
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 46 වැනි ජාතික දින සැමරුම පසුගියදා පවත්වනු ලැබීය. ඒ වෙනුවෙන් විවිධ උත්සව පැවැත්විය. මේ අතර ක්‍රීඩා ලොවත් ඊට දායකත්වය සැපයීය. ඒ අතරින් මුල් තැන හිමි වූයේ එක්දින පාපැදි තරගයකටයි.
එය අබුඩාබි - අල් එයින් ක්ලැසික් ලෙසට නම්කර තිබිණි. අබුඩාබි සහ අල් එයින් නගර අතර පැවැති මෙම තරගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 190 කි.
ප්‍රථම වරට පැවැති මෙම තරගය ජය ගැනීමට සමත් වූයේ බ්‍රිතාන්‍යයේ මාර්ක් කැවෙන්ඩිෂ්ය. ඔහුට ඒ සඳහා ගත වූ සම්පූර්ණ කාලය පැය 4 විනාඩි 31 තත්පර 49 කි.
මෙම තරගයට වෘත්තීයමය සහ ආධුනික මට්ටමේ තරගකරුවන් සහ තරගකාරින් 120 ක් පමණ සහභාගි වූහ.
32 හැවිරිදි කැවෙන්ඩිෂ් ලොව විශිෂ්ටතම පාපැදි ශූරයකු ලෙසට සැළකෙයි. හෙතෙම නියෝජනය කළේ දකුණු අප්‍රිකාවේ ඩයිමෙන්ෂන් ඩේටා කණ්ඩායමයි. ඔහුට අපූරු නමක් පටබැඳී තිබේ. ඒ මැන්ක්ස් මිසයිලයයි.
"මෙය පාපැදි ක්‍රීඩාවේ පුදුමාකාර දවසක්. වෘත්තීයමය සහ ආධුනික තරගකරුවන් සහ තරගකාරියන් තරග කිරීම නියමයි. මම සෑම විටම අබුඩාබිවල දී තරග කිරීමට කැමතියි. ඊළඟ වසරේ මෙම තරගය පැවැත්වෙන තෙක් මට ඉවසිල්ලක් නැහැ." කැවෙන්ඩිෂ් තරගයෙන් පසුව පැවසීය.
මෙම තරගයේ විශේෂ තානාපතිවරයා ලෙසටත් ක්‍රියා කළේ ද කැවෙන්ඩිෂ්මය. ඔහු ලොව ප්‍රධානතම පාපැදි සවාරියන් ත්‍රිත්වයේම කේවල (තනි) අදියර රැසක්ම ජය ගැනීමට සමත් වී සිටියි.
ඒ ප්‍රංශ සවාරිය 30, ඉතාලි සවාරිය 15 ක් සහ ස්පාඤ්ඤ සවාරිය 03 ක් වශයෙනි. මීට අමතරව ඔහු 2011 මාර්ග ලෝක ශූරයාය. එමෙන්ම 2016 අනුශූරයාය.
මීට අමතරව ට්‍රැක් (ධාවන පථ) තරග රැසකුත් ජයගෙන තිබේ. ඊට ඔලිම්පික් 2016 රිදී, ලෝක ශූරතා රන් 03 සහ 2006 පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් ද අයත්ය.
2017 අබුඩාබි අල් එයින් ක්ලැසික් පාපැදි සවාරියේ දෙවන තැන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 29 හැවිරිදි යුසිෆ් මිර්ෂා සහ තෙවන තැන ඉතාලියේ 34 හැවිරිදි රොබර්ටෝ ෆෙරාරිටත් හිමි විය. ඔවුන් නියෝජනය කළේ එක්සත් අරාබි එමිරේට්ස් කණ්ඩායමයි.
මේ අතර කාන්තා අංශයේ මුල් තැන අයර්ලන්තයේ රොයිසින් තෝමස්ටය. සමස්ත තරගයේදී ඇයට 28 වැනි තැනයි. නවසීලන්තයේ නටාෂා ලියාස්ක්ට කාන්තා අංශයේ දෙවන තැන හිමිවූවාය. සමස්ත තරගයේ 35 වැනි තැනය.