
ලොව ජනප්‍රියතම ක්‍රීඩාවේ සුවිශේෂී එමෙන්ම වැදගත්ම තරගාවලිය ලබන වසරේදී පැවැත්වේ. ඒ 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියයි. මෙවර එය පැවැත්වෙන්නේ රුසියාවේදීය. මෙවර පැවැත්වෙන්නේ 21 වැනි තරගාවලියයි.
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුනි මස 14 සිට ජුලි 15 දක්වා පැවැත්වෙනු ඇත. ඊට රටවල් 32 ක් සහභාගි වේ. පැවැත්වෙන මුළු තරග ගණන 64 කි. නගර 11 ක ක්‍රීඩාංගණ 12 කදී එම තරග පැවැත්වේ.
මෙවර සහභාගිවන රටවල් 32 න් 31 ක්ම සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි විය. එම තරග 2015 වසරේ මාර්තු සිට 2017 නොවැම්බර් 11 දක්වා පැවැත්විණි. ඒ අනුව 2018 ලෝක කුසලානයට සහභාගිවන රටවල් 32 මේ වන විට තෝරාගෙන අවසන්ය. මින් රුසියාව ඊට නිතරගයෙන්ම සුදුසුකම් ලැබුවේ සත්කාරක රට වශයෙනි.
2018 ලෝක කුසලානයට සහභාගිවන රටවල්
ආසියාව (රටවල් 05)
ඔස්ට්‍රේලියාව, ඉරානය, ජපානය,
සවුදි අරාබිය, දකුණු කොරියාව.
අප්‍රිකාව (රටවල් 05)
ඊජිප්තුව, මොරොක්කෝව, නයිජීරියාව,
සෙනගාලය, ටියුනීසියාව.
උතුරු, මධ්‍යම අමෙරිකාව සහ කැරිබියානු
(රටවල් 03)
කොස්ටරිකා, මෙක්සිකෝව, පැනමාව
දකුණු අමෙරිකාව (රටවල් 05)
ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව,
පීරු, උරුගුවේ.
යුරෝපය (රටවල් 14)
රුසියාව, බෙල්ජියම, ක්‍රොයේෂියාව, ඩෙන්මාර්කය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, සර්බියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විස්ටර්ලන්තය.
මෙවර සුදුසුකම් ලැබීමේ දී පැවැත්වු මුළු තරග ගණන 872 කි. ඊට සහභාගි වූ රටවල් ගණන 210 කි. එහිදී රැස් කරන ලද මුළු ගෝල් ගණන 2454 කි. එහිදී වැඩිම ගෝල් ගණන ලෙසට ගෝල් 16 බැගින් රැස් කිරීමට තිදෙනෙකු සමත් වුහ. ඒ පෝලන්තයේ රොබර්ට් ලෙවන්ඩොව්ස්කි, සවුදි අරාබියේ මොහොමඩ් අල් සාහ්ලාවි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහ්මඩ් ඛාලිල්ය.
මෙවර ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලි සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි වූ රටවල් කිහිපයක්ම තිබුණි. ඒ භූතානය, දකුණු සුඩානය, ජිබ්‍රොල්ටා, කොසොවෝය. මේ අතර සිම්බාබ්වේ සහ ඉන්දුනීසියාව යන රටවල් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලින් ඉවත් කළේය.
සුපුරුදු පරිදි සුදුසුකම් ලැබීමේ තරගවලදී පෙරළිකාර සිදුවීම් රැසක්ම වාර්තා විය. ඒ අතරින් දැඩි අවධානයක් යොමු වූයේ ඉතාලිය, අමෙරිකාව සහ නෙදර්ලන්තය වැනි රටවල්ට ලෝක කුසලාන වරම අහිමි වීමයි. මින් ඉතාලියට ලෝක කුසලාන තරගාවලිය අහිමි වූයේ 1958 වසරෙන් පසුවයි.
ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සෑම තරගාවලියකටම සහභාගි වූ එකම රට වනුයේ බ්‍රසීලයයි. එමෙන්ම වැඩිම අවස්ථා ගණනක (05) ලෝක ශූරතාවත් ඔවුන්ට හිමිවිය. ජර්මනිය සහ ඉතාලියට ලෝක ශූරතා සතර බැගිනි.
මේ අතර ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දෙරටක් මෙවර සිටියි. ඒ අයිස්ලන්තය සහ පැනමාවයි. මින් අයිස්ලන්තය වඩාත් කැපී පෙනෙයි. ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සහභාගි වූ අඩුම ජනගහනයක් සිටින රට වශයෙනි. ඔවුන්ගේ ජනගහනය 2016 ලෝක බැංකුවේ වාර්තාවකට අනුව 334,252 කි.
වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීමේදී ඔවුනට 21 වැනි තැන හිමිය. ඔවුන් ප්‍රථම වරට ප්‍රධාන තරගාවලියකට සුදුසුකම් ලැබුවේ 2016 වසරේදීය. ඒ යුරෝ තරගාවලියටයි. එහිදී ඔවුන් අර්ධ අවසන් වටය දක්වා ගියේය.