මොටෝ ජී.පී. කරඟාවලියෙන් පොඩ්ඩාට වාර්තා ගත ජයක් | සිළුමිණ

මොටෝ ජී.පී. කරඟාවලියෙන් පොඩ්ඩාට වාර්තා ගත ජයක්

ස්පාඤ්ඤයේ 24 හැවිරිදි මාර්ක් මාර්කෙස් වසර 05 ක් තුළදී සිවුවැනි වරටත් මොටෝ ජී. පී. මෝටර් සයිකල් ලෝක ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. ඒ ඉකුත් සති අන්තයේ දී ස්පාඤ්ඤයේම පැවැති වැලෙන්ෂියා තරගයේ තෙවැනි තැන හිමිකර ගනිමිනි.

මෙවර ලෝක ශූරතාව හිමිකර ගැනීම නිසා මාර්කෙස් වාර්තාගත විය. එනම් මොටෝ ජී. පී. ලෝක ශූරතා සතරක් හිමිකර ගත් ළාබාලතමයා වීමයි.

2017 වාර්ෂික ලෝක ශූරතාවලිය පැවැත්වූයේ 69 වැනි වතාවටයි. මෙවර ශූරතාවලියට අයත් වූ මුළු තරග ගණන 18 කි.

මෙවර වැලෙන්ෂියා තරගයට පෙර ලෝක ශූරතාව හිමිකර ගැනීම සඳහා අවස්ථාව තිබුණේ මාර්කෙස් සහ ඉතාලියේ ඇන්ඩ්‍රියා ඩොවිෂියෝසෝට පමණි.

කෙසේ වෙතත් මාර්කෙස්ට යළිත් වතාවක් ලෝක ශූරයා වීමට කළ යුතු වූයේ වැලෙන්ෂියා තරගයේදී මුල් තරගකරුවන් 11 අතර සිටිමින් තරගය නිමා කිරීම පමණි. එසේ වුවත් තරගය අතරතුරදී ඇන්ඩ්‍රියාට ඉවත්වීමට සිදුවීමත් සමඟම මාර්කෙස්ගේ ජය තහවුරු විය. මෙම වැලෙන්ෂියා තරගය ජය ගත්තේ ස්පාඤ්ඤයේම ඩැනි පෙඩ්රෝසාය.

1993 වසරේ පෙබරවාරි 17 උපත ලැබූ මාර්කෙස් 2013 වසරේ සිට මොටෝ ජී. පී. තරගවලට සහභාගි වේ. හෙතෙම මීට පෙර එහි ලෝක ශූරතාව 2013, 14 සහ 16 වසරවලදීද හිමිකර ගත්තේය. මීට අමතරව 2012 වසරේ මොටෝ 2 ලෝක ශූරයාත් වූයේය. ඔහු මෙවරත් නියෝජනය කළේ හොන්ඩා කණ්ඩායමයි. ඔහු මෙවර හිමිකර ගත් මුළු ප්‍රසාද ලකුණු ගණන 298 කි.

මෙවර අනුශූරයා වූයේ ලකුණු 261 ක් හිමිකර ගත් ඩොවිෂියෝසෝය. 1986 මාර්තු 23 උපන් ඔහු නියෝජනය කළේ ඉතාලියේ ඩුකාටි කණ්ඩායමයි. හෙතෙම මීට පෙර 125 සී. සී. ලෝක ශූරතාව 2004 සහ 250 සී. සී. ලෝක අනුශූරතාව 2007 දී ද හිමිකර ගෙන තිබේ.

ස්පාඤ්ඤයේ මැව්රික් විනාලෙස්ට මෙවර ලෝක ශූරතාවලියේ සමස්ත තෙවැනි තැන හිමිය. ඔහුට ලකුණු 230 කි. හෙතෙම නියෝජනය කළේ යමහා කණ්ඩායමයි. 1995 ජනවාරි 12 උපත ලැබූ මැව්රික් 2015 සිට මොටෝ ජී. පී. තරගවලට සහභාගි වේ. හෙතෙම 2013 වසරේදී මොටෝ 3 ලෝක ශූරයාය.

මෙවර සිවුවැනියා වූයේ ඩැනි පෙඩ්රෝසාය. ඔහුට ලකුණු 210 කි. හොන්ඩා කණ්ඩායම නියෝජනය කරන ලදී. 1985 සැප්තැම්බර් 29 උපත ලැබීය. ඔහු මීට පෙර 2003 දී 125 සී. සී. සහ 2004, 05 වසර 250 සී. සී. ලෝක ශූරයාය.

ප්‍රවීණ ඉතාලියානු ශූර වැලෙන්ටිනෝ රොසිට මෙවර 05 වැනි තැන හිමිය. ඔහුට ලකුණු 208 කි. ඔහුත් නියෝජනය කළේ යමහා කණ්ඩායමයි. රොසි ගිය වසරේ අනුශූරයාය. 1979 පෙබරවාරි 16 රොසි උපත ලැබීය. ඔහුට මොටෝ ජී. පී. ලෝක ශූරතා 07 කි. ඒ 2001, 02, 03, 04, 05, 08 සහ 09 වසරවලදීය. මීට අමතරව 125 සී. සී. (1997) සහ 250 සී. සී. (1999) ලෝක ශූරයාය.

මෙවර කණ්ඩායම් ලෝක ශූරතාව ජපානයේ හොන්ඩාටය. ඔවුනට ලකුණු 508 කි. අනුශූරතාව එරටේම යමහාටය. ලකුණු 438 කි. තෙවැනි තැන ඉතාලියේ ඩුකාටිටය. ඔවුනට ලකුණු 398 කි.

Comments