
ලබන වසරේ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි රැසකට සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙස මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය යොදා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ. ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ හැඩතල සහ ඉලක්ක හඳුනා ගනිමින් ඉදිරියට යන මොහොතක මේ පිළිබඳ කතාබහකට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලකට මේ ඉඩකඩ විවර කළෙමු.
මෙවර තරගාවලිය කොහොමද?
මේ පාර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය අංශ හතරක් විදියට තමයි සංවිධානය කළේ. වයස අවුරුදු 22 පහළ කාන්තා සහ පිරිමි විදියටත්, විවෘත කාන්තා සහ පිරිමි විදියටත් තමයි මේ වර්ගීකරණ කළේ. මේ තරගාවලියට එකතු වන්න පුළුවන් ක්‍රීඩා සමාජවලට විතරයි. මේ ක්‍රීඩා සමාජ දිස්ත්‍රික්කවල ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙන්න ඕනා.
තරගාවලිය ආරම්භ කළේ දිස්ත්‍රික්ක මට්ටමින්?
ඔව්. දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි තරග පවත්වලා, කාණ්ඩ හතරේ දිස්ත්‍රික්ක ශූර - ශූරියන් සියය එක තැනකට ගෙනල්ලා, මෙවර ජාතික ශූරතාවලිය ඇඹිලිපිටියේ තිබ්බේ. ජාතික ශූරතාවලියේ ජයග්‍රාහකයන් අට දෙනා, තමයි අවසන් තරගවලට ආවේ. තමන්ගේ වසම තුළ අවුරුදු තුනක ස්ථිර පදිංචිය සහතික කර ගැනීම මේ තරගාවලියේ විශේෂ ලක්ෂණයක්.
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ඉතිහාසය?
මේ ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දොළොස්වැනි අවුරුද්ද. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ප්‍රධාන වොලිබෝල් තරගාවලි තුනක් පවත්වනවා. එකක් පාසල් ළමුන් සඳහා. මේ තරගාවලියට ලංකාවේම පාසල් කේන්ද්‍රකර ගන්නවා. දෙවැනි තරගාවලිය ජාතික ශූරතාවලිය. මෙයට ආයතනික මට්ටමේ සහ ආධුනික මට්ටමින් සහභාගි වෙන්න පුළුවන් තරගාවලිය. තුන්වැනි තරගාවලිය තමයි ග්‍රාමීය මට්ටමේ ඉඳලා ම ශ්‍රී ලංකාවේ සෑම ක්‍රීඩා සමාජයක්ම එකතුකර ගෙන පවත්වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය.
ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ජනාධිපති රන් කුසලානයට හිමිවන තැන?
අපේ රටේ වොලිබෝල් ක්‍රීඩාවේ රන් සලකුණ විදියට මේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ගරු බුහුමන් ලබනවා කිව්වොත් හරි. රටේ පළමු පුරවැසියාගේ නමින් පවත්වන තරගාවලිය. ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිතයා විදියට එකතුවන අපේ රටේ ප්‍රධාන ම වොලිබෝල් තරගාවලියයි.
පිරිමි ජාතික කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 78 වැනි තැන කාන්තා කණ්ඩායම 115 වැනි තැන. ආසියාවත් කේන්ද්‍ර කරගෙන ඉදිරිය සැලසුම් කරන්නේ කොහොමද?
2018 අවසන්වන කොට පිරිමි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 14 වැනි ස්ථානයේ ඉඳලා 11 වැනි ස්ථානය දක්වා ගෙන ඒම. අපේ සිවු අවුරුදු සැලසුමේ 2018 මූලික ඉලක්කය තමයි ඒ. මේ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසය වන කොට 11 වැනි තැනට එන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. කාන්තා කණ්ඩායමත් ඒ විදියට ම ඉදිරියට ගෙන ඒමේ සැලසුමකට අත ගහලා තියෙන්නේ.
මේ දේවල් එක්කද විදේශ පුහුණුකරුවකු ගැන අවධානය යොමු කරන්නේ?
විදේශිය පුහුණුකරුවන් දෙන්නෙක් ගැන අවධානය යොමු කරලා තියෙනවා. අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියටත් යොමු කරලා තියෙන්නේ. පිරිමි කණ්ඩායම සඳහා සර්බියානු පුහුණුකරුවකුත්, කාන්තා කණ්ඩායම සඳහා කියුබානු පුහුණුකරුවකු ලබා ගන්නත් දැනට මූලික සැලසුම් කරලා තියෙන්නේ.
සර්බියානු පුහුණුකරුවකු ගැන පළමුවතාවට තමයි අවධානය යොමු කළේ. මීට කලින් කියුබානු පුහුණුකරුවකු දෙවන පෙළ කණ්ඩායම්වල පුහුණු කිරීම්වලට යොදා ගත්තා.
මේ හැම දෙයකම තවාන් බිම පාසලයි. අපේ පාසල් වොලිබෝලයේ තැන?
ආසියානු මට්ටමේ ගත්තත් අපේ පාසල් මට්ටම මුල් අවදියේ ඉතාමත් දියුණුයි. සාමාන්‍යයෙන් කණ්ඩායම් 4000 - 5000 ක් ක්‍රීඩා කරන තරගාවලි ඉතාමත් අඩුයි. එහෙම බලනකොට අපේ පාසල් මට්ටමේ තරගාවලියට විශාල කණ්ඩායම් සංඛ්‍යාවක් එකතු වෙනවා. ඉතාමත් උද්‍යෝගයක් තියෙන කනිෂ්ඨ මට්ටමේ ප්‍රධානම තරගාවලිය.
හැබැයි මේ තත්ත්වය වයස අවුරුදු 15 - 16 වනකොට අපේ අධ්‍යාපන එක්ක ගැටගැහිලා තියෙන උපකාරක පන්ති ගිළගෙන තියෙනවා. මේක වොලිබෝල් වලට විතරක් නෙවෙයි අනෙක් ක්‍රීඩාවලටත් බලපාලා තියෙනවා. මේ තත්ත්වය ප්‍රතිපත්තිමය වශයෙන් ම වෙනස් වෙන්න ඕනා.
සිවු අවුරුදු සැලසුමත් එක්ක අපේ වොලිබෝල් ක්‍රීඩාවේ හෙට දවස?
සිවු අවුරුදු සැලසුමේ පළමු පියවර ජනවාරි මාසයේ ඉඳලා ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා කණ්ඩායම් පියවර තුනක් ඉදිරියට ගන්න බලනවා.
ඒ ගමන අපහසු නෑ. ඊට අමතරව දැනට සාකච්ඡා මට්ටමේ තියෙනවා ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබොල් තරගාවලිය සැප්තැම්බර් මාසයේ ලංකාවේ පවත්වන්න. මේ තරගාවලිය ලංකාවේ පවත්වන්න පුළුවන් වුණොත් අපේ වොලිබෝල් ගමනට විශාල ශක්තියක් වෙයි.
මේ වසරේ රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමාගේ නායකත්වය යටතේ හොඳ තරගාවලිය රැසක්ම පැවැත්වූවා. ඒ වගේම මේ ජනාධිපති රන් කුසලාන තරගාවලියත් ඉතාමත් සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙයි.
මේ තරගාවලි තුළින් ඉදිරියට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හෙට දවස?
අපි ලබන 15 වැනිදා ඉඳලා මේ දක්ෂයන් සංචිතගත කරලා විදේශ තරගාවලි හයකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ තරගාවලි හරහා අද ඉන්න තැනට වඩා පියවර කිහිපයක් ඉදිරියට එන්න පුළුවන් වෙයි. සිවු අවුරුදු සැලසුම අවසානයේ ආසියාවේ හොඳම තැනකට අපේ වොලිබෝල් ක්‍රීඩාව ගෙන එන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.
ඒ.එස්. නාලක










