
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන 12 වැනි ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය 18 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙයි.
ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලය දක්වා ඔසවා තබන ලාංකේය භූමියේ ප්‍රධානම වොලිබෝල් තරගාවලිය වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ග්‍රාමසේවා වසම් ආරම්භ වූ අතර පසුව දිස්ත්‍රික්ක මට්ටමින්ද, දිස්ත්‍රික්ක තරගවල ජයග්‍රාහකයන් අතරින් ශූර-ශූරියන් ජාතික මට්ටමේ තරග සඳහා එක්වූහ.
දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය කරමින් කණ්ඩායම් 4000 ක් පමණ විවෘත සහ වයස අවුරුදු 22 පහළ කාන්තා - පිරිමි වශයෙන් තරගාවලියට එක්විය. එහිදී දිස්ත්‍රික්ක ශූරතා දිනා ගන්නා ලද විවෘත කාන්තා - පිරිමි, වයස අවුරුදු 22 පහළ කාන්තා - පිරිමි කණ්ඩායම් 100 ක් එක්වූ ජාතික තරග ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ජාතික තරගාවලියේදී ජයග්‍රාහකයන් සුගතදාස ගෘහස්ථ පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගවලට එක්වෙයි.
ඒ අනුව පිරිමි විවෘත අවසන් මහා තරගය සඳහා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය සහ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය වසරේ ශූරයන් වු කටාන ඒකාබද්ධ කණ්ඩායම තරග කරයි.
කාන්තා අවසන් මහා තරගයට පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යළිත් වතාවක් කොස්වාඩිය විජය කණ්ඩායම සහ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සියඹලාගොඩ කපිල කණ්ඩායම තරග කරයි.
වයස අවුරුදු 22 පහළ පිරිමි අවසන් තරගය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හුංගම විජයබා කණ්ඩායම සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හළාවත ඒකාබද්ධ කණ්ඩායම තරග කරයි.
වයස අවුරුදු 22 පහළ කාන්තා අවසන් මහා තරගයට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බෝයගම සිරිපැරකුම් කණ්ඩායම තරග කරයි.

බන්දුල ජයමාන්න
 









