
මේ කවියට හෙඩිමක් නැත. හෙඩිම කවිය වී ඇත. කවිය හෙඩිම වී ඇත.
එහෙත් මෙහි එන වචන දෙක මහා කාව්‍යයක් තරමට බරසාර ය...!?
ජීවිතය ‘ඩෝං’! යනු කවියක්ද, හයිකුවක් ද, පාඨයක් ද නැතහොත් සංකේතයක් ද? එය තීන්දු කළ හැක්කේ අපට මේ ප්‍රබන්ධය දැනෙන හා හැඟෙන ආකාරයට අනුවය. නැතහොත් ඒ ඔස්සේ අප සිත්හි මතුවන මානසික විපර්යාසයට අනුව ප්‍රබන්ධයේ බරපතළකම තීන්දු වන්නේ යැයි කියන්නට පුළුවන. කෙනෙකුගේ දැනුම, අත්දැකීම් හා සංජානන හැකියා ඊට බලපාන සාධක ලෙස පෙන්වා දිය හැකි ය. මට නම් එය කවියකි. මේ කවිය ඔස්සේ මරණයේ භීතිකාව මගේ මස්තිෂ්කයට වහා කඩා වදී. මහා කාව්‍යයක තරම් බරපතළකමක් ද මට එම කවියෙන් දැනෙයි.
ලෝකයේ සකලවිධ කලා නිර්මාණ ජීවිතය ඇසුරු කොට පවතින්නේ ය. ඒ පිළිබඳ තර්කයක් නැත. නවකතාව යනු ජීවිතය පිළිබඳ විවරණයකැයි කියති. කවිය යනු ජීවිතයේ රස - භාව නිරූපණය යැයි කියති. වර්නර් හසොග් නම් සම්මානනීය චිත්‍රපටකරුවාට අනුව සිනමාව යනු මිනිස් ස්වාභාවය රඟදැක්වීමකි. බ්‍රෙෂ්ට්ට අනුව නාටකය යනු සමාජයේ පොදු මනෝ - භාව ප්‍රති - නිර්මාණය කිරීමකි.
මේ කවිය ද ජීවිතය තේමා කරගනී. මෙහි ජීවිතය යනු ජීවත්වීම ය. මිනිසාගේ පරම පවිත්‍ර චේතනාව වන්නේ ද, උත්කෘෂ්ට වෑයම වන්නේ ද ජීවත්වීම සඳහා සටන් වැදීම ය. එහි ප්‍රතිපක්ෂය වන්නේ මරණය යි. මරණය යනු ජීවිතයේ ප්‍රධාන අභියෝගය ලෙස ද ගත හැකි ය. කිසිවකු මරණයට කැමැති නැත. එහෙත් කවියට අනුව කිසිදු සමාවකින් තොරව මරණය එකවර කඩා වදී. සීමා - මායිම් නැත. නීති - රීති නැත. ත්‍රාසය හා භීතිය සමඟ අප මේ තත්ත්වය කරා ඇදී යන බවක් පෙනෙයි.
මේ කවිය උපුටා ගත්තේ 1989 නොවැම්බර් ‘යාත්‍රා’ කලාපයෙන් ය. එකල මේ සඟරාව රැඩිකල් තරුණයන් අතර බෙහෙවින් ප්‍රචලිත විය. එම කලාපයෙහි 22 වැනි පිටුවේ සැලකිය යුතු ඉඩ හසරක් සහිත ව ඉහත සඳහන් වචන දෙක සටහන් වී තිබිණි. පිටුවෙන් දහයෙන් හයක පමණ ඉඩක් වචන දෙකට ලබාදී ඇත. එය ‘බොක්ස්’ කර කවිය වමට බරව ද කවියාගේ නම දකුණට බරව ද සටහන් කර තිබිණි. එහි පවතින සුදු - හිඩැස හැඟුම්බර ය. කවියා කුමාර හෙට්ටිආරච්චි නම් වේ.
සමහර නිර්මාණ කෘතිවල අර්ථ - විවරණය සඳහා කවියාගේ මෝස්තරය ද, නිර්මාණය රචනා වූ කාලය ද වැදගත් ය. රචනා වූ කාලය යන්නෙන් එය ප්‍රකාශයට පත්වන කාල රාමුව ද අදහස් කෙරේ. මෝස්තරය යන්නෙන් කවියා භාවිත කරන ශිල්ප ධර්ම ද අදහස් කෙරේ.
කවියා වචන දෙකක් පමණක් ගළපන්නේ ඇයි? සඟරා පිටුව තුළ විශාල හිඩසක් තබන්නේ ඇයි? එම හිඩස කළු රේඛාවකින් වෙන් කරන්නේ ඇයි? කවියාට ද ජීවිත තර්ජනයක් ඇති බව එක අතෙකින් පෙනී යයි. ඔහු පුවත්පත් කලාවේ ශිල්ප ධර්ම මනා ලෙස පාවිච්චි කරන බවක් ද පෙනී යයි. ජනමාධ්‍ය සඳහා වූ වාරණය ද තවත් අතෙකින් සිහියට නැඟේ. වාරණය යන නීති රීති ම නො වන බව ද මෙහිලා සිහිපත් කළ යුතු ය.
හිස් ඉඩ යනු අවකාශය යි. ඒ මගින් සහෘදයාගේ කල්පනා ලෝකයට ආරාධනා කරයි. ටිකක් කියා හුඟක් හැඟවීමට ද මේ ක්‍රමය උපයෝගි කරගනී. කළු ඉර යනු කුමක්ද? ඉර වෙන් කිරීමට මෙන් ම එකතු කිරීමට ද යොදා ගනී. මෙහිලා සිදුවී ඇත්තේ දැඩි අවධානය සඳහා එකතු කිරීමකි. කවිය ‘බොක්ස්’ එකක් තුළ සටහන් කර තිබේ. ප්‍රබන්ධය ඉදිරිපත් කිරීම සඳහා සංස්කාරකෙග් සහාය ද ලැබෙන්නට ඇත. සඟරාවේ සංස්කාරක ලෙස කටයුතු කර තිබුණේ දීප්ති කුමාර ගුණරත්න මහතා ය.
මේ කාලයේ රචනා වූ තවත් කවියක සටහන් වී තිබුණේ මට ටයර් ගඳ දැනෙනවා යන්න ය. තරුණ ජීවිතවලට බලපෑ තර්ජනය එයින් ප්‍රකාශයට පත් වේ. 1988 – 1992 යනු ශ්‍රී ලංකාවේ අපට අතිබිහිසුණු කාලයකි. එය අරාජික කාලයක් ලෙස ද හැඳින්විය හැකි ය. රාජ්‍ය භීෂණය එක අතෙකින් පැවැතිණි. කැරලිකාරයන්ගේ ඝාතන රැල්ලක් තව අතෙකින් පැවැතිණි. මැර කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වයක් තවත් අතෙකින් පැවැතිණි. සමස්තය තුළ පැවැතියේ ජීවිත තර්ජනය යි. ජීවිතය ‘ඩෝං’ යනු මේ තත්ත්වය ප්‍රති - නිර්මාණය කරන හොඳම වචන දෙක යැයි කියන්නට පුළුවන.
‘ඩෝං’ යනු වචනයක් නො ව; විශේෂ යෙදුමකි. වචන සිය ගණනකින් මතු කළ නොහැකි බරපතළ හැඟීමක් ඉන් එළියට පනී. රාත්‍රිය - එහි අඳුර, බර සපත්තු, නවීන තුවක්කු, කළු ඇඳුම්, ගල් තොප්පි අප සිහියට නැඟේ. කුරු කනත්තක ඇති නිහඬතාව ද; එය සුනු - විසුනු කර නැෙඟන භයානක වෙඩි පහරවල් ද සහෘද සිහියට නැඟෙයි.
ප්‍රබන්ධය තුළ දේශපාලන කියැවීමක් මෙන් ම ඉතිහාස කියැවීමක් ද තිබේ. දේශපාලන කියැවීම තුළ විශේෂයෙන් කැපී පෙනෙන්නේ තරුණි නැගිටීම් මර්දනය කිරීම සඳහා රාජ්‍ය පාලනය විසින් ගෙන යනු ලබන ක්‍රියා පිළිවෙත් ය. අනිසි අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම්, වධකාගාර (එකල රට පුරා රහසිගත වධකාගාර විසි ගණනක් පැවැති බව කියැවේ. සමූහ ඝාතන හා මළමිනී ප්‍රදර්ශනය මේ අතර ප්‍රධාන වෙයි. ලෙබනනය, ඊශ්‍රායලය වැනි රටක හමුදා උපදේශනයක් අනුව මේ ක්‍රියා පිළිවෙත සැකසෙන්නට ඇතැ’යි සිතන්නට පුළුවන.
2010 ට පෙර සුඩානයේ මෙබඳු තත්ත්වයක් පැවැති බව ලෝක දේශපාලනය දෙස බලන විට පෙනී යයි. එහි ගැටුම්වල සන්දර්භය වෙනස් ස්වරූපයක් ගන්නේ වුව ඝාතන රැල්ල ක්‍රියාත්මක වූයේ මීට සමාන ලෙස ය. 2004 අගෝස්තු ‘එකොනොමිස්ට්’ සඟරාව කවරයේ කතාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සුඩානයේ ‘ඩාර්ෆූර්හි’ සිදුවන සමූහ ඝාතන ගැන ලෝකය කිසියම් බලපෑමක් සිදු කරමින් සොයා බැලිය යුතු බව ය. මෙබඳුම තත්ත්වයකට එදා ශ්‍රී ලංකාව ද මුහුණ දුන්නේ ය. දකුණු අප්‍රිකාව, කොංගෝ රාජ්‍යය හා කෙන්යාව ද මෙබඳු කාල වකවානු පසුකර තිබේ.
ඓතිහාසික වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව මෙබඳු අවස්ථා ගණනාවක් පසුකර තිබේ. ඉතිහාසය හදාරන විට එය පැහැදිලි වෙයි. එහෙත් ඒ කිසිදු කාල වකවානුවක් විධිමත් නිරීක්ෂණයකට ලක් වී නැත. 1988 – 1992 සිදුවීම් ගැන ද විධිමත් නිරීක්ෂණ සිදු වී නැත. එනිසා ඊට අදාළ දේශපාලන විසඳුම් ක්‍රියාත්මක වූයේ ද නැත.
කවියාට හෝ කලාකරුවාට හෝ පමණක් සමාජ වෙනසක් ඇති කළ නො හැකි ය. කවියාට කළ හැක්කේ ඇත්ත හෙවත් පවත්නා ස්වභාවය හෘදයංගම ලෙස නිරූපණය කිරීම පමණි. ඔහු විප්ලවවාදියකු නොවන්නටත් පුළුවන. එහෙත් කවියා වෙතින් සමාජය මුවහත් වෙයි. විප්ලවය සඳහා සමාජ ව්‍යාපාර අවශ්‍ය වේ. ඇතැම් විට කවියා ද එම සමාජ ව්‍යාපාරයේ ක්‍රියාධරයකු වන්නට පුළුවන. වියට්නාමයේ නාම්කාඕ එබඳු තැනැත්තෙකි. ඔහු රතු හමුදාවට බැඳී යුද පෙරමුණට ද ගියේ ය. එබඳු ලේඛකෙයා් ශ්‍රී ලංකාව තුළ එදත් හිඟ ය; අදත් හිඟය.
කුමාර හෙට්ටිආරච්චි මහතා මීට වසර විසි අටකට පෙරත් සත්‍යය හෘදයංගම ලෙස ප්‍රකාශ කරන්නට සමත් වී ඇත. ඔහු නිර්භීත කවියකු ලෙස හඳුන්වන්නට පුළුවන. ඒ පමණක් නොව; කවියේ උපාය මාර්ග සේ ම පත්තර කලාවේ උපාය මාර්ග ද භාවිත කරන්නට ඔහු යුහුසුලු වී ඇත. එයින් පෙනී යන්නේ කුමාර හෙට්ටිආරච්චි බුද්ධිමත් කවියකු බව ය. හිතට දුකක් දැනෙන්නේ ඔහු වැනි කවීන්ගේ නිර්මාණ නිරීක්ෂණය කරන්නට රටේ දේශපාලකයන් උත්සුක නොවීම ගැන ය.