
පසුගිය දා අවසන් වූ මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ දීප්ති රොමේෂ් වොලිබෝල් ක්‍රීඩාවෙන් දිගු ගමනක් පැමිණ තිබේ. ලාංකේය වොලිබෝල් පිටියේ වේගවත්ම ඩෑෂ් ප්‍රහාරකයන් අතර ඉදිරියෙන්ම සිටින දීප්තිගේ හඬට අපි මේ ඉඩකඩ වෙන් කළෙමු.
දීප්ති රොමේෂ් අපි ඔය නමින් ම කතාව පටන් ගත්තොත්?
දීප්ති රොමේෂ් කියන්නේ හුඟක් දුක් මහන්සියෙන් වොලිබෝල් ක්‍රීඩාවේ මේ තැනට ආපු කෙනෙක්. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.
දුක් මහන්සියෙන් ගොඩ නගා ගත්තා කියලා කිව්වේ?
වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් හුඟක් කැප කිරීම් කරලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. අද තැනක ඉන්නවා කියලා හුඟක් සතුටුයි.
හුඟක් කැමැති දීප්ති කියනවාටද? රොමේෂ් කියනවාටද? නැත්නම් වෙන නම් තියෙනවාද?
දීප්ති තමයි. හුඟක් අය කතා කරන්නෙත් දීප්ති කියලා. කාලයක් යනකම්ම මගේ නම හුඟක් අය දන්නේ නෑ. වොලිබෝල් ක්‍රීඩාවට ආවට පස්සේ තමයි දීප්ති කියලා හුඟක් අය මාව අඳුර ගත්තේ.
ළමා කාලය එහෙම කොහොමද?
හුඟක් සුන්දරයි. මම ඒ දවස්වල හුඟක් දඟකාරයි. කොයි වෙලාවෙත් ගෙදර හිටපු කෙනෙක් නෙවෙයි.
මොනව හරි දෙයක් කරනවා. දුවනවා. පනිනවා. ඔය වගේ දේවල් එක්ක තමයි දවස ගෙවුණේ. ඔය අතරම තමයි වොලිබෝල් ක්‍රීඩාවට හිත ඇදිලා යන්නේ. ගමෙත් හුඟක් අය වොලිබෝල් ක්‍රීඩාවට කැමැතියි.
දීප්තිගේ ගම කොහෙද?
ගම මීරිගම, තිළිණගම, අපේ පවුලේ අම්මයි තාත්තයි. නංගියි. නංගි දැනට ජාතික තරුණ සේවා සභාවට වොලිබෝල් ක්‍රීඩා කරනවා. නංගි දිල්කි.
පුංචි කාලේ සමහර මතකයන් තියෙනවනේ ලොකු වෙලාවත් අමතක නොවන. ඔයාට ඒ වගේ මතකයක් එහෙම තියෙනවාද?
ඔව්. 2008 සාග් තරගාවලිය ඊඍ එකේ විකාශය වන කොට බැලුවා. එතකොට මම ඉස්කෝලේ යනවා. එදා තමයි මටත් හිතුණේ මේ විදියට සෙල්ලම් කරන්න තියෙනවා නම් කියලා. අද මම ඒ තැනට ඇවිත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
ඔයාගේ අම්මා - තාත්තා මොනවාද කරන්නේ?
තාත්තා ගොවිතැන් කරනවා. අම්මා ගෙදර වැඩ කරනවා. තාත්තා අදටත් ගොවිතැන්වල යෙදෙනවා.
ඔයාගේ ජීවිතය වොලිබෝල් එක්ක ගැටගැහෙන්නේ කොහොමද?
ඉස්කෝලේ යන කාලයේ මලල ක්‍රීඩාවට තමයි දක්ෂ. අපේ ගෙවල් ඉස්සරහ වොලිබෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. උදේ හවස කට්ටිය සෙල්ලම් කරනවා මම දකිනවා. මට මේ වැඩේට ආසයි. හැබැයි මම දන්නේ නෑ. අපේ අයියා කෙනෙක් තමයි මට කියන්නේ සෙල්ලම් කරන්න යන්න කියලා.
හැබැයි ඒ ගොල්ලෝ මාව ග්‍රවුන්ඩ් එකෙන් එළවනවා. දැන්ම ඩෑෂ් ගහන්න එපා කියලා. තව කල් තියෙනවා වගේ කතා ගොඩක් කියනවා. කොහොම හරි ඒ අත්දැකීම් එක්ක තමයි වොලිබෝලයට හුරු වුණේ.
එදා ඩෑෂ් එකක් ගහන්න එපා කියලා එළෙව්වට අද ලංකාවේ හොඳම ඩෑෂ් ප්‍රහාරකයා?
ඔව්. මාව එහෙම එළවන කොට මම හිතා ගන්නවා හොඳම ක්‍රීඩකයෙක් වෙනවා කියලා.
මේ කොයි කාලයේද?
2006 - 07 පාසල් මට්ටමින් ක්‍රීඩා කළා. 2008 දී ජාතික යොවුන් තරගාවලියට එනවා. මම මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයට ගියේ.
යොවුන් ජාතික කණ්ඩායමට ඇවිත් ලංකාවේ තිබුණු යොවුන් ආසියානු තරගාවලියට ක්‍රීඩා කළා. එදා ඉඳලා ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.
ඔයා වොලිබෝලයට යොමුවෙන කොට ගෙදරින් පොලු මුගුරු එහෙම ගත්ත අවස්ථා තිබුණද?
මුලදි නම් තාත්තගේ කැමැත්තක් තිබුණේම නෑ. තාත්තා එපා කිව්වට මම යනවා. එදා තාත්තාගේ කීමට පිටුපාලා ගියත් අද මට සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවා. හැබැයි මොන දේ වුණත් අම්මා මුකුත් කිව්වේ නෑ. අම්මා ඉගෙනීමේ පැත්තට තමයි හුඟක් බර තිබ්බේ. අම්මා හැබැයි ක්‍රීඩාවට කැමැති නෑ.
ඔබේ ජීවිතයේ දුරස් වෙච්ච හීන එහෙම තියෙනවාද?
නෑ. හැබැයි මම අපොස සාමාන්‍ය පෙළ සමත් වුණාට උසස් පෙළ කළේ නෑ. ක්‍රීඩාව නිසා. හීනයක් විදියට තිබ්බේ මලල ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නයි. එහෙත් අද ඒ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා.
මලල ක්‍රීඩාවට හිතගියේ ඇයි?
මම පොඩි කාලේ ඉඳලාම මීටර් 100 - 200 දුවනවා. ඉස්කෝලේ මේ ඉසව් දෙකේ මම තමයි එක. මගේ උසත් එක්ක තමයි සුජීව සර් මාව වොලිබෝල් පැත්තට යොමු කළේ. මලල ක්‍රීඩාවෙන් බස්නාහිර පළාත් තරග දක්වා ම ආවා. වොලිබෝල්වලට ගියාට පස්සේ ඔක්කොම අමතක වුණා.
ක්‍රීඩකයෙක් විදියට ඔබ ඔබේ වටිනාකම හඳුනනවාද? නැත්නම් හඳුනාගෙනද ඉන්නේ?
කණ්ඩායමට වෙන්න ඕනෑ දේවල් සම්පූර්ණයෙන් ම ලබා දීලා ජයග්‍රහණය දක්වා යන එක තමයි මගේ මූලික බලාපොරොත්තුව. ආර්ථික වටිනාකම් පැත්තෙන් ගත්තොත් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. හුඟක් වෙලාව අපේ වියදමින් තමයි හැම දෙයක්ම කර ගන්නේ.
ඔයාට ඔයාව හම්බවෙලා තියෙනවාද?
ඒක හරියට ම කියන්න බැ. මට මං ගැන ආඩම්බරයක් තියෙනවා.
ඔබට ඔබව හමුවෙනකන්ද වොලිබෝල් ක්‍රීඩා කරන්නේ?
මගේ ශක්තිය ක්‍රීඩාව වෙනුවෙන් යොදවන්න පුළුවන් තාක් කල් වොලිබෝල් ක්‍රීඩාකරනවා.
ඔයාගේ ජීවිතයේ ඇතුළේ ඔයාව නැතිවෙලා තියෙනවාද?
තරගවලදී නම් එහෙම වෙලා තියෙනවා. තරගයක තියෙන පීඩනයත් එක්ක තමයි, අපි කරන දේවල් හරි වැරැද්ද තේරෙන්නේ.
අපි පරදිනකොට මගෙන් වෙන්න ඕනෑ දේවල් වුණේ නෑ කියලා හිතෙනවා. ඒ වගේ වෙලාවට හුඟක් කණගාටු වෙනවා.
තරගයකදී ක්‍රීඩකයාගේ භූමිකාව මොකක්ද?
මට කණ්ඩායම වෙනුවෙන් ලොකු රාජකාරියක් ග්‍රවුන්ඩ් එක ඇතුළේ කරන්න තියෙනවා. තරගයක් ඇතුළේ මට නිදහසක් නෑ කියලා හිතෙනවා.
මොන දේ නැතිවුණත් අන්තිමේට මේ දේ ඉතුරු වුණානේ කියලා හිතෙන දෙයක් එහෙම තියෙනවාද?
ඔව්. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබුණු එක ගැන සතුටු වෙනවා. ඒ වගේම ආඩම්බරයි.
ඔයා ක්‍රීඩා කරන්නේ ජීවිතයේ මොකක් හරි අඩුවක් පුරවා ගන්නද?
නෑ. මම වොලිබෝල් ක්‍රීඩාවට කැමතියි. හුඟක් ආදරෙයි. අපේ ගමේ ගත්තත් වොලිබෝල් ක්‍රීඩාවට ලොකු ලැදියාවක් තියෙනවා. පසුගිය සාග් තරගාවලියේ පාකිස්තාන් තරගය අමතක වෙන්නේ නෑ.
පොඩි කාලේ ඉඳලා මම වොලිබෝලයට හුරු කළේ සුජීව දිසානායක සර්. මගේ ගමනේ සම්පූර්ණ ගෞරවය එතුමාට හිමි වෙන්න ඕනෑ.










