
මහනුවර දිස්ත්‍රික්කය තුළ හොකී ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ප්‍රථම වරට පැවැති අන්තර් පාසල් සත් සාමාජික හොකී තරගාවලියේ බාලක ශූරතාව ගාල්ල ශාන්ත ඇලෝසියස් සහ බාලිකා ශූරතාව මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාල හිමිකර ගැනීමට සමත් විය.
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි හොකී සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබීය. ඉකුත් සති අන්තයේදී මෙය පැවැත්වූයේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදීය.
වයස අවුරුදු 19 න් පහළ තරගාවලියක් ලෙසට මෙය පැවැත්විණි. බාලක අංශයට කණ්ඩායම් 27 ක් සහභාගි විය. බාලිකා අංශයට කණ්ඩායම් 16 කි. මෙය පවත්වනු ලැබුවේ සමස්ත ලංකා තරගාවලියක් ලෙසටයි. බාලිකා අවසන් තරගයේදී ශාන්ත අන්තෝනි විද්‍යාලය ගෝල් 2 - 0 කින් පානදුර බාලිකා විද්‍යාලය පරාජය කළේය.
බාලක අවසන් තරගයේදී ඇලෝසියස් විද්‍යාලය සමඟ තරග කළේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයයි. තරගයේ නියමිත කාලය නිමාවන විට දෙපිලම එක් ගෝලය බැගින් රැස් කර ගෙන සම මට්ටමක සිටියේය. එම නිසා තීරණය ලබා ගැනීම දඬුවම් පහර මඟින් සිදු කෙරිණි. එහිදී ඇලෝසියස් විද්‍යාලය ගෝල් 3 - 0 කින් තරගය ජය ගැනීමට සමත් විය.










