
සද්ධර්මරත්නාවලියෙහි තුන්වන ප්‍රබන්ධය නාගසේන මහතෙරුන් වහන්සේගේ කථාවයි. වියත් පාඨකයන් අතරෙහි ජනප්‍රිය ප්‍රබන්ධයක් වූ මෙය උසස් විභාග සඳහා නිතර නිතර නිර්දේශිත කතා පුවතකි. අකීකරු බවේ ප්‍රතිවිපාක කවර තරම් ද යන්න කවර සමාජයකට වුව කියා පෑමට මිලිඳු නාගසේන කථා පුවතේ දිගහැරුම ඉතා වැදගත් වෙයි. විශේෂයෙන් පසුකාලීනව ‘මිලින්ද ප්‍රශ්නය’ නමින් ධර්ම සාහිත්‍යයක් පහළ වීම කෙරෙහි ද මෙම සංවාදය බලපෑ අයුරු පෙනෙයි. උපහාස රසයෙන් ද කථා රසයෙන් ද මතු නොව පාඨකයා කුහුලින් තබමින් අවසන දක්වා රසවත්ව කියවා ගෙන යන්නට සමත් ලෙසින් ද ධර්මසේන හිමියෝ කතා පුවත ප්‍රබන්ධ කරති.
කතා පුවත කීමෙහිලා කතුවරයා තුළ අරමුණු දෙකක් පැවති බව ආරම්භයේ කියවෙයි. ‘යම්තම් කුසල විශේෂයකින් බුද්ධි සම්පන්නව ප්‍රශ්න විසඳීම් වශයෙන් තෙවළා බුදු වදන් නිරවුල් කළ නියා කියා ධර්මාභියෝගයෙහි සත් පුරුෂයන්ගේ උත්සාහ වඩනු පිණිස’ යනුවෙන් බුද්ධිමත් වීමට අවශ්‍ය කුසල මහිමය පිළිබඳවත්, සත්පුරුෂයන්ට උත්සාහය ඇති කර ගැනීමේ වැදගත් බව පෙන්වා දීමත් කතාකරුගේ අරමුණු ය. මෙම අරමුණු එදා දඹදෙණි යුගයේ සමාජයේ සාක්ෂාත් කරලීමට අවශ්‍ය වූ අරමුණු ය. අකීකරු ගති සිට භාවයෙන් බැහැරට බුද්ධිමත් සමාජයක් බිහිවනු දැකීම කතුවරයාගේ සමාජ අරමුණු විය.
කතාව ඇරඹෙන්නේ කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි සිදුවූ සිදුවීමක් පාදක කර ගනිමිනි. අරමක වෙසෙන තෙරුන් වහන්සේලා උදෑසන මුසුන රැගෙන වෙහෙර මළු අමදින අතර එක් තෙර නමක් ඇමදි කසළ ඉවත් කරලීමට සාමණේර නමකට පවරයි. ‘හෙරණෙනි, තෙල කසළ දමාපියව’ යි වදාළ සේක. තෙරණුන්දැ අසාත් නො ඇසූකන්වලා යනදෑය. මේ තෙරණුන් නොකීකරු නියා වේදැයි උරණව හික්මවීම් මුඛයෙන් මුසුන් දණ්ඩෙන් පහරක් ගැසූ සේක. තෙවරක්ම කියා අකීකරු වූ විට මුසුන් දඬු පහර කා කසළ ඉවත දමා ප්‍රාර්ථනා දෙකක් කළේ ය. පළමුවැන්න මුදුන් පැමිණි හිර පරිද්දෙන් තේජස් ඇති වන්නටත්, දෙවනුව බොහෝ කොට වාද කිරීමේ දක්ෂ බවත් ලැබේවායි ද පැතීය. මේ අසා සිට පහර දුන් තෙරුන් වහන්සේ ද යුගාන්ත සූර්යයා සේ විචාළ විචාළ දැයක් විසඳාලීමෙහි ප්‍රතිවාදියෙකු බවට පත් වේවායි ප්‍රාර්ථනා තැබූහ.
මේ ප්‍රාර්ථනා බලයෙන් සාමණේර භික්ෂුව ගෞතම බුදුන් සමයෙහි මිලිඳු නමින් ඉපිද රජ වීය. ප්‍රාර්ථනා බලයෙන් මහා නුවණැති විය. එකුන් විස්සක් ශාස්ත්‍රධර විය. තේජසින් නුවණින්, බලයෙන් රූප ශෝභාවෙන් මුළු දඹදිව මොවුට සමාන වෙනත් රජෙක් නොවී ය. එක් දවසක් නගරයකට පැමිණ අමාත්‍යයන් පිරිවරා අප හා කථා කරන්නට රිසිවූ නුවණැති කෙනෙකුන් වෙතොත් සොයා බලන්නැයි කීය. එවිට ඇමැතිවරු බුද්ධ කාලයේ සිටි ෂට් ශාස්තෲවරුන්ගෙන් පැවත එන ශාසනයන්හි නායකයන් ඇති බව පෙන්වා දුන්හ.
ඒ අනුව අමාත්‍යවරුන් පිරිවරා පූරණ කාශ්‍යප වෙත මිලිඳු රජතුමා පැමිණියේ ය. පාපයෙහි ලැජ්ජාවක් නැති නියාව දක්වන්නට මෙන් පිළි නොහැඳ සිටිනු දැක නොවැඳම සාද සාමීචි කථා කොට මේ ලොව රකින්නේ කවරහු දැයි විචාලී ය. මහරජ පොළට යයි කීය. පොළට ලෝ වැස්සන් රකී නම් පොළට යට ඇති නරකයේ ඉපදෙන්නන් පොළට ඉක්මවා යන්නේ දැයි ඇසී ය. පිළිතුරු නොදුන් පූරණ කස්සප වෙත රජු ප්‍රකාශ කරන්නේ පිළි නොහැදීමේ නපුර නොදන්නා සේ පොළට රකින්නවුන් ද නොදත. පිළි නොහඳින්නේ බාල දරුවන් බවත් වයස කුමක් වුවත් පිළි නොහැඳීමෙන් බාල බවම අගටන බට කියා ඔහු පරාජය කළේ ය. පූරණ කස්සපට සිදු වූ දේ ධර්මසේන හිමියන් හාස්‍යයට නංවන්නේ ‘බත් කන තැන බලා හිඳන් උළක් පමණක් නොලත් බල්ලකු පරිද්දෙන් සිටි බවයි.
ඉන්පසු මක්ඛලීගෝසාල වෙතට ගොස් ‘වහන්ස පින් පව් කියා දෙයක් ඇත්ද? පිනෙහි යහපත් විපාකය හා පවෙහි නපුරු විපාකත් ඇත්ද?” යනුවෙන් විචාළීය. මක්ඛලීගොසාලගේ පිළිතුර වූයේ පින් පව් කියා දෙයක් නොමැති බවත් දැන් රජකම් කළ අය පරලොවදිත් රජකම් කරන බවත් දැන් බ්‍රාහ්මණ, පරලොවදිත් බ්‍රාහ්මණ, වන බවත් එය නියතියක් වන බවත් ය. කතාකරුවා මෙම පිළිතුර හාස්‍යයට ලක් කරන්නේ අඹ විචාළවුන්ට දෙල් කියන්නා සේ, කැණවිල් බල්ලන් සිංහ නාද කරන්ට සිතාත් කැණවිල් හඬම හඬන්නා සේ නිෂ්ප්‍රයෝජන කථාව කී බවයි. එවිට රජු ප්‍රශ්න කරන්නේ මෙලොව අත් කොට කෙනෙක් පරලොවදිත් අත් කොට වන්නේ ද? මෙලොව පා කොට කෙනෙක් පරලොවදිත් පා කොට වන්නේ ද? යනුවෙනි. මක්ඛලීගෝසාල පවින් ගොළු වූවා සේ ම මුවින් ද ගොළු ව ගිය බව කතා කරුවා දක්වන්නේ මිලිඳු රජු වාදාභිසිංහයෙකු කරමිනි.
මිලිඳු රජු වාදාභිපන්නයෙහි මුළු දඹදි කෙනෙකු නොවූ කල්හි අස්සගුත්ත මහ රහතුන් වහන්සේ දෙව්ලොවට වැඩමවා මහාසේන නම් දෙව්පුත් හමුව මිනිස් ලොව ඉපිද පැවිදිව හිමාස අසපුවේ කජංගල නම් බමුණුගම නාගසේන නම් ඥානවන්ත කුමාරයෙකුව ඉපිදව සිටින බැවින් උන්ගේ ගෙට සිඟා වැඩ ඒ පුතු පැවිදි කර ගත්තැයි අයද සිටියහ. එය එසේ ම විය. නාගසේන තෙරුන් වහන්සේ ත්‍රිපිටකය හදාරා මාර්ගාධිගමයන්ට ද පත් වූහ.
වාදයෙන් සියල්ලන් පරාජය කළ මිලිඳු රජුට නාගසේන හිමියෝ හමුවූහ. එම හමුව ධර්මසේන හිමියන් වාර්තා කරන්නේ සිංහයකුට ළං වූ ඇතක්හු මෙන් ද, ගුරුළකුට ළං වූ නයකු මෙන් ද, පිඹුරකුට ළංවූ සිවලකු මෙන් ද නයකුට ළං වූ මඩුවකු මෙන් ද බළලකුට ළං වූ මීයකු මෙන් ද, යකැදුරකුට ළං වූ පිසාචයකු මෙන් ද බියෙන් තැති ගත් බවයි. රජු නාගසේන හිමියන් වෙතින් ඇසූ ඇසූ සෑම ප්‍රශ්නයක් ම ඛණ්ඩනය කරමින් මිලිඳු රජු නොසිතූ මහා ප්‍රතිවාදියකු වෙමින් රජු පරාජිතයකු කරන්නට නාගසේන හිමියෝ තේජස ලදහ.