
ජීවිත රක්ෂණ, තොරතුරු තාක්ෂණ, පුනර්ජනනීය බලශක්ති පර්යේෂණ හා නව සොයාගැනීම් ඇතුළු අංශ හයක ආයෝජන දිරිගැන්වීමට රු. මිලියන 3400ක බදු සහන ආයෝජකයන්ට ලබාදීමට රජය තීරණය කොට තිබේ. 2018 අප්‍රේල් 01 වැනිදා සිට නව බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ රජයේ ආදායම් වැඩි කරගැනීමට ඉලක්ක කර, නව ආයෝජකයන්ට දිරිදීමට මේ සහන ලබා දෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අාචාර්ය ආර්එච්එස් සමරතුංග මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව 2018 අප්‍රේල් 01 වැනිදා සිට නව වසර 4ක් තුළ වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3 දක්වා වන ආයෝජනවල ක්ෂය වන වත්කම් මත ආදායම් බදු සහන ලබාදෙන බව පැහැදිලි කළ ලේකම්වරයා, එම සහනය උතුරු පළාත් ආයෝජනයක් නම් 200%ක්ද, අනෙකුත් පළාත්වල නම් සියයට 100ක් ලෙස හිමි වන බවත් කීවේය.
මේ බදු සහනයෙන් රජය බලාපොරොත්තු වනුයේ කොළඹට හෝ බස්නාහිර පළාතට හෝ සීමා නොවූ කර්මාන්තකරණයක් මුළු රටේම ඇති කිරීම බවද ලේකම්වරයා පැහැදිලි කළේය. මේ සමඟම ලාභදායක ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට බෙදාහැරෙන අතිරික්ත අරමුදල් සඳහා වසර තුනක කාලයකට 50%ක බදු සහනයක් ලබා දෙනු ඇත.