ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ජනාධිපති කුසලාන රන් මුද්‍රාව | සිළුමිණ

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ජනාධිපති කුසලාන රන් මුද්‍රාව

 ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යවන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයන් තරගයෙන් තරග තම ප්‍රතිවාදීන් පරාජය කරමින් අවසන් තරගවලට පිවිස තිබේ. ජාතික මහා ක්‍රීඩා උළෙල හැර උතුර, නැගෙනහිර, බටහිර, දකුණ එක යායක් කරන ඉසව් අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයකි.

මෙකී තරගාවලිය සඳහා දිවයිනේ සතර දිග්භාගයම නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ හාරදහසක පමණ සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පනස්දහසකට අධික සංඛ්‍යාවක් අත්වැල් බැඳ ගත්හ. දිවයින පුරාම ග්‍රාමසේවා වසම් තුන්සියයක් පමණ ආවරණය වෙමින් මෙකී තරගාවලිය විහිදී පැවැත්වීම ද විශේෂත්වයකි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය විවෘත කාන්තා - පිරිමි සහ වයස අවුරුදු 22 න් පහළ කාන්තා - පිරිමි වශයෙන් පැවැත්වීම තුළ ග්‍රාමීය මට්ටමේ සිටම මෙකි තරගාවලියේ ආකර්ෂණීය භාවය මෙන්ම තරගකාරිත්වය ද ඉහළ යාමට හේතු වී තිබේ. එපමණක් ද නොව, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය හරහා ග්‍රාමසේවා මට්ටමින් ම ඉදිවෙන වේදිකාවට ගොඩවදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලය හරහා ජාත්‍යන්තරය දක්වා සිය ක්‍රීඩා කෞශල්‍යය ප්‍රදර්ශනය කිරීමට හැකි වටපිටාව සකසා ගැනීමට හැකිවීමද විශේෂත්වයකි. කුසලතා පිරි තරුණ ජවය ක්‍රීඩා පිටිය හරහා ජනගත කිරීමට ජනාධිපති රන් කුසලතා වොලිබෝල් තරගාවලිය කදිම තෝතැන්නකි.

ජනාධිපති රන් කුසලාන තරගාවලිය හෝ ජාතික ශූරතාවලිය ගත්ත ද මෙකී භූමිභාගයේ කුමන බාධක වැටකඩුළු අභියස පෙරට ගිය ද, මෙකී භූමිභාගයෙන් එළියේ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව අත්පත් කරගන්නා වූ ඉරණම් සහගත තත්ත්වයන් පිළිබඳ බලධාරින් මීට වඩා අවධානය යොමු කළ යුතුය. ලාංකේය සමස්ත ක්‍රීඩාව ම බිඳවැටී ඇති මොහොතක වොලිබෝල් ක්‍රීඩාවට පමණක් එයින් මිදීමට නොහැකි බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. මෙකී භූමිය තුළ කොතරම් තරගාවලි පැවැත්වුවද, මෙතැනින් එළියේ අප සිටින තැන දැනෙන්නේ තරගාවලියක් අවසානයේදීය. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අවසන් වරට එක් වූ ආසියානු තරගාවලි ද්විත්වයේදීම සිතූ තරම් දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ බව නොරහසකි. එකළොස්වැනි යොවුන් ආසියානු වොලිබෝල් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අටවටය පවා අහිමි වීමද බලධාරින්ගේ විශේෂ අවධානයට ලක්විය යුතු සාධකයකි.

දහවැනි යොවුන් ආසියානු තරගාවලියේදී පස්වැනි ස්ථානය හිමිකර ගත් ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව එතැනින් ගමන් කළ යුතුව තිබුණේ ඉදිරියටයි. මීට වසර තුනකට පෙර පස්වැනි ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර අටවැනි තැන පවා අහිමි වීම ලෙහෙසියෙන් අමතක කළ හැකි හෝ බැහැර කළ හැකි දෙයක් නොවේ. සිවු අවුරුදු සැලසුම යටතේ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවට බොහෝ දුරක් යා හැකි බව පැහැදිලිය. වඩා වටින්නේ මේවා වචනවලට ලඝු නොකර යථාවක් බවට පත්කර ගැනීමට හැකි වටපිටාව සකසා ගැනීමය.

සමස්තයක් ලෙස ලාංකේය ක්‍රීඩාවේ කඩාවැටීමේ දිග පළල තේරුම් නොගන්නා තාක් කල් ඕනෑම ප්‍රශ්නයක් මඟහැර යා හැකිය. නමුත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වනවිට අපට වඩා ලෝකය බොහෝ දුර ගමන් කර තිබෙන බව සිතා ගැනීමටවත් නොහැකිවනු ඇත. ජනාධිපති රන් කුසලානය හරහා මතුවන දක්ෂතාවන්ට වඩාත් හොඳ මෙන්ම ශක්තිමත් වේදිකාවක් සාදා දීමට බලධාරීන්ට හැකිවිය යුතුය. එය මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය නිමාකර තවත් වසරකින් එකී තරගාවලියට පෙළ ගැසීමට වඩා වැදගත් වනු ඇත. ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ වත්මන් නියමුවා වන රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාට එකී හැකියාව සහ දිරිය ඇති බව දනිමු. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ පෙර ගමන්කරු විය යුතුයි.

Comments