
රජයේ පාසල් සිසුන් වෙත නොමිලේ පෙළ පොත් ලබා දීම අත්හිටුවා ඇති බවට ඇතැම් පාර්ශ්ව ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැත. අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ සිසුන් වෙත අරපිරිමැස්ම සහ පොත් සංරක්ෂණය හුරු කරවීම අරමුණු කරගනිමින් හය, හත සහ අට ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් පැරණි පොත්වලින් සියයට විසිපහක ප්‍රතිශතයක් නැවත ප්‍රයෝජනයට ගැනීමට උපදෙස් දී ඇති බවත්, එමෙන්ම භාවිතයට සුදුසු පොත් පමණක් එම සිසුන් වෙත ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත්ය. ඉතිරි සිසුන් සඳහා නව පොත් මුද්‍රණය කර ලබා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
එමෙන්ම නවවන ශ්‍රේණිය සඳහා, නව විෂය නිර්දේශයක් යටතේ නව පෙළ පොත් මුද්‍රණය කිරීමට පියවර ගත් අතර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණ ක්‍රියාවලියෙහි යම් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පොත් කිහිපයක් පමණක් දෙසැම්බර් පාසල් නිවාඩුවට පෙර ලබා දීමට නොහැකි වූ බවත් මේ වන විට එම පාසල් සඳහා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත්ය. ඇතැම් පාර්ශ්ව ගෙන යන ව්‍යාජ ප්‍රකාශයන්ට නොරැවටෙන ලෙසත් කිසිදු රජයේ පාසලක සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් ෙපාත් මිල දී ගැනීමට අවශ්‍ය නොවන බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා පවසයි.
සෑම පෙළ පොතකටම නියමිත මුල්‍ය වටිනාකමක් පවතින බවත්, එම වටිනාකම පිළිබඳව නොතකමින් පොත් අවභාවිතා කරන සිසුන්ට එයින් වැළකී සිටීම පිළිබඳ වටහා දීමට මෙන්ම ජාත්‍යන්තර පාසල්වලට සහ සෙසු පාර්ශ්වවල වෙනත් අවශ්‍යතා සඳහා පමණක් පොත් මිල දී ගැනීම වෙනුවෙන් මෙලෙස රජයෙන් නිකුත් කෙරෙන පෙළ පොත්වල පිටුපස එහි මුල්‍ය වටිනාකම සඳහන් කර ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා පෙන්වා දෙයි.
අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව