චම්පු කාව්‍ය | සිළුමිණ

චම්පු කාව්‍ය

නව කතිකාව 07

භාරතීය වර්ගිකරණය අනුව කාව්‍ය ප්‍රභේද තුනක් ඇති බව පෙර සඳහන් කැරිණි. විරිතකට ගැයිය හැකි පද්‍ය කාව්‍යද‚ එසේ නොහැකි ගද්‍ය කාව්‍ය සහ රඟදැක්විය හැකි දෘශ්‍ය කාව්‍ය යනු ඒ තුනයි. එහෙත් ඇතැම් විද්වතකුට අනුව ඇත්තේ පද්‍ය‚ ගද්‍ය සහ චම්පු යන ත්‍රිත්වයයි. මෙනයින් ගද්‍ය‍‚ පද්‍ය‍‚ දෘශ්‍ය සහ චම්පු යන සිව් ප්‍රභේදය ම කාව්‍ය යටතට ගැනෙන බව පැහැදිලි ය.

චම්පු කාව්‍ය පිළිබඳ අදහස මුලින් ම පළ කරන ලද්දේ දණ්ඩින් විසින් බව පොදු පිළි ගැනිමයි. එතුමන්ගේ කාව්‍යාදර්ශ කෘතියේ කාව්‍ය ද වර්ග ලෙස ගද්‍ය සහ පද්‍ය සමග දක්වා ඇත්තේ මිශ්‍ර කාව්‍යාංගයි. එයට චම්පු යන නම යෝජනා කැර ඇත්තේ ද එතුමන් ඔවුන් විසින් බව පැවසේ.

චම්පු යන පදයේ ව්‍යුත්පත්තිය පිළිබඳ විවිධ මත තිබේ. එසේ ම ඊට නිශ්චිත අර්ථ දැක්වීමක් ද නොමැත. දළ වශයෙන් චම්පු කාව්‍යායක ලක්ෂණ නම් : ඒවායේ ගැදි - පැදි මුසු ය‚ ශ්‍රවයද කාව්‍යාශ වේ‚ වර්ණන ප්‍රධාන ය‚ අලංකාර බහුල ය‚ රසවත් ය. යනුයි.

ගද්‍ය පද්‍ය මිශ්‍ර වූ පමණින් ම ඒවා ‘චම්පු කාව්‍ය ’ යන අභිධානය ලබන්නේ නැත. මුල දී දෙවිවරුන් ද පසුව භූපතීන් ද වර්ණනා කිරීම සඳහා ගැයුණු විරුද කාව්‍ය හෙවත් ස්ත්‍රෝත්‍ර යන නම ද භාවිත කෙරෙන ප්‍රශස්ති ගද්‍ය පද්‍ය මිශ්‍ර වුවත් චම්පු ගණයට නොවැටේ. විරිතක් ඇති ස්ත්‍රෝත්‍ර සමග විරිතක් නොමැති ගද්‍ය ඛණ්ඩ ද ප්‍රශස්තිවලට ඇතුළත් ය. ඍග් වේදය විරුද පද්‍ය විශාල සංඛ්‍යාවකින් සමන්විත ය. චම්පු කාව්‍යයක නිර්මාණයට ආභාසය ලැබෙන්නට ඇත්තේ පුරාතන ප්‍රශස්තිවලින් මෙන් ම කාලිදාස‚ බුද්ධඝෝෂ වැනි කවීන්ගේ මහා කාව්‍යවලින් ද විය හැකි ය. පසුව ආ කාව්‍යයකාරයන් ආකෘතිමය වෙනසක් අපේක්ෂා කළ හෙයින් චම්පු නම් කාව්‍ය විශේෂය බිහි වන්නට ඇතැයි මතයක් වේ.

ආරම්භයේ දී චම්පු කාව්‍යවල ද මහා කාව්‍යවල ආකෘතිය ම තිබී ඇතත් කල් ගත වත් ම ඒවා ඒආකෘතියෙන් නිදහස් වඩා සරල නිර්මාණ බවට පත් වූ බව ප්‍රකට ය. මේ නිසා එය විදග්ධ විචාරක පඬිවරුන්ගේ සැලකිල්ලට භාජනය නොවන්ට ඇතැයි ද මතයකි. චම්පු කාව්‍ය ලෙස අල්ප කෘති සංඛ්‍යාවක් නිර්මාණය වීමටත් වෙන ම විචාර විධියක් බිහි නොවීමටත් එකරුණ හේතු වන්නට ඇත. චම්පු කාව්‍ය ක්‍රි .ව. 10 සියවසේ පමණ ඇරඹෙන්නට ඇතැයි සාමාන්‍ය විශ්වාසයයි. ශ්‍රී වික්‍රමභට්ට නම් පණ්ඩිත කෙනකු විසින් නලෝපාඛ්‍යායනය ඇසුරින් ප්‍රථම චම්පු කාව්‍යය රචනා කරන ලද බව පැවසේ.

ඉන්පසු රාමායනය‚ මහාභාරතාඛ්‍යානය වැනි වීර කාව්‍ය මෙන් ම ජෛන‚ ශිව වැනි ආගම්වල කෘති ඇසුරින් ද චම්පු කාව්‍ය නිර්මාණය වී ඇත. එ සමයේ ම භෝජ පරපුරේ රජකු වූ සිද්ධාර්ථ විසින් රාමායනය ඇසුරින් චම්පු රාමායනය රචනා කළ බව සඳහන් ය. මෙය භෝජ රාමායනය නමින් ද හැඳින්වේ. රජුට සම්පූර්ණ කරන්නට හැකි වී ඇත්තේ පස් වන සර්ගය දක්වා පමණි. ඉතිරි දෙක වෙනත් අය විසින් නිමවන ලදී.

සරල ගද්‍ය කෘතිවලින් අනතුරුව අලංකාරවත් පද්‍ය බිහි විය. ඉන්පසු ගද්‍ය ද අලංකාර විය. ඒ අලංකාර ගද්‍ය සහ අලංකාර පද්‍ය මිශ්‍රණයෙන් චම්පු බිහි වූයේ යැයි ද මතයක් වෙයි. එහෙත් ප්‍රමුඛ වනුයේ ගද්‍යයයි; පද්‍යය නොවේ.

පංචතන්ත්‍ර නමැති උපදේශ කතා සංග්‍රහය කළ විෂ්ණු ශර්මන් පඬිතුමා උපදේශය අවධාරණය පිණිස පද්‍යයෙන් ද ඉදිරිපත් කරයි. උපදේශ කාව්‍යවල ගද්‍ය - පද්‍ය දෙකට ම සමාන ප්‍රමුඛත්වයක් දෙනු ලැබේ. ගද්‍යයෙන් කථාව කියන අතර පද්‍ය ද ඊට අවියෝජනීය ව බැඳී පවතියි. ඒ අනුව උපදේශාත්මක කෘතිවල පද්‍ය වෙනම ගෙන රස විඳීමේ බාධාවක් ඇත.

චම්පු කාව්‍ය ඉහත සඳහන් ලක්ෂණ නැති තරම් ය. ගද්‍ය - පද්‍ය අවියෝජනීය නොවන අතර ගැළපුම අඩුය. චම්පු කාව්‍ය වල පද්‍යයේ මතු නොව ගද්‍යයේ ද යොදා ගැනේනේ අලංකාරවත් වර්ණනාත්මක බසකි. ව්‍යං‍ග්‍යය මෙන් ම උත්ප්‍රාසය බහුල මේවා අතිශයෝක්ති වැණුම්වලින් පවා නොතොර ය. නළුවල පෙළෙ හි ගද්‍ය-පද්‍ය දෙකම ඇතත් ඒවා දෘශ්‍ය ගණයට ඇතුළත් වනවා විනා චම්පු කාව්‍ය ලෙස නොසැලකේ.

පූජාවලිය සහ සද්ධර්මාලංකාරය වැනි පුරාතන සිංහල සාහිත්‍යයේ කෘතිවල පාලි පැදි යොදා ඇති අවස්ථා බහුල ය. එහෙත් ඒවා චම්පු කාව්‍ය ලෙස සැලකෙන්නේ නැත. ඊට හේතුව ඒවා කාව්‍ය යක මෙන් එකම ආඛ්‍යානයකින් යුත් නොවීමයි. උදාහරණයක් ලෙස පූජාවලිය ගතහොත් එහි එන්නේ බුදුන්ගේ අර්හත් නම් ගුණය වැණීමයි. තවද ඒවායේ මහා කාව්‍ය ලක්ෂණ ද නොමැත.

මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ‘විලාසිනියකගේ ප්‍රේමය’ නම් කෘතිය සිංහලෙන් පළ වූ ප්‍රථම චම්පු කාව්‍ය ලෙස 1988 වසරේ එළි දක්වන ලදී. එය මහා කාව්‍ය ආකෘතියෙන් බැහැර ව ජාතක කතාවක් පාදක කැර ගනිමින් රචනා වූවක් බව එහි පෙරවදනේ දැක්වේ. චම්පු කාව්‍ය යන පදය සාමාන්‍ය සිංහල පාඨකයා මුලින් ම දැන ගත්තේ ඒත් සමග ය. එයට 1989 දී හොඳම නවකතාව වෙනුවෙන් වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමිණි. මේ සම්බන්ධයෙන් එකල බොහෝ මතභේද තිබිණි. කර්තෘ විසින් අර්ධ ග්‍රන්ථනාම පිටුවේ සහ පෙරවදනේ එය චම්පු කාව්‍යයක් ලෙස පුන පුනා සඳහන් කොට තිබිය දී රාජ්‍ය සාහිත්‍යය සම්මාන ප්‍රදානයේදී එය හොඳම නවකතාව ලෙස තේරුණේ එය චම්පු කාව්‍යයක් නොව නවකතාවක් බව විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරන ලද නිසා ද යන්න පැහැදිලි නැත.

පියදාස සිරිසේන ශූරීන්ගේ ‘විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය’ නමැති කෘතියේ සෑහෙන සංඛ්‍යාවක් මනා ව ගැයිය හැකි පද්‍ය හෙවත් කවි තිබේ. එහෙත් එය චම්පු කාව්‍යයක් ලෙස හඳුන්වා දෙනු ලැබ නොමැත. මේ ආකෘතියේ නිර්මාණ කෘති සංස්කෘත බසින් ඇරැඹී භාරතයේ අනෙක් භාෂාවලට ද පැතිර ගියේ ය. එසේ කරන ලද මුල් ම සංස්කෘත නොවන බස ඔඩියා හෙවත් ඔරියා ලෙස සැලකේ. ඉන්පසු බෙංගාල‚ මලයාලම්‚ කර්ණාටක සහ ද්‍රවිඩ වැනි අනෙක් ඉන්දීය භාෂාවලට ද එය එක් විණි. මෙබඳු නිර්මාණ චීන‚ ජපන් වැනි ආසියාතික භාෂාවල මතු නොව මධ්‍යතන යුරෝපීය භාෂාවලින් ද තිබූ බව ‘විලාසිනියකගේ ප්‍රේමය’ පෙරවදනේ දැක්වේ.

Comments