
රටේ ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම රජයේ වගකීමයි. ඒ රාමුව තුළ කටයුතු කරමින් සියලු දෙනාගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් ලබාදීමේ හැකියාව පවතිනවා.
මිනිසා සංස්කෘතික මිනිසකු බවට පත් වූයේ ආගම හා ඇදහිලි කෙරෙහි අවධානය යොමු වූ දා සිටය. අදින් වසර 6000කට එපිට යුගයේ සිට ලංකාවේ මානවයා විවිධ ඇදහිලි හා පූජා විධි කෙරෙහි අවධානය යොමු කර ඇති බවට සාධක හමු වී තිබේ. ඒ ඇදහිලි හා පූජාවිධි ක්‍රමයෙන් ආගමික මුහුණුවරක් ගත් විට මිනිසා සංයමයෙන් හා සන්සුන් බවින් යුතු හික්මීම ඇති පුද්ගලයකු බවට පත් විය. ඒ හික්මීම මිනිසා දඩයමින් ඈත්ව කෘෂිකර්මය කරා යොමු කරවීය.
එහෙත් 21වැනි සියවසේ සංස්කෘතික මිනිසා ආගම අරබයා සටන්වැදීම ලොව පුරා දක්නට ඇති ඉතා කනගාටුදායක තත්ත්වයකි. මක් නිසාද යත්: මිනිසා ශිෂ්ටත්වයට පත් කළ ආගම හේතු කොටගෙන සටන් වැදීම අශිෂ්ටත්වයේ ලක්ෂණයක් බැවිනි.
අපට සතුටට පත් විය හැකි එකම කාරණය වන්නේ තවමත් ලංකාව තුළ ආගමික සංහිඳියාව පැවැතීමයි. ලංකාවේ ක්‍රමයෙන් හීන වෙමින් පවත්නා ජාතික සමගිය හා සංහිඳියාව යළි නංවාලීම උදෙසා ආගමට කළ හැකි මෙහෙවර අපමණය. එවන් තත්ත්වයක් යටතේ අත් කරගත හැකි වාසිදායක ප්‍රතිඵල අතහැර නොදැමීමට තරම් වත්මන් රජය බුද්ධිමත් ලෙස ක්‍රියාශීලී වීම රටට, ජාතියට, ආගමට, ආදරය කරන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සතුටටද අභිමානයටද හේතු-පාදක වේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රට පුරා සංස්කෘතික ත්‍රිකෝණයට අයත් ස්ථාන හා සිද්ධස්ථාන නැරඹීම සඳහා සංචාරකයන් වෙත ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ. එසේ ප්‍රවේශපත්‍ර නිකුත් කරීමෙන් ලැබෙන ආදායම පුරාවිද්‍යා ක්ෂෙත්‍රයේ පර්යේෂණ හා ගවේෂණ සඳහාද, කොටසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙතද, කොටසක් මධ්‍යම සංකෘතික අරමුදලේ ක්‍රියාකාරිත්වය හා අභිවෘද්ධිය සඳහාද යොමු කෙරේ. මේ වසරේ සිට එසේ රැස් කරගන්නා ආදායමෙන් කොටසක් රට පුරා වෙහෙර-විහාර හා ආගමික සිද්ධස්ථානයන්හි සංවර්ධනය හා සංරක්ෂණය සඳහා යෙදවීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 'සසුනෝදය' ව්‍යාපෘතියට දායක වෙමිනි.
'පින්බිම් 12,000ක් සඳහා මූල්‍යාධාර ලබා දීමේ ජාතික මෙහෙවර' යන තේමාව යටතේ සසුනෝදය ජාතික වැඩසටහන ක්‍රියාත්මකය. අදාළ ව්‍යාපෘතිය යටතේ 2017 වසර සඳහා රට පුරා විහාරස්ථාන 1000කට හා වෙනත් ආගමික ස්ථාන 42කට ආධාර ලබා දී තිබේ. වයා පෘතියේ පලමු අදියර යටතේ බෞද්ධ සිද්ධස්ථාන 1000 වෙනුවෙන් රුපියල් මිලියන 500කට ආසන්න මුදල් ආධාර දී ඇත. මේ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා කඩිනමින් සංවර්ධනය හා සංරක්ෂණය විය යුතු හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමික සිද්ධස්ථාන 42ක් වෙනුවෙන් රුපියල් මිලියන 21ක් ලබා දී තිබේ. ආගමික සිද්ධස්ථානයක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ප්‍රිශාන්ත ගුණවර්ධන පැවැසුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාව ඇති බැවින් ආධාර දිය හැකි විහාරස්ථාන සංඛ්‍යාව තවදුරටත් වර්ධනය කරගත හැකි බවයි.
ලිඛිත ඓතිහාසික සාක්ෂි මත ලංකාවේ විහාරාරාම පවත්වාගෙන යෑම සංවර්ධනය හා සංරක්ෂණය සඳහා රජ, සිටු, වෙළෙඳ ප්‍රජාව මෙන්ම සාමාන්‍ය පුරවැසියාද හැකි පමණින් දායකත්වය දී තිබේ. එවන් ඉතිහාසයකට උරුමකම් කියන ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ වත්මන් රජය සියලු ආගමික සිද්ධස්ථාන සඳහා ආගම් භේදයකින් තොරව සංවර්ධනය හා සංරක්ෂණය සඳහා මූල්‍යාධාර සැපයීම ප්‍රශංසනීයය.
රට පුරා ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කොට සංරක්ෂණය සඳහා වසර දහස් ගණනකට පසු ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය වෙයි. එබැවින්ම 'සසුනෝදය' ව්‍යාපෘතිය ඉතිහාසගත වෙයි.
අරලියගහ මන්දිරයේදී මේ ව්‍යාපෘතියේ පළමු අදියර අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසූයේ "අතීත උරුමයන් අනාගතයට පැවැරීම අපගේ වගකීම බැවින් ඒ සඳහා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය කැප වී සිටින බවයි".
ඒ උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා "රට පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන සේ සසුනෝදය වැඩසටහන යටතේ මූල්‍යාධර ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජයේ සියලු අමාත්‍යවරුන් කැප වී කටයුතු කරන" බව පැවැසීය.
"බුදුදහම ආරක්ෂා කිරීම හා පෝෂණය වත්මන් රජයේ යුතුකමයි. එය අප ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. කෙනකු වසලයකු හෝ බ්‍රහ්මණයකු හෝ වන්නේ ක්‍රියාවෙන් බව බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. සියලු ජාතීන් එකරාශි කරගනිමින් අප ආණ්ඩුව පිහිටුවූයේ යුද්ධයෙන් පසු සියලු දෙනා ඒකරාශි කරගෙන ඉදිරියට යෑම සඳහායි. රටේ ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම රජයේ වගකීමයි. ඒ රාමුව තුළ කටයුතු කරමින් සියලු දෙනාගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් ලබාදීමේ හැකියාව පවතිනවා. ඒ රාමුව බිඳදැමීමට හෝ කිසිදු ආගමක නිදහස බාධා කිරීම නොකළ යුතු" යැයිද වැඩිදුරටත් සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති පළමු වටයේ ආධාර ප්‍රදානෝත්සවයට වැඩම කළ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍යාමෝපාලි මහානිකායේ අනුනායක මහනුවර ගෙඩිගේ විහාරාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි සිදු වූ අක්‍රමිකතා මඟහරවාගනිමින් ලැබූ ආදායම් මුදල් මෙවන් සත්ක්‍රියාවක් සඳහා යෙදවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට සතුතිය ප්‍රකාශ කළහ.
අන්‍යාගමික සිද්ධස්ථාන සඳහා මූල්‍යාධාර පිරිනැමීම බත්තරමුල්ල 'අපේගම' පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිණි. එහි ඔහු පැවැසුවේ බුදුදහමට ප්‍රමුඛත්වය දී පෝෂණය කිරීම සඳහා මෙන්ම මෙරට සෙසු ආගම් සුරැකීමටද වත්මන් රජය බැඳී සිටින බවයි. කිසිදු භේදයකින් තොරව ආගමික සිද්ධස්ථාන සංරක්ෂණය කර සංවර්ධනය කිරීම සඳහා කැප වීමත්, සියලු ජාතීන් හා ආගම් අතර සංහිඳියාව වර්ධනය කිරීමත් වත්මන් යහපාලන රජයේ අරමුණ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තවදුරටත් පැවැසීය.
මේ වසරේ ආධාර නොලැබූ ආගමික සිද්ධස්ථාන වෙත ලබන වසරේදී මූල්‍යාධාර ලබා දීමට නියමිතය. ආගම යනු මිනිස් මනසේ විශ්වාසයේ පදනමයි. ආගමික විශ්වාසය තහවුරු වීම උද්වේගකර මිනිස් සිතිවිලි සමනය කිරීමට හේතු වේ. එබැවින් වත්මන් රජය රට තුළ පවත්නා අසමානතා සංසිඳුවීමට ගත් කදිම පියවරක් ලෙස 'සසුනෝදය' ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය.
සේයාරුව අධ්‍යාපන අමාත්‍යාංශය අනුග්‍රහයෙනි