මතට තිත පොලීසියෙන් තදට | Page 2 | සිළුමිණ

මතට තිත පොලීසියෙන් තදට

මතට තිත තැබීමේ අරමුණින් දෙසැම්බර් මාසය පුරා දිවයිනේ සියලු පොලිස් ස්ථාන විශේෂ කාර්යයන් රැසක් සඳහා යොමු කර ඇතැයි වැඩ බලන පොලිස්පති ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.‍

රටේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කරනු ලබන මුදලට සමාන මුදලක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් හා ඇබ්බැහිවූවන් මත්ද්‍රව්‍ය සඳහාද වැය කරනු ලබන බවත්, මේ නිසා රටේ සංවර්ධනයට අවශ්‍ය තරුණ ශ්‍රමය පවා රටට අහිමිව ඇති බ‍වත් වැඩ බලන පොලිස්පතිවරයා කීය.

මේ මාසය පුරා සිදු කරනු ලබන වැටලීම්වලට අමතරව දැනුවත් කිරීමේ ව්‍යාපෘති විශේෂ තැනක් ගන්නා බව පෙන්වා දුන් වික්‍රමරත්න මහතා ඒ යටතේ සෑම පොලිස් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂයක ප්‍රතිපාදන ලබා දී ඇතැයිද පැවසීය.

මීට අමතරව විදුලි තරාදි 50ක් එක් පොලිස් කොට්ඨාසයකට ලබා දීමටද පොලිස් කොට්ඨාසවලට ලැප්ටොප් පරිගණක ලබා දීමටද මේ මාසයේදී කටයුතු කරන අතර, මත් විරෝධී දැන්වීම් ප්‍රචාරය කිරීමත් ඒ යටතේ මඟී ප්‍රවාහන බස් රථ, දුම්රිය හා ත්‍රිරෝද රථ මඟින් ජනතාව දැනුවත් කිරීමත් සිදු කරනු ලබන බවත් ඔහු කීය.

මේ වසරේදී පමණක් පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකය මඟින් හෙරොයින් කිලෝ ග්රෑම් 311ක් හා කොකේන් කිලෝ ග්රෑම් 200ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

Comments