
ඔබගේ චින්තනය, සම්ප්‍රදාය නම් පසෙහි ගැඹුරට මුල් ඇදී ගියා වූ ගසකි; එහි අතු ඉති අඛණ්ඩත්වයේ බලය තුළ වැඩෙයි.
මගේ චින්තනය අවකාශයේ පාවී යන්නා වූ වලාකුළකි. එය දිය බිඳු බවට හැරී, ඇද හැලෙද්දී, මහ සයුර වෙත ගී ගයමින් ඇදී යන දිය දහරක් මවයි; අනතුරුව එය වාෂ්පයක් සේ අහස් ගැබට නැඟෙයි.
ඔබගේ චින්තනය ප්‍රචණ්ඩ මාරුතයෙන් හෝ අසනි ප්‍රහාරයෙන් හෝ සොලවාලිය නොහැකි බළකොටුවකි.
මගේ චින්තනය ළා දලුවකි. හැම අතටම පැද්දෙන එය ඒ පැද්දීම තුළ තම සතුට සොයා ගනී.
ඔබගේ චින්තනය චිරන්තන දෘෂ්ටියකි. එයට ඔබ වෙනස් කළ නොහැකි අතර, ඔබට ද එය වෙනස් කළ නොහැකිය.
මගේ චින්තනය නැවුම් ය; එය මා පරීක්ෂාවට ලක් කරන අතර, මම එය උදේ හවා පරීක්ෂාවට ලක් කරමි.
ඔබට ඔබගේ චින්තනය ඇත. මට මගේ චින්තනය ඇත.
spiritual sayings of khalil Gibran නම් කෘතිය ‘ඛලීල් ජිබ්රාන් සුභාෂිතය‘ නමින් ආනන්ද අමරසිරි පරිවර්තකයා කළ පරිවර්තනයේ ඔබගේ චින්තනය හා මගේ චින්තනය නමින් මෙසේ පරිවර්තනය වී තිබිණි.
ඔබගේ චින්තනය හා මගේ චින්තනය සැබැවින් ම වෙනස් විය හැකිය. ලෝකයේ කිසිදු පුද්ගලයන් දෙදෙනෙක් සමාන වන්නේ නැත. එක අම්මාගේ කුසින් ඉපදෙන දරුවන් සමාන ගති පැවතුම්, චින්තන සහිත අය නොවන්නේ නම් වෙනස් පරිසරයක, වෙනස් ගති පැවතුම් සමඟ ඉපදෙන මිනිසුන් සමාන වන්නේ කෙසේද? ඉඳින් ඔබේ, මගේ චින්තනය වෙනස් නොවන්නේ නම් නොවේද පුදුම...
එහෙත් මා මේ කතා කරන්නේ මතුපිටින් පෙනෙන ගති පැවතුම් ගැන නම් නොවේ. එකිනෙකට වෙනස් සිතිවිලි කොතෙක් තිබුණත් ඒ සිතිවිලි නව චින්තනයක් ලෙස ගොඩනඟා ගත හැකි නම් එයයි වැදගත් වන්නේ.
ඔබ හෝ මා පූර්ණ වශයෙන් ම මානසික සුවයෙන් හා යහපත් චින්තනයකින් යුක්ත වූවන් නොවන්නේ ඇයි? ඔබ මේ ලොව නිරීක්ෂණය කරන්නෙක් නම් ලෝකය කුමක්ද යන්න තේරුම් ගැනීමට අපහසු නැත. ලෝකය තමා ම බවත්, එය තමන්ගෙන් වෙනස් වූවක් නොවන බවත්, ලෝකය නිර්මාණය කරන්නේ තමා ම බවත් පමණක් නොව සමාජය නිර්මාණය කරන්නේ ද තමා බවත් නිරීක්ෂණය කරන්නාට පහසුවෙන් තේරුම් යයි. විවිධ දෘෂ්ටි, විශ්වාස, පුද පූජා විධි සමඟ වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වන විවිධ ප්‍රශ්න ද ඇති කරන ආගම් නිර්මාණය කළේ ද තමන් බවත් එවිට ඔහු තේරුම් ගනී. එය නිර්මාණය කරන්නේ ද මිනිසා විසින් ම යි. හොඳ මිනිසුන් වීමට අපට බාධාවක් වන්නේ එය ද? අප විවිධ විශ්වාසවල එල්බ ගෙන සිටීම ද අපේ පූර්ණ මානසික සුවය සඳහා බාධාවකි. බිය, පසුතැවිල්ල, තනිකම, බලාපොරොත්තු ඉටු කර ගැන්මේ අවශ්‍යතාව හෝ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් ගැන සැලැකිලිමත් වීම මේ ගැටලුවලට හේතුව ද? මිනිසා හොඳ කෙනකු වීමට, නව චින්තකයකු වීමට බාධාවක් වන්නේ එය නම් ඒවායේ වටිනාකමක් නැති බැව් ඔබට අවබෝධ වී නැතිද?
ලෝකය පුරාම පවතින ව්‍යාකුලත්වය සහ අපිළිවෙළ අපගේ ජීවිතයට අනතුරකි. තමා ගැන හෝ ලෝකය ගැන නිරීක්ෂණය කරන ඕනෑම නිරීක්ෂකයකු ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. විද්‍යාඥයන්, දේශපාලනඥයන්, දාර්ශනිකයන්, ගුරුවරුන් ආදී ඕනෑම අයෙක් මොන රටෙන් ආවත්, මොන යෝජනා ඉදිරිපත් කළත් අපේ ප්‍රශ්න නම් විසඳා නැත. විවිධ සිද්ධාන්ත, විවිධ මතිමතාන්දර ඔවුහු ඉදිරිපත් කරති. නමුත් ඒ අවසන අපේ ප්‍රශ්න විසඳී නැත. තව ඉදිරියේ වුව ද කිසිවකුත් ඒවා විසඳන්නේ ද නැත. ප්‍රශ්නය නිර්මාණය කර ඇත්තේ අප විසින් ම නිසා විසඳිය යුත්තේ ද අප විසින් ම ය. එහෙත් අවාසනාවකට මෙන් දැන් අප ජීවත්වන විදියට මුළුමනින් ම තමා ගැන පමණක් සිතමින් ගත කරන ආත්මාර්ථකාමී ජීවිත පිළිබඳ ව විමර්ශනය කරමින් අපේ ප්‍රශ්න දෙස විවෘත ව බැලීමට අපේ කැමැත්තක් නැත.
සද්භාවයේත්, පරාර්ථකාමීත්වයේත් පාරිශුද්ධත්වය ඇතිව අපට ජීවත් වීමට හැකි ද? එකිනෙකා පසුපස තරගකාරීව දිවෙන මේ ජීවිතය මඳක් නවතා අපේ සිතේ ව්‍යාකූලත්වය අපට ම අවබෝධ කරගත හැකි නම්. එසේ කළ නොහැකි නම් අපේ ජීවිතවල, අපේ දරුවන්ගේ ජීවිතවල මතු පරම්පරාවේ අයගේ ජීවිතවල වැඩිවෙමින් පවතින ව්‍යාකුලත්වයේ අනතුර අපට පිළිගැනීමට සිදු වන්නේ ය.
ලෝකය තමා ම වන නිසා මුලින් ම තමා ගැන ම දැනුවත් වී අපි, අපි ම පරීක්ෂා කර බලමු ද? වර්ගය, ආගම, ජාතිය, විශ්වාසය කුමක් වුවත් ලෝකය පුරාම මිනිස්සු මානසික වශයෙන්, අභ්‍යන්තර වශයෙන් දුක් විඳිති. මෙය සමස්ත මිනිස් වර්ගයාට ම පොදු කාරණයකි. මේ තත්ත්වය තේරුම් ගැනීමට හැකිනම් සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ම ස්වභාවය ඔබ තේරුම් ගත්තා වෙයි.
එය වෙනස් කරන්නේ කුමකින් ද? විපත්, කම්පන, සන්දර්ශන, ප්‍රතිරූප, ආණ්ඩු හෝ පරමාදර්ශ විසින් ය. මේවා අප හැමට ම පොදු කරුණු ය. අපේ අධ්‍යාපනය වැඩි වැඩියෙන් නවීකරණය වන විට, අප වඩාත් ශීලාචාර වන විට, ස්වභාව ධර්මයෙන් ක්‍රමයෙන් ඈත් වනවිට අපේ නොමිනිස්කම් ද වැඩි වේ. එසේ නම් ඔබ කුමක් කළ යුතුද? දෙවිවරුන්, ආගමික ශාස්තෘෘන්, ගුරුවරුන් ආදී මෙකී නොකී කිසිවකුත් ඔබට පිහිට නොවන විට තමා තනිවම තමාව අවබෝධ කරගත යුතු බව ඔබ වටහා ගත යුතු ව ඇත. එවිට සද්භාවය ඔබේ හදවතින් ඇතිවීමට පටන් ගනී. දරුවන්ගේ ලොව සුන්දර කළ හැක්කේ එවන් චින්තනයක් ඇති කර ගතහොත් පමණී.