බිඳ වැටුණු රන්දෙවොල ආරියදාස සෝමතිලක | සිළුමිණ

බිඳ වැටුණු රන්දෙවොල ආරියදාස සෝමතිලක

මීට වසර තිහකට පෙර අභාවප්‍රාප්ත ආරියදාස සෝමතිලක මහතා මොරටුවේ - කොරළවැල්ලේ දී 1929 අගෝස්තු 8 වැනි දින උපත ලැබීය‍. පවුලේ වැඩිමල් පුත්‍ර රත්නය වූ සෝමතිලක මහතා ප්‍රාථමික අධ්‍යාපනය මොරටුවේ කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් ලැබූ අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා පාණදුර ශ්‍රී සුමංගල විදුහලට ඇතුළත් වූයේ ය. එහිදී සිංහල - ඉංග්‍රීසි භාෂා ද්වයම ප්‍රගුණ කළ හේ මනෝවිද්‍යාව පිළිබඳව ද උනන්දුවක් දැක්වීය. ගී ද මෝප සාං, සිග්මන් ‍ෆ්‍රොයිඩ් කෘෂ්ණ මූර්ති ගුරු කොටගත් සෝමතිලකයෝ විවිධ අංශවලින් සිංහල පාඨකයා දැනුවත් කිරීමට උනන්දු වූහ. ඒ අනුව ඔහු අතින් කෙටිකතා දෙකක් ද නවකතා ග්‍රන්ථ හතරක් ද මනෝවිද්‍යා ග්‍රන්ථ හයක් ද නිමැවුණු අතර පරිවර්තන සාහිත්‍යය සඳහා ද විශේෂ කුසලතාවක් දැක්වීය. පරිවර්තන ග්‍රන්ථ තුනක් බිහිවූ අතර ඒ අතරින් ග්‍රන්ථ දෙකකටම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීම විශේෂයකි. පද්‍ය සාහිත්‍යය පිළිබඳ ව එතරම් කෘති ගණනක් බිහි ව‍ූවත් ඔහු අතින් ලියැවුණු ‘අරුණෝදයේ රතු එළිය’ ඉමහත් ආන්දෝලනයකට ලක්ව‍ූ නිර්මාණයක් විය.

ගී ද මෝපසාංගේ ලේඛන කලාව ගුරු කොට ගනිමින් පළමුවරට ඔහු අතින් බිහි වූයේ ‘හවුල්කාරී’ නමැති කෙටිකතා සංග්‍රහයයි. එය 1955 දී දොරට වැඩිණි. අනතුරුව සෝමතිලකයන් රචනා කළේ 1961 දී ‘ඉකුත් වත’ නමින් දෙවැනි කෙටිකතා සංග්‍රහයයි. විවිධ හැල හැප්පිලි, ජීවන ගැටලු මේ මඟින් නිරූපණය කිරීමට හේ සමත් විය.

කෙටිකතා දෙකකින් ආරම්භ වුණු ලේඛන කලාව 1965 දී ප්‍රථම නවකතාව රචනා කරමින් නවකතාකරණයට ද සෝමතිලකයෝ පියවරක් තැබූහ‍. ‘ජීවිතය දැක්කෙමි’ නවකතාව, තමා විසින් ප්‍රගුණ කරන ලද මනෝ විද්‍යා දැනීම ද සාහිත්‍ය නිර්මාණ කුසලතාව ද උපයෝගී කර ගනිමින් ලියා පළ කළේ ය. ඉන් අනතුරුව 1968 දී ‘ආදරයෙන් ආදරයට’, 1970 දී ‘එළියට නුදුරු ඇස්’, 1972 දී ‘නොරත රත’ නමින් තවත් නවකතා කීපයක් ම ඔහු විසින් එළි දක්වන ලදී.

මනෝ විද්‍යා ග්‍රන්ථකරණයටත්, පරිවර්තන කෘති බිහි කිරීම කෙරෙහිත් විශේෂ කුසලතාවක් දැක්වූ ආරියදාස සෝමතිලක මහතා 1961 දී ‘සිග්මන් ෆ්‍රොයිඩ් සහ මනෝ විග්‍රහය’ ත්, 1964 දී ‘කෘෂ්ණමූර්ති හා නිහඬ සිත’ ග්‍රන්ථයත් රචනා කළේ ය. ඊට පසුව ඔහු විසින් රචනා වූයේ 1972 දී ‘‍ප්‍රායෝගික මනෝවිද්‍යාව’ නමැති ග්‍රන්ථයයි. 1979 දී ‘කාම මනෝ විද්‍යාව’ ග්‍රන්ථය ද දොරට වැඩිණි. ‘කාම මනෝ විද්‍යාව’ ග්‍රන්ථයට රාජ්‍ය සම්මාන ලැබීම විශේෂත්වයකි. එය සෝමතිලකයන් ලැබූ ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මානයයි.

සෝමතිලක සූරීන් පරිවර්තන සාහිත්‍යයට ද කළ මෙහෙවර සුළු නැත. ඔහු පළමුවරට 1984 දී ඉන්දීය ලේඛක භට්ටාචාරීන් ගේ ජනප්‍රිය කෘතියක් ඇසුරෙන් ‘රන්දෙවොල බිඳ වැටෙයි’ නමින් පළමු පරිවර්තන කෘතිය බිහි කළේ ය‍. දෙවැනි පරිවර්තන කෘතිය වශයෙන් අප්‍රිකානු ජාතික චිනුවා අචිබෙ ගේ සුප්‍රසිද්ධ නවකතාවක් ‘මුහුද ගොඩ ගලා’ නමින් 1986 දී ප්‍රකාශයට පත් කරන ලදී. පසුව මේ කෘතියට ද හොඳම පරිවර්තනයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

රජයේ ලිපිකරු සේවයට බැඳුණු සෝමතිලක මහතා බදුල්ල, කෑගල්ල, වවුනියාව වැනි ඈත පළාත්වල රාජකාරි කළ අතර පසුව කොළඹ මහාධිකරණයේ භාෂා පරිවර්තක ලෙස තවදුරටත් රාජකාරිය ඉටු කළේ ය. පණස් පස් විය සපිරුණු වහාම සේවයෙන් විශ්‍රාම ගෙන පූර්ණකාලීනව ග්‍රන්ථකරණයට යොමු වීම ඔහුගේ එකම අභිලාසය විය. ඒ අනුව ඉසුඹුලත් සෝමතිලකයන් විසින් විශ්ව කීර්තියට පත් ඉන්දීය ජාතික ලේඛක ආර්.‍ෙක්. නාරායන්ගේ ‘ද ගයිඩ්’ නමැති නවකතාව ‘වීදුරු බිත්ති’ නමින් 1987 දී පරිවර්තනය කළේ ය. එහෙත් එහි පෙරවදන ලිවීමට පෙර හදිසියේ රෝගාතුර වූ සෝමතිලකයෝ 1987 නොවැ. 25 දින අභාවප්‍රාප්ත වූහ. වසරේ හොඳම පරිවර්තනයට හිමි රාජ්‍ය සම්මානය මෙම ‘වීදුරු බිත්ති’ ග්‍රන්ථයට ද හිමි වීම විශේෂත්වයකි.

Comments