
මෙරට ටෙලිනාට්‍ය කලාව කලාත්මක වශයෙන් ඉහළට ඔසවා තැබීමේ භාරධූර වගකීමට උරදුන් නිර්මාණකරුවන් අතෙළාස්ස අතරින් සුදත් රෝහණට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. එසේ හෙයින් ඔහු මේ මාධ්‍යය තුළ “රන් සලකුණක්” ලෙසින් ඔසවා තැබීම මෙරට යහපත් කලා මාධ්‍යයක් ප්‍රාර්ථනය කරනු ලබන්නාවූ කිසිවෙකුගේ විරෝධයට හසු නොවනු ඇත යන්න අපේ විශ්වාසයයි. මෙරට බහුවිධ කලා මාධ්‍යයන්හි මහා ප්‍රාඥයකු වශයෙන් සලකනු ලබන, එදා අද මෙන් හෙටත් කාගේත් සම්භාවනාවට පාත්‍රවන, වත්මනෙහි කලා ලෝකය දිග් විජය කරමින් නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවන් රැසකගේ ගුරු වූ, ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් ඔප මට්ටම් කරන ලද, හොඳ ම ශිෂ්‍යයෙකු වූ සුදත් සිය ගුරුවරයාගේ මාර්ගෝපදේශයන් අකුරට ම පිළිපදිමින් පුරා දශකත්‍රයකට අධික කාලයක් මෙරට කලාවේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නෙකි.
ගෙවී ගිය දශක තුනක කාලය පුරා මෙරට ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් ගේ ඇස පමණක් සංතෘප්තියට පත් කිරීමේ මිථ්‍යාවෙන් මිදී ඔවුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයාමේ නිර්මාණ බිහිකරලන්නට සුදත් තම කාලයත්, ධනයත්, ශ්‍රමයත් නොපිරිහෙළා පරිත්‍යාග කළ අයෙකි.
සුදත් තිස්ස අබේසේකරයන් ගේ සෙවණට පැමිණෙන්නට පෙර සිට ම කලාව පිළිබඳ උපන් භක්තියකින් යුතුව කටයුතු කළ තැනැත්තෙකි. කන්නන්ගර ආරච්චිගේ යසරත්න කන්නන්ගර හා හෙට්ටිතන්ත්‍රීගේ දෝන ලීලාවතීට දාව සුදත් උපන්නේ 1964 මැයි 8 වැනි දින මිනුවන්ගොඩදී ය. කලාව හා සබැඳි ඇසුරක් කිසිවිටෙකත් නොවූ පවුලක උපන් එක ම දරුවා වූ සුදත්, කුඩා කල සිට ම කලාව කෙරෙහි ආශක්ත වන්නට වූයේ එය පෙර සසර පුරුද්දක් විලසටය. මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඔහු, කුඩා ශිෂ්‍යයෙකුව සිටියදී ම සිය පාසලේ වැඩිහිටි ශිෂ්‍යයන් කිසියම් කලා කටයුත්තක නියැළෙද්දී ඒ අවට කැරකෙමින් සිටීමට පුරුදු වී සිටියේය. ඔහු ප්‍රථම වතාවට නාට්‍යයක් නිර්මාණය කරන විට හයවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවෙකු විය. එතැන් සිට “අම්මාවරුනේ”, “දේදුනු පාලම” වැනි නාට්‍ය සුදත් විසින් නිර්මාණය කර පාසල් වේදිකාවට ඉදිරිපත් කළේය. ඔහු ප්‍රසිද්ධ වේදිකාවක කළ මුල් ම රඟපෑම වූයේ ‘නිව්ෙයා්ර්ක් ආදරය” නාට්‍යයේය. පසු කලෙක ඔහු බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘වාලම්පුරි’ චිත්‍රපටයේ ද ළමා නළුවෙකු ලෙසින් රංගනයට එක් වූයේය. සුදත් නළුවෙකු වීමේ සිහිනයක සිටියද ප්‍රථම චිත්‍රපට රංගනයෙන් පසු වඩ වඩාත් ඔහුගේ සිත ඇදී ගියේ කාර්මික අංශය කෙරෙහිය. කැමරාව පසු පස වන සුවිසල් කතන්දරය ඔහු සිත කුතුහලයෙන් පුරවාලූයේය. එය අවසන් දිගහැරුම වූයේ අසීරුවෙන් සලසාගත් අවස්ථාවන් රාශියකගෙන් පසු සිනමාවේ දැවැන්ත වෘක්ෂයක සෙවණ යටට සුදත් පැමිණීමය. ඒ තිස්ස අබේසේකරයන් සෙවණටය.
සුදත්ට තිස්ස අබේසේකරයන් හමු වනුයේ ‘විරාගය’ චිත්‍රපටය කරමින් සිටි අවදියේදීය. සිනමා මාධ්‍යය කෙරෙහි උපන් උනන්දුවකින් පැමිණි තරුණ කොලු ගැටයකු වූ සුදත් අබේසේකරයන් ගේ අධීක්ෂණය යටතේ සිනමාවේ අ යනු ආ යනු ඉගෙන ගත්තේය. කෙනෙකු බලන බැල්මකින් වුවද ඔහුගේ අනාගතය කියවිය හැකි දුර දක්නා නුවණක් ඇති ප්‍රාඥයෙකු වූ අබේසේකරයන් සුදත්ගේ අනාගතය හඳුනාගෙන ඔහුට විරාගයේ සහාය අධ්‍යක්ෂවරයෙකු හා සංස්කරණ ශිල්පියෙකු වශයෙන් කටයුතු කිරීමට ඉඩ සලසා දුන්නේය. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හා තිර නාටක රචකයෙකු ලෙස සුදත් පැමිණි ගමන් මඟට මූලික අඩිතාලම වැටුණේ එතැනිණි.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන්නට ප්‍රථම ඔහු තිස්ස අබේසේකරයන්ගේ නිර්මාණ කිහිපයක ම සහාය අධ්‍යක්ෂවරයා වූයේය. ගංගාවතරණය, දොළොස්මහේ ගංගාව, තුන්කල් සිහිනය, එකගෙයි අවුරුද්ද වැනි ටෙලි නාට්‍ය ඒ අතර විණ. පසුව සිටුවරයෙකුගේ කතාව, ගංගා සහ නිශ්ශංක, නොනිමි සුවඳ වැනි ටෙලි නාට්‍යවලත් සහන් එළිය චිත්‍රපටයේත් සහාය අධ්‍යක්ෂණයට දායක විය.
සුදත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පිවිසෙනුයේ 1990 වසරේදීය. කමල් පෙරේරා විසින් රචනා කරන ලද ‘අමරාවතී සහ සෝමදාස’ නම් වූ කෙටි කතාව සුදත් ගේ තිර රචනයකින් එනමින් යුතු ටෙලිනාට්‍යයකට නැගුවේය. සුදත් ගේ නිර්මාණ ජීවිතය පුරා දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වනුයේ සාහිත්‍ය කෘතීන් රූප මාධ්‍යයට නැඟීමට ඔහු දක්වන රුචිකත්වයයි.
සුදත් සාහිත්‍යකාමියෙකි. මේ අදහස සනාත කිරීමට තරම් වන සාක්ෂි කොතෙකුත් ඔහුගේ නිර්මාණ ගොන්නේ අඩංගු වීමෙන් එය එසේ නොවේ යැයි කිසිවෙකුටත් තර්ක කළ නොහැකි යැයි මට සිතේ. ඔහු නිර්මාණය කළ ‘අවිදු අඳුර (1993) ටෙලි නාට්‍යය සඳහා පාදක කර ගනුයේ සරත් විජේසූරිය ගේ එනමිනු යුත් සාහිත්‍ය කෘතියයි. ඉන්පසු 1994 දී සරත් විජේසූරියගේ ම ‘නිරානන්දය’, 1995 දී පියසේන කහදගමගේ ගේ ‘වන වදුලේ වසන්තය’, 1996 දී ජයසේන ජයකොඩි ගේ ‘බැද්දෙගෙදර’, 1998 දී ස්වර්ණලතා කිරිවත්තුඩුවගේ ‘හිරු අවරට යා නොමදී’ 2001 දී ජයසේන ජයකොඩි ගේ ‘අඹුදරුවෝ’ 2005 දී සරත් ධර්මසිරි ගේ ‘කටු ඉඹුල’ 2008 දී මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ගේ ‘කරුවල ගෙදර’ 2010 දී සමරවීර විජයසිංහ ගේ ‘ස්වයංජාත’ 2013 දී ශාන්ති දිසානායක ගේ ‘ගිරිකුළ’ සුදත් අතින් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණය ලත් සාහිතය කෘති අතර විය. සාහිත්‍යකරුවා විසින් මවනු ලැබූ පාඨක මනසේ පෝෂණය වූ රූප රාමු විනාශ නොකිරීමට තරම් සුදත්ගේ රූප භාෂාව සමත්වීම මෙකී නිර්මාණයන්හි දක්නට ලැබූ සුවිශේෂී බව විය. සුදත් හැමවිට ම සාහිත්‍යකරුවාට ගරු කළේය. ඔහු විසින් ගොඩනඟන ලද කතා කලාවට ආදරය කළේය. තවෙකකු විසින් රෝපණය කරන ලද වෘක්ෂයක් පොහොර, වතුර එක් කරමින් ආදරයෙන් රැක බලා ගන්නෙකු පරිද්දෙන්, තවෙකකුගේ නිර්මාණ කාර්යයක් සුදත් ගේ රූප භාෂාව නැමැති මුතුපොටෙහි අමුණා රූපවාහිනී මාධ්‍යයට ගෙනහැර පෑවේය. සාහිත්‍යකරුවා මැවූ කිසිදු චරිතයකට සුදත් අතින් හානියක් නොවීම මෙකී නිර්මාණයන් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින් වැලඳ ගැනීමට ද හේතුවක් වන්නට ඇත.
ඔහු 1993 දී නිර්මාණය කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ගේ කෙටි කතා හතරක් ඇසුරින් නිර්මාණය කළ ‘විකුම්සිහ කතන්දර’ එකල බොහෝ දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වූයේය. නවකතා හා කෙටිකතා සාහිත්‍ය ඇසුරින් ටෙලිනාට්‍ය මාධ්‍යය පෝෂණය කරන්නට සුදත් දැක්වූ දායකත්වය ඔහුගේ නිර්මාණ දිවිය තුළ දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණයකි. ඉන් ද නොනැවතුණු ඔහු සිය කුලුදුල් චිත්‍රපටය සඳහා පසුබිම් කරගනුයේ ද සාහිත්‍ය කෘතියකි. එන්.ටී. කරුණාතිලක විසින් රචනා කරන ලද ‘උළුගෙදර ආරච්චිල’ කෘතිය ඇසුරින් ඔහු ‘සුදු කළුවර’ චිත්‍රපටය නිර්මාණය කළේය.
සාහිත්‍ය කෘති ඇසුරු කරමින් ඔහු කළ නිර්මාණයන්ගෙන් බැහැරව ඔහුගේ ටෙලි නාට්‍ය නිර්මාණයන් පිළිබඳ සලකා බැලූ කල ඒවාද රෙමට ටෙලිනාට්‍ය ඉතිහාසය තුළ සුවිශේෂ සලකුණු සනිටුහන් කළ ඒවාය. මන්දාරම් එළි (1991) දත්කැකුළු පාලා (1992) යුග විලක්කුව (1997) ඉරබටු තරුව (2000) ගඟ අද්දර කැලේ (2003) එක ඉත්තක මල් (2004) උතුවන්කන්දේ සරදියෙල් (2006) මේ අතර වේ. ඔහු විසින් නිර්මාණය කරන ලද මෙම ටෙලි නාට්‍ය සමුච්චය පිළිබඳ විමර්ශනාත්මකව විග්‍රහකර බැලීමේදී සුදත් මෙරට සුවිශේෂී අධ්‍යක්ෂවරයෙකු වීමේ හේතු කිහිපයක් අවධාරණය වේ. සුදත් රෝහණ යනු සෑම විටම අභියෝග සොයා යන්නෙකි. එසේ ම ඔහු කෙසේ හෝ එම අභියෝග ජය ගන්නෙකි. වර්තමානයේ අපේ ආලින්දයේ පෙරැළි කරන, එදිනෙදා සමාජයේ සුලභව අසන්නට දකින්නට ලැබෙන ලාභ සරල කතා වස්තු හා ලාභ දර්ශන සුදත් ගේ ටෙලිනාට්‍යවල දකින්නට නැත. යුග විලක්කුව, උතුවන් කන්දේ සරදියෙල්, ස්වයංජාත, කරුවල ගෙදර වැනි ටෙලිනාට්‍ය එවන් අභියෝග ජයගත් සුදත් ගේ ටෙලිනාට්‍යය.
සුදත් ‘යුග විලක්කුව’ ටෙලි නාට්‍යය නිර්මාණය කරනුයේ මෙරට ජනවාර්ගික අර්බුදය උපරිම තත්වයේ පැවති වකවානුවකය. උතුරුකරයේ යුද ගිනි දැල් ඇවිලෙද්දී සිංහල දෙමළ ජනවාර්ගික සමගිය අලළා ඔහු ලියූ තිර රචනය අනුමත කර ගැනීමට සුදත්ට දකුණේ සිට මහා යුද්ධයක් කිරීමට සිදුවිය. එසේම එම ටෙලි නාට්‍යය සැබෑ යුද පෙරමුණෙහි දර්ශනගත කිරීම වෙනුවෙන් අවසර පැතීමද එකල මහත් වූ අභියෝගයකි. නිර්මාණයකට පණටත් වඩා ආදරය කරන්නෙකුට මේ කිසිවක් අභියෝග නොවන බව සුදත් ඔප්පු කර පෙන්වූවෙකි.
මෙරට ඓතිහාසික කතා පුවතක් ඇසුරින් තැනුණ ‘උතුවන් කන්දේ සරදියෙල්’ ඓතිහාසික වටිනාකම නොනැසී පවත්වා ගනිමින් නිර්මාණය විසින් ඉල්ලා සිටිනු ලබන සියලු සත්කාරයන්ගෙන් පෝෂණය කරමින් රූගත කරන්නට ඔහු බොහෝ කැප කිරීම් කළේය. මෙවන් අවස්ථාවලදී ඔහු තම පහසුව හෝ ආර්ථික වාසිය පිළිබඳ කිසිසේත් ම නොතකන පුද්ගලයෙකි. ඔහුට වටිනුයේ තම නිර්මාණය පමණක්මය.
සුදත් ගේ නිර්මාණ කාර්යය තුළ කැපී පෙනෙන තවත් ලක්ෂණයක් වනුයේ තිර රචනය කෙරෙහි ඔහු යොමුකරන්නාවූ සුවිශේෂ අවධානයයි. ඔහු තිර රචනයෙහි නොයෙදන්නේ නම් ඒ සඳහා ඔහු යොදා ගනුයේ අති ශූර කතා කාරයෙකි. තිර රචනා ක්ෂේත්‍රයේ මෙරට සිටි ප්‍රවීණතමයා මෙන් ම සිය ගුරුවරයා වූ තිස්ස අබේසේකරයන් ගෙන් ලත් අප්‍රමාණ දැනීමේ හා ආභාසයේ අනර්ඝ ලක්ෂණ සුදත් මෙහිදී ප්‍රකට කරනු ලැබේ. ඒ ඒ නිර්මාණ සඳහා වන තිර රචකයන් ඔහු තීරණය කරනු ලබන්නේ ගසට පොත්ත මෙන් ඇති සමීප සබඳතාවක ගැළපීම නිර්ණය කොට ගෙනය. ඔහුගේ කරුවල ගෙදර සහ ස්වයංජාත ටෙලි නාට්‍යයන්හි කොටස් කිහිපයක් තිර රචනය කරනු ලැබුවේ තිස්ස අබේසේකර විසිනි. ‘කටු ඉඹුල’ තිර රචනය කරන ලද්දේ සරත් ධර්මසිරි විසිනි. “යුග විලක්කුව” සුගතපාල ද සිල්වා ගේය. ගඟ අද්දර කැලේ, එක ඉත්තක මල්, උතුවන් කන්දේ සරදියෙල් වැනි ටෙලිනාට්‍ය සඳහා ඔහු තෝරා ගත්තේ සෝමවීර සේනානායකය. අදාළ තේමාවට හිමි රිද්මය හඳුනා ගන්නා තිර රචකයන් තෝරා බේරා ගැනීමේ හැකියාව සුදත් සතු සුවිශේෂ දක්ෂතාවයකි.
සුදත් සහ තිස්ස අබේසේකර අතර වූ ගුරුගෝල සබඳතාව අතිවිශේෂය. ගුරුන්නාන්සේ ගෝලයාට ගුරු මුෂ්ටියක් නොතබා ම ශාස්ත්‍රය ඉගැන්වූවා සේම සුදත් ද එම ශාස්ත්‍රය හරිහැටි ඉගෙන සිය ගුරුවරයා සම්මානයට පාත්‍ර කළේය. තිස්ස අබේසේකර - සුදත් රෝහණ සුසංයෝගය මෙරට නිර්මාණ ධාරාවට බොහෝ දේ තිළිණ කළේය. එයට ෙහාඳ ම උදාහරණය වන්නේ තිස්ස අබේසේකර ‘විකුම්සිහ කතන්දර’ ටෙලිනාට්‍ය මාලාවේ නිෂ්පාදක වී සිය ශිෂ්‍යයා වූ සුදත් එහි තිර රචකයා හා අධ්‍යක්ෂවරයා කරලීමයි. සුදත් ගේ ‘මන්දාරම් එළි’ ටෙලි නාට්‍යයේ තිස්ස අබේසේකර විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙසත්, උතුවන්කන්දේ සරදියෙල්හි භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයකිනුත් රංගනයට එක්වන්නේය. මෙයින් ප්‍රත්‍යක්ෂ කරනුයේ ගෝලයාත් ගුරුවරයාත් අතර වූ අත්‍යන්ත බැඳීමය.
සුදත් සිය නිර්මාණ ඔස්සේ කලා ක්ෂේත්‍රයට නව පරපුරක් හඳුන්වා දුන් නිර්මාණකරුවෙකි. වර්තමානයේ ජනප්‍රිය නිළි තාරකාවන් වන සේමිණි ඉද්දමල්ගොඩ, උමයංගනා වික්‍රමසිංහ වැනි නිළියන් පමණක් නොව කාර්මික ශිල්පීන් ගණනාවකට ඉදිරියට එන්නට අත දුන්නෙකි. සුදත් කිසියම් වූ සමාජ ආර්ථික, දේශපාලන දැක්මකින් යුතුව නිර්මාණකරණයේ නියැළෙන්නෙකි. සමාජ හිතකාමී නිර්මාණකරණයේ නියැළීම වත්මන් ආර්ථික ප්‍රතිපත්තීන් තුළ අභියෝගාත්මක කාරණාවක් වුවද සුදත් තවමත් සිය ප්‍රතිපත්තීන්හි පිහිටා කටයුතු කරයි. වසර ගණනකින් ඔහු අතින් නව නිර්මාණයක් බිහි නොවුණේ ද ඒ ප්‍රතිපත්තිගරුක භාවය නිසා ම වන්නට ද ඇත. හෙත් වල්බිහිවීගෙන යන ටෙලිනාට්‍ය කලාකෙතෙහි සරු බීජ වපුරන්නට සුදත් රෝහණ වැන්නෝ වැඩි වැඩියෙන් අවශ්‍ය වන කාලයකි මෙය.