
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත් පළමු ජපන් සාහිත්‍යකරුවා යසුනරි කවබතය. ඔහුගේ නිර්මාණ අධ්‍යයනයේදී මඟ හැරිය නොහැකි මෙන් ම අතිශය වැදගත් කාරණයක් ලෙස මතුවන්නේ මවුපියන් ඇතුළු සමීප ඥාතීන් සියලු දෙනා ඔහු කුඩා වියේදීම මිය යෑම ය.
වෛද්‍යවරයකු වූ, කවබතගේ පියා මිය යන්නේ ඔහු දෙහැවිරිදි වියේ සිටියදී ය. ඉන් වසරකට පසු මව ද ජීවිතයෙන් සමුගත්තා ය. එවක් පටන් කවබත සහ ඔහුගේ සොයුරියගේ බාරකාරත්වය පැවරුණේ මවු පාර්ශ්වයේ මුත්තණුවන්ට සහ මිත්තණියටයි. ඔහු සත් හැවිරිදි වියට එළැඹ සිටියදී මිත්තණියගේ අභාවය සිදුවූ අතර ඊට දෙවසරකට පසු සොයුරිය ද මෙලොව හැර ගියේ ඔහු තනි කරමිනි. නව හැවිරිදි කවබතට සිටි එකට සමීප ඥාතියා මුත්තණුවන් පමණි. ඔහු දහසය හැවිරිදි වියේ සිටියදී මුත්තණුවන් ද ජීවිතයෙන් සමුගත්තේ ය. නිර්මාණකරුවකු ලෙස ඔහු පෑන අතට ගත්තේ මුත්තණුවන්ගේ අභාවයට දින කිහිපයකට පෙරදී ය. 1914 මැයි මස දින 12 ක් පසුබිම් කරගනිමින් ලියැවුණු ඔහුගේ එම පළමු කෘතිය ‘දහසය හැවිරිදි කොලුවකුගේ දින පොත’ (jurukosai no nikki) ය. ඉන් වසර 11 කට පසු එය ප්‍රකාශයට පත්විණි.
කවබතගේ පියා ද චීන කවියට රුචිකත්වයක් දැක්වීය. කවබත කුඩා කල වඩාත් ප්‍රිය කළේ චිත්‍ර ශිල්පයටයි. ඔහු ලේඛනයට යොමු වූයේ නව යොවුන් වියේදී ය. ඔහුගේ නිර්මාණ පාසල් සමයේදීම පුවත්පත් සහ සඟරාවල පළවිණි.
මවුපිය සෙනෙහස අහිමිව සිටි කවබතට යෞවනයේදී ප්‍රේමය ද අහිමි විය. ඔහුගේ පෙම්වතිය විවාහයට පෙර හදිසියේ ම දුරස්විය. එම අමිහිරි අත්දැකීම ප්‍රේමය සහ සතුට ගැන ඔහු තුළ සර්ව අශුභවාදී සිතිවිලි ඇති කිරීමට තරම් බලවත් වූයේ ය. ඔහු ඇයට ලියූ එහෙත් නොයැවූ පෙම් හසුනක් මෑතකදී හමු විය. වාසනාවකට ඔහුගේ ජීවිතයේ ඛේදනීය අත්දැකීම් වෘත්තීය ජීවිතය තුළ පිළිබිඹු වූයේ නැත. විරහ තාපයෙන් දැවී යෑමට ඉඩ නොදී ඔහු ගලවා ගත්තේ ඔහුගේ ම වෘත්තීය ජීවිතයයි. සංක්‍රාමී විනෝදාස්වාද සපයන්නන් කණ්ඩායමකට එකතුව ඔහු ඔවුන් සමඟ ඉෂු අර්ධද්වීපයේ චාරිකා කළේ ය. 1918 වර්ෂයේදී එලෙස ලැබූ අත්දැකීම් 1922 දී ඔහු චාරිකා සටහන් එකතුවක් ලෙස ලියා තැබුවේ ය. එහෙත් එය ප්‍රකාශයට පත්වූයේ නැත. මේ සටහන් 1926 දී ඔහු ලියූ ‘ඉෂු ඔදොරිකො’ කෘතියට පාදක විණි. ද ‘ඉෂු ඩාන්සර්’ යනුවෙන් 1955 දී, ඉංගිරිසියෙන් පළවූයේ මේ සටහන් ය. (එය ‘ඉෂු නළඟන’ යනුවෙන් සිංහලයට ද නැඟී තිබේ) කවබතයේ පසුකාලීන නිර්මාණ වටහා ගැනීමේදී මේ කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය. නළඟනක කෙරෙහි ප්‍රේමයෙන් බැඳුණු නව යෞවනයකුගේ මල් පල නොගැන්වුණු එකී ප්‍රේමය ඊට පසුබිම් විණි. 1933 දී මුල්වරට සිනමාවට නැඟුණු එම වෘත්තාන්තය ඉන්පසු අවස්ථා කිහිපයකදීම සිනමාවට නැඟී තිබේ. ‘මයිනිෂි ෂිව්බන්’ පුවත්පතේ වාර්තාකරුවකු ලෙස ද කවබත කලක් කටයුතු කර ඇත. ඊට අවශ්‍ය පන්නරය ඔහු සරසවි හා පාසල් සමයේ පටන්ම ලැබුවේ ය. ඔහුගේ උපාධි නිබන්ධනයේ තේමාව වූයේ ද ‘ජපාන නවකතාවේ ඉතිහාසය සැකෙවින්’ යන්න ය.
1920 ගණන්වලදී ඔහු විවිධ ලේඛන ශෛලීන් අත්හදා බැලූ බව පෙනෙන්නට තිබේ. සම්පූර්ණයෙන් නිම නොකළ කෘති රැසක් ම ඔහු නමින් ඇත. සිය නිර්මාණ අතරින් වඩාත් සම්පූර්ණ කෘතිය ලෙස ඔහු ම හඳුන්වාදී ඇත්තේ ‘ද මාස්ටර් ඔෆ් ගෝ’ (1951) ය. 1968 දී නොබෙල් ත්‍යාගය බාරගනිමින් ඔහු කළ කතාවේ මාතෘකාව ‘ජපානය, ලස්සන සහ මම’ ය. සෙන් බුදුදහම මේ කතාවේ කේන්ද්‍රීය සාධකය විණි. සිය දිවි නසාගැනීම ගැන ද ඔහු මේ කතාවේදී සිහිපත් කළේ එලෙස ජීවිත ගමන නිමා කළ ලේඛකයන් ගැන ද දක්වමිනි. අවාසනාවකට ඔහු සිය ජීවිත ගමන නිමා කළේ ද එලෙස ය. ඒ; ඉන් දෙවසරකට පමණ පසුවයි. කවබතගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස ප්‍රකට ය. එහෙත් ඔහුගේ බිරිය මෙන් ම සමීපතමයන්ගේ අදහස එය හදිසි අනතුරක් බවයි. ඔහුගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ එක් මතයක් නම් ස්නානය සඳහා සූදානම් වී වැරැදීමකින් ගෑස් නලය විවෘත කර ඇති බව ය. කවබතගේ මරණය සියදිවි නසා ගැනීමක් බව පවසන අය ඊට හේතු සාධක ද ඉදිරිපත් කර තිබේ. ඒ අතර අයහපත් සෞඛ්‍ය තත්ත්වය, විරහ වේදනාව, සිය හිතමිත්‍ර යුකියෝ මිෂිමවාගේ සිය දිවි නසාගැනීම ද වේ. කෙසේ වුව ද කවබත සිය දිවි නසා ගැනීමට හේතුව නිශ්චිත කාරණා අපැහැදිලි ය. ඔහුගේ අපදානය ලියූ තකියො මතුනො පවසන පරිදි ඔහු දෙතුන් සියයක් වතාවලදී මිෂිමා සිහිනයෙක් දැක තිබිණි. තමා ගුවන් අනතුරකින් මිය යනු ඇතැයි කවබත සිය මිතුරන් සමඟ පවසා තිබූ බව ද හෙළි වී ඇත. ඔහුගේ අපේක්ෂාව එවැනි හදිසි මරණයක් වුව ඔහු අනෙක් මඟක් තෝරාගත් බව පෙනෙන්නට තිබේ.