හතුරුට හතුරුකම් නොකරමු... | සිළුමිණ

හතුරුට හතුරුකම් නොකරමු...

චන්දික හතුරුසිංහ නැතිනම් හතුරු නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව තිබේ. පසුගිය කාලයේ බිමට සමතලා වී ගිය ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට මහා බ්‍රහ්මයකු ඇවැසිව තිබූ බව නොරහසකි. හතුරු මහා බ්‍රහ්මයා නොවන නමුත්, අවැසිව තිබුණේ මහා බ්‍රහ්මයාට සමාන වැඩ්ඩකු බව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් දිහා විමසිලිමත්වන විට බැහැර කළ නොහැකි කරුණකි. මේ අනුව හතුරු මෙතෙක් සිය ගුරුහරුකම් ලබා දුන් බංග්ලාදේශයට එරෙහිවම ලබන ජනවාරියේ වැඩ ආරම්භ කිරීමට නියමිතය. පසුගිය කාලයේ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ හතුරු නොවැම්බර් මාසයේ එකී තනතුරින් ඉවත්වූයේ උපන් බිමට සේවයක් කිරීමේ අදහස පෙරදැරි කරගෙනය.

මේ අනුව ශ්‍රී ලංකාව වැඩිම මුදලක් ගෙවන ක්‍රිකට් පුහුණුකරුවා හතුරු බවටද වාර්තාවෙයි. හතුරු බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඩොලර් හතළිස්දහසක වැටුපකටය. හතුරු සංගා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන විට පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර සංගාගේ විරෝධය ද ඉවත දමමින් එවකට ක්‍රිකට් පාලකයෝ හතුරුව හතුරුකර ගන්නා තැනටම කටයුතු කළේය. හතුරු දක්ෂ පුහුණුකරුවකු බව සංගා ද අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය.

බංග්ලාදේශය එංගලන්තයට එරෙහිව සිය ප්‍රථම ටෙස්ට් ජය වාර්තා කිරීමත් සමඟම හතුරු බංග්ලාදේශයේ ක්‍රිකට් තුළ සිදු කළ මිතුරු වෙනස්කම් පිළිබද වඩ වඩාත් කතාබහට ලක්විය. එහිදී හතුරු ප්‍රකාශ කළේ අවුරුදු දෙකක් විතර ඔවුන් එක්ක වැඩ කරනකොට දැක්ක මූලිකම දේ තමයි කණ්ඩායමක් විදියට ක්‍රීඩාකරන්නේ කොහොමද කියන දේ ගැන සංස්කෘතියක් ඒ අයට තිබුණේ නෑ. මම ඒක සම්පූර්ණයෙන් වෙනස් කළා. බංග්ලාදේශය අදටත් ටෙස්ට් තරග 104 කදී වාර්තා කරගෙන ඇත්තේ ජයග්‍රහණ දහයක් පමණි. මේ ජයග්‍රහණ දහය අතර හතුරුගේ කාලයේ එංගලන්තය, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව පරාජය කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මේ අතර වරක් හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි පවා පෙන්වා දුන්නේ බංග්ලාදේශ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් තිබෙන බවය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට බංග්ලාදේශය හමුවේ පී. සරාහිදී පරාජයවීම අහඹුවක් නොවන බව ද සිදත් වෙත්තමුණි වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර තිබුණි.

හතුරු බංග්ලාදේශයේදී කළේ ද තමා දන්නා දේමය. හතුරුට අද ලංකාවේදී කිරීමට ඇත්තේ ද එකී දේම මිස ඊට වඩා වැඩි දෙයක් නොවේ. බෙලි කැපිලි, කකුල් මාට්ටු, කෙණහිලිකම්වලින් අඩු නැති මේ කොදෙව්වේ හතුරුට ප්‍රාතිහාර්යය පෑ හැකිද යන්න ගැන පමණක් බලාපොරොත්තු තබා ගෙන සිටිමු.

 

Comments