පොඩි මිනිසාගේ වීරයාපාපන්දු සිරා සමුගනියි | සිළුමිණ

පොඩි මිනිසාගේ වීරයාපාපන්දු සිරා සමුගනියි

ක්‍රීඩකයකු, පුහුණුකරුවකු සහ අධ්‍යක්ෂවරයකු වශයෙන් මෙරට පාපන්දු ක්‍රීඩාවට අනුපමේය සේවයක් කළ පී. ඩී. සිරිසේන මහතා මෙලොවින් සමු ගත්තේය. සිරිසේන මාස්ටර් නමින් ප්‍රකට වූ සිරිසේන මහතා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වයත් දැරීය.

සිරිසේන මහතා 1960 - 72 අතර කාලයේදී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළේය. ඒ විශිෂ්ට ඉදිරිපෙළ ක්‍රීඩකයකු වශයෙනි. මීට අමතරව සමාජ මට්ටමින් විදෙස් කණ්ඩායම් ද නියෝජනය කළේය.

ඊට නෙදර්ලන්තයේ ඒ. වී. සී. හෙරාක්ලස්, බංග්ලාදේශයේ ඩකා වොන්ඩරර්ස් වැනි කණ්ඩායම් ද අයත්ය. මෙරටේදී ඒ මහතා සුප්‍රකට සෝන්ඩර්ස් කණ්ඩායමේ ප්‍රබලතම සාමාජිකයෙකි.

ක්‍රීඩකයකු වශයෙන් ඒ මහතාගේ විශිෂ්ටතම දස්කම් දක්නට ලැබුණේ 1960 එෆ්. ඒ. කුසලාන තරගාවලියේදීය. එහිදී ඔහු දැක්වූ සුපිරි දක්ෂතා ද්විත්වයක් ජාතික වාර්තා ලෙසට දශක ගණනාවක්ම පවතියි. ඒ තරගයක වැඩිම ගෝල් ගණනක් (06) සහ තරගාවලියක වැඩිම ගෝල් (24) රැස් කිරීමයි. සිරිසේන මහතා ලංකා බැංකු කණ්ඩායමත් නියෝජනය කළේය.

ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පුහුණුකරුවකු සහ උපදේශකවරයකු ලෙසට කටයුතු කළේය. එහිදී වේල්සයේ ස්වොන්සි, මාලදිවයිනේ නිව් රේඩියන්ට් වැනි කණ්ඩායම් ද වේ. පසුව මාලදිවයිනේ සහ ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ද වූයේය.

පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උපදේශක සහ තාක්ෂණික අධ්‍යක්ෂවරයකු වශයෙනුත් ක්‍රියා කළේය.

මෙරටේ පාපන්දු ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් සිරිසේන මහතා ජාතික මට්ටමින් අවස්ථා දෙකකදී උපහාර ලැබීය. ඒ හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මාලිගාවත්ත නාගරික ක්‍රීඩා පිටිය පී. ඩී. සිරිසේන නමින් නම් කිරීමය.

එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන 75 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති උත්සවයකදීය. එය පැවැත්වූයේ එවකට ලෝක පාපන්දු සම්මේලන සභාපති වූ සෙප් බ්ලැටර් මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී විශේෂ සම්මානයක් සහ මුදලිනුත් සිරිසේන මහතා උපහාර ලැබීය.

Comments