලද තහනම මෙන් නොවන බවය.
ඒ සඳහා බලපෑ හේතුව බොහෝ විට රුසියානු බලධාරීන් මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති කරුණද විය හැකිය. එනම් තම රටට ආනයනය කරන ආහාර ද්‍රව්‍යයන්ට අදාළව අනුගමනය කරන ප්‍රමිතීන් අදාළ කරගනිමින් මේ තාවකාලික තහනම පනවා ඇති බවයි.
ඇතැමුන් ප්‍රකාශ කරන ආකාරයට රුසියාවේ ඇස්බැස්ටෝස් නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළෙඳපොළට අලෙවි කිරීමේ දී මෙතෙක් කල් ලැබී තිබුණු හැකියාව ශ්‍රී ලංකාව පොදුවේ ගනු ලැබූ තීරණයක් මත අහිමි වීම රුසියාවේ මෙකී තීරණයට හේතු වූවාද විය හැකිය.
අන්තර්ජාතික වෙළෙඳපොළ තත්ත්වයන්ට බලපාන සාධක සලකා බැලීමේ දී ඒ අතරින් කුමක් වුවත් සිදු විය හැකිය. ප්‍රශ්නය ඒ කුමක් වුවත් රටක් ලෙස අප ඊට විසඳුමක් සොයාගත යුතුය. එහි දී වඩා වැදගත් වන්නේ මෙවැනි ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවක දී එය නිරාකරණය කරගැනීම සඳහා දෙපාර්ශ්වය අතර තිබිය යුතු දේශපාලන සබඳතාවන්හි ස්වභාවයයි. ඒ මත ගොඩනැඟී පැවතිය යුතු හොඳහිත හා අන්‍යෝන්‍ය ගෞරවයේ ස්වභාවයයි.
ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ රුසියාව ගෙන ඇති තීරණයෙහි ඇති අඳුර තුළ අපට රි දී රේඛාවක් දැකගත හැක්කේ එතැනදීය.
රිදී රේඛාව
වාර්තා වී ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය තානාපති මට්ටමෙන් මේ වන විටත් රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. රුසියානු පාර්ශ්වය වෙතින් ඒ පිළිබඳ ලැබී ඇති ප්‍රතිචාරයන්හි අහිතකර බවක් ඒ තුළ කිසිවිටෙක වාර්තා වී නැත.
රුසියාවේ සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති කරුණුවලට අනුව මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන නත්තලෙන් පසු ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිත පිරිසක් රුසියාව බලා පිටත් වීමට නියමිතය.
රටක් ලෙස අප අතීතයේ දී මුහුණ දුන් අන්තර්ජාතික වෙළෙඳ සම්බාධක පිළිබඳ සැලකීමේ දී මේ තත්ත්වය කිසිසේත්ම දුෂ්කර බන්ධනයක් නොවන බව ඒ අනුව පැහැදිලිය. ඒ සඳහා දැක්විය හැකි ප්‍රමුඛතම හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය යටතේ රුසියාව සමඟ පවත්වාගෙන යමින් සිටින ශක්තිමත් සබඳතාවයි.
ඒ සබඳතාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ එවකට පැවැති සෝවියට් දේශය සමඟ පවත්වාගත් සබඳතාවට කිසිසේත් දෙවැනි වන්නේ නැත. අන්තර්ජාතික සම්බන්ධතාවලදී රටක් පවත්වාගෙන යන ගුණාත්මක වටිනාකම්වල ඇති අගය මැනවින් තේරුම්ගත හැකි වනු ඇත්තේ මෙවැනි අවස්ථා හමුවේය.
සුනිල් ජයසේකර