හරි වහර | සිළුමිණ

හරි වහර

හරි වහරෙහි ලා බොහෝ විට විමැසෙනුයේ වදනක් හෝ යෙදුමක් හෝ නිවැරැදි වැ ලියන අයුරු යි. එ නම් ලේඛනයෙහි නිරවද්‍යතාව ම මෙහි දී බෙහෙවින් විමසනු ලැබේ. ලේඛනයෙහි තරම් නැත ද භාෂණයෙහි දී ද නොයෙක් වරද ක‍ැරෙනු අසන්නට ලැබේ. එ හෙයින් භාෂණයෙහි නිරවද්‍ය ව්‍යවහාරය කෙරෙහි ද සැලැකිල්ල යොමු කළ යුතු වෙයි. සිංහල භාෂණයෙහි යෙදෙන කවුරුත් විසිනුදු එසේ කළ යුතු යි. එ ද වෙසෙසින් ම නිවේදකයන් - අද වහරින් කිව හොත් පූරකයන් - විසින් භාෂණය ඉතා නිවැරැදි ව කළ යුතු යි. ඔවුහු එසේ කරත් ද නොකරත් ද යනු ජනමාධ්‍යයට - විද්යුත් මාධ්‍යයට - සවන් දීමෙන් මැනැවින් වටහාගත හැකි ය. එය පසකට කොට, භාෂණයේ කැරෙන වරදක් දෙකක් අද ‘හරි වහරෙහි’ දී මුලින් ම විමසා බලමු.

සිංහලය ශාබ්දික භාෂාවකැ යි ගැනේ. එ නම් කියන සැටියට ම ලියන, ලියන සැටියට ම කියන බසෙකි. එහෙත් සිංහලයෙහි යෙදෙන අැතැම් තත්සම - විශේෂයෙන් සංස්කෘත තත්සම - ලියන සැටියට වෙනස් වැනි කියන තැනුදු ඇත්තේ ය. එ වන් තැන් කිහිපයක් කෙරෙහි හරි වහරෙහි සැලැකිල්ල යොමු කරමු.

 

1. ජනප්‍රිය - බොහෝ විට වහරෙහි දී ඇසෙනයේ මෙ වදන ‘ජන/ප්‍රිය’ වශයෙන් උච්චාරණය කැරෙන අයුරු යි. ‘ජන’ යන්නෙහි ‘න’ මුඛ කුහරය සංවෘත කොට - හකුළුවා උචාචාරණය කිරීම වරදෙකි. වදන් දෙකක් එක් වීමෙන් නිපන් සමාසයක් වතු දු මෙය තනි වදනක් සෙයින් උච්චාරණය කළ යුතු යි. මෙ බඳු තැන්හි දී ‘ර්’ ශබ්දයට පෙර හල් අකුරක් යෙදෙතොත් එය ද්විත්ව වන බැවින් ‘ප්’ යනු ද්විත්ව වේ. ඒ ද්විත්වයෙහි මුල් ‘ප්’ එයට පෙර වූ ‘න’ හා එක් වැ තනි මාත්‍රාවක් බවට පත් වෙයි. එ හෙයින් නිවැරැදි උච්චාරණය වනුයේ ‘ජ නප් ප්‍රි ය’ යන්න ම ය. ‘අ’ ස්වර සංයුක්ත ව්‍යඤ්ජන ශබ්දයක් හල් අකුරකට පෙර යෙදෙතොත් එ දෙක එකට උච්චාරණය කිරීමේ දී ඒ ව්‍යඤ්ජනය මුඛ කුහරය විවෘත කොට උච්චාරණය කැරෙන බැවින් මෙහි දු ‘න’ එ සේ උච්චාරණය කළ යුතුයි.

2. ජනප්‍රවාද - මෙ ද ජනප්‍රිය වැනි ම වදනෙකි. නිවැරැදි උච්චාරණය ‘ජ නප් ප්‍ර වා ද’ වෙයි.

3. ජනක්‍රීඩා - නිවැරැදි උච්චාරණය ‘ජ නක් ක්‍රීඩා’ යනු ය.

4. ජනශ්‍රැති - මේ වෙසෙසින් සැලැකිය යුතු වදනෙකි. මෙහි පෙර කී රීතිය මෙන් ම තව ද කරුණක් වරදවන සෙයක් දක්නා ලැබේ. එ නම් ‘ශ්‍රැ’ යනු ‘ශ්රැ’ යැ යි (‘ඇ’ කාරයකුදු සහිත වැ) උච්චාරණය කිරීමයි. ඒ මහත් වරදෙකි. මේ සංස්කෘත තත්සමයෙකි (සංස්කෘතයෙහි ‘ජන’ යනු ද ‘ශ්‍රැති’ යනු ද එක් කොට ‘folklore’ යන ඉංගිරිසි වදනෙහි අරුත දෙනු පිණිස තනාගත් පාරිභාෂිත වචනයෙකි.) සංස්කෘතයෙහි ‘අැ’ ශබ්දයක් හෝ රූපයක් හෝ නො යෙදේ. එ හෙයින් ‘ශ්රැති’ යන උච්චාරණය සපුරා වැරැදි යි. ශ්‍රැත (අසන ලද) යන්නට ‘ඉ’ ප්‍රත්‍යයය එක් කොට නිපදවාගත් මෙ වදන හැඩැවිය යුත්තේ ‘ශ්රැති’ යනුවෙනි. යට කී ද්විත්ව වීමේ රීතිය ද සැලැකිල්ලට ගත් කල්හි ‘ජනශ්‍රැති’ යන වදනෙහි නිවැරැදි ඉසිරැවීම (උච්චාරණය) නම් ‘ජ නශ් ශ්රුති’ යනු යි.

ඇතැම් වියතුන් පවා මෙහි ‘ශ්‍රැ’ ශබ්දය ‘ශෘ’ යනුවෙන් ‘ශ’ අක්ෂරයට ගැටය සහිත ඇලපිල්ලක් යොදා ලියන නමුදු එ ද ඉඳුරා වරදෙකි. එ සේ ලියතොත් උච්චාරණය කළ යුතු වන්නේ ‘ශ්ර්’ (ශ්ර්ත) යනුවෙනි. එ හෙයින් ජනශෘති යනු ද අපශබ්දයෙකි.

5. ජයග්‍රහණ - මේ සංස්කෘත තත්සමය නිවැරැදි වැ උච්චාරණය කළ යුතු ‘ජ යග්ග්‍රහණ’ යනුවෙනි. ලේඛනයේ දී (මූර්ධජ) ‘ණ’ යෙදෙන සැටි ද සැලැකිය යුතු යි.

 

  

Comments