රිට්ස්බරි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ශාන්ත ජෝශප්වරු දහතුන් වසරක නිහැඬියාව බිඳින විට, නාවල ජනාධිපති බාලිකාවෝ කුලුඳුල් ජය හිමිකර ගනිති | සිළුමිණ

රිට්ස්බරි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ශාන්ත ජෝශප්වරු දහතුන් වසරක නිහැඬියාව බිඳින විට, නාවල ජනාධිපති බාලිකාවෝ කුලුඳුල් ජය හිමිකර ගනිති

 

 වසර දහතුනකට පසු සමස්ත බාලක ශූරතාව ශාන්ත ජෝශප් විද්‍යාලයට හිමි විය.   මෙවර තරගාවලියේ සමස්ත බාලිකා ශුරතාව හිමිකර ගත් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය.

 

 

 

ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටියේ කනිෂ්ඨ සිංහ පෝතකයන් ජාතික තලයට තිළිණ කරන සර් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බාලක ශූරතාව වසර දහතුනකට පසු සිය විද්‍යාලයට ගෙන යාමට කොළඹ 10 ශාන්ත ජෝශප්වරු සමත්වන විට ඉතිහාසයේ පළමු වතාවට නාවල ජනාධිපති බාලිකාවෝ සමස්ත ශූරතාවට හිමිකම් කීමට සමත් වූහ.

හතළිස් අටවැනි ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ මෙවර මීටර් 400 හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි ශූරතාව දිනා ගැනීමට නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ කේ. එස්. එදිරිසිංහ සමත් වූ අතර එහිදී ඇය බාලිකා අවුරුදු 15 න් පහළ මීටර් 400 ඉසව්ව වෙනුවෙන් තත්පර 59.1 ක කාලයක් වාර්තා කරමින් කොළඹ කාන්තා විද්‍යාලයේ ධනුෂ්කි පෙරේරා 2006 දී පිහිටුවා තිබූ තත්පර 59.4 ක කාලය ද බිඳ දැමීමට සමත් වූවාය.

දුර පැනීමේ ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩකාවට හිමි ශූරතාව දිනා ගැනීමට දික්වැල්ල විජිත ම. ම. විද්‍යාලයේ සාදිනි කවිෂා සමත් වූයේ බාලිකා වයස අවුරුදු 15 න් පහළ දුර පැනීමේ ඉසව්වේ මීටර් 5.47 ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කරමින්ය. සාදිනිගේ මෙකී දක්ෂතාව මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි ශූරතාව දක්වාම රැගෙන යාමට සමත් වූ අතර, එහිදී ඈ විසින් 2015 දී ගම්පහ හෝලික්‍රොස් විද්‍යාලයේ ප්‍රසාදි ලක්ෂානි විසින් පිහිටුවා තිබූ මීටර් 5.32 ක වාර්තාව ද බිඳ දැමීමට සමත් වූවාය. සාදිනි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි ශූරතාව දකුණු පළාතට රැගෙන යන විට මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි ශූරතාව ද එකී පළාතට එකී ඉසව්වෙන්ම රැගෙන යාමට බලපිටිය සිද්ධාර්ථ ම. ම. විද්‍යාලයේ හිරුෂ මෙන්ඩිස් අබේසේකර සමත් විය. බාලක වයස අවුරුදු 15 න් පහළ දුර පැනීමේ ඉසව්වේ මීටර් 6.52 ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කළ අබේසේකර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සී. කුමාර 2004 දී මීටර් 6.34 ක් සටහන් කරමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට ද සමත් විය.

 

ජෝශප්වරුන්ගේ අවදිවීම

සර් ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ 2003 සහ 2004 දී අඛණ්ඩව ජය ගත් ශාන්ත ජෝශප් බාලකයෝ ඉන් වසර දහතුනකට පසු මෙවර සමස්ත බාලක ශූරතාව දිනා ගනිමින් සිය දිගු නිහැඬියාවට තිත තැබීමට සමත් වූහ.

සමස්ත ශූරතාවට අමතරව වයස අවුරුදු 14 න් පහළ අනුශූරතාව, 15 න් පහළ සම තෙවැනි (ශා. පීතර) ස්ථානය සමඟ සහාය දිවීමේ බාලක තරගාවලියේ තෙවැනි ස්ථානය ද දිනා ගැනීමට සමත් විය. පසුගිය වසරේ බාලක ශූරයන් වු ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට මෙවර කිසිදු වයස් කාණ්ඩයක ජයග්‍රහණයක් හිමි නොවූ අතර, සහාය දිවීමේ බාලක අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

 

ජනාධිපති බාලිකාවන්ගේ පිබිදීම

තිස් තුන්වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 14 න් පහළ ශූරතාව සමඟ සහායදිවීමේ තරගාවලියේ ශූරතාවද හිමිකර ගත් නාවල ජනාධිපති බාලිකාවෝ සිය ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටියේ විශිෂ්ටයන් රැසක් හමුවේ ප්‍රථම වතාවට සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. සමස්ත ශූරතාවට අමතරව වයස අවුරුදු 13 න් පහළ ශූරතාව, 15 න් පහළ අනුශූරතාව, සමඟ සහාය දිවීමේ තරගාවලියේ දෙවැනි ස්ථානය ද දිනා ගැනීමට සමත් විය. පසුගිය වසරේ බාලිකා ශූරයන් වූ කොළඹ කාන්තා විද්‍යාලයට මෙවර කිසිදු වයස් කාණ්ඩයක හෝ සහාය දිවීමේ ශූරතාවලියේ පළමු ස්ථාන තුන අතර කිසිදු ජයග්‍රහණයක් හෝ හිමි නොවීමද විශේෂත්වයකි.

සහාය දිවීමේ බාලිකා තරගාවලියේ ශුරතාව හලාවත කාර්මේල් බාලිකා විද්‍යාලයට සහ අනුශූරතාව ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට හිමිවිය.

 

සහාය දිවීමේ බාලක තරගාවලියේ ශූරතාව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයට හිමි වූ අතර අනුශූරතාව ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට හිමිවිය. මේ අතර මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය වයස අවුරුදු 15 න් පහළ බාලක ශූරතාව ද දිනා ගනිද්දී එහි අනුශූරතාව පේදුරුතුඩුවේ හාර්ට්ලි විද්‍යාලයට හිමිවිය. සී. බී. එල්. සමාගමේ රිට්ස්බරි චොක්ලට් මෙවරත් සුපුරුදු පරිදි සර් ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියට අත දුන්නේය. දියගමදී නිමාවු තරගාවලියේ නව තරග වාර්තා 22 ක් බිහිවූ අතර සමවීම් දෙකකි.

 

 

Comments