ගංවතුර ආරක්ෂිත උපකරණයට ජපානයෙන් පදක්කමක් | Page 2 | සිළුමිණ

ගංවතුර ආරක්ෂිත උපකරණයට ජපානයෙන් පදක්කමක්

 කෝප්‍රල් දිසානායක ජපානයේ පැවැති ප්‍රදර්ශනයේදී සම්මාන සහතිකය ලබාගත් අවස්ථාව

ගංවතුරෙන් වාහන, විදුලි ජනක යන්ත්‍ර වගේම, වටිනා දේවල් බේර ගන්න ක්‍රමයක් මම කල්පනා කළා. ජලයෙන් හානි නොවන ආකාරයට ආරක්ෂිත අඩු වියදම් වගේම පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන් ක්‍රමවේදයක් මම කල්පනා කළා. මගේ ඉලක්කය සාර්ථක වුණා. මට පුළුවන් වුණා. ගංවතුරක් ඇති වෙනකොට වාහනයක් වටා ආවරණය කරන්න පුළුවන් වන ආකාරයට ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක් හදන්න. ඒක හරියට දැන් වෙළෙඳපොළේ තියෙන්නෙ වැහි ආරක්ෂිත කුඩා කූඩාරම් අන්න ඒ වගේ. හතර වටින්ම ආවරණය වුණ­ාම ඇතුළට වතුර එන්නෙ නැහැනෙ. බරට ගහගෙන යන්නෙත් නැහැ.

අපේ රටේ දස්කම් තියෙන උදවියට ඉහළට එන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. මේ තත්ත්වය රටක නව නිපැයුම්කරුවන්ට ඉදිරියට එන්න ලොකුම බාධාවක් බව කියන්න ඕනෑ. ඒත් මේ නිපැයුම්කරුවන්ට අත හිත දෙන අය වගේම අත හිත දෙන ආයතනත් නැතිවාම නෙමෙයි. ඒ අනුව ගිහින් ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන ආපු අයත් ගොඩාක් ඉන්නවා. අද අපි කතා කරන්න යන්නෙත් ඒ විදිහට අපේ රටට විශාල කීර්තියක් ගෙන ආපු අපේම තරුණයෙක් ගැනයි. මේ තරුණයා රටට වීරයෙක් වෙන්නෙ එක පැත්තකින් නෙමෙයි. දෙපැත්තකින් රටට කීර්තියක් ගෙන ආ අයකු වීමයි, විශේෂත්වය වන්නේ. ඔහු පළමුවෙන් වීරයෙක් වන්නේ රට බේරාගත් යුද හමුදාවේ සෙබළකු වීමෙන්. දෙවැනි වරට වීරයෙක් වන්නේ අපේ රටට එතෙරින් නව නිපැයුමක් සඳහා සම්මානයක් දිනා ගැනීමෙන්. ඒ සම්මානයත් ඔහුට හිමි වී තිබෙන්නේ නිතරම නව නිපැයුම් ලොවට තිළිණ කරන ජපානයෙන්. ඔහු නමින් කෝප්‍රල් ඩී.එම්.සී. දිසානායකයි.

කෝප්‍රල් දිසානායකගේ ගම බදුල්ලේ පස්සර. කෝප්‍රල් දිසානායකගේ මේ නිර්මාණය මොකක්ද? ඇයි ඒ නිර්මාණයට ඔහු පෙලඹුණේ? මොකක්ද ලැබුණු සම්මානය.

අපි මේ ගැන කෝප්‍රල් දිසානායකගෙන්ම ඇහුවා.

'මගේ ගෙවල් පස්සර නිසා මම කොළඹ එන්නෙ රත්නපුරය හරහා, ගිය අවුරුද්දෙ රත්නපුර ප්‍රදේශයට ආපු ගංවතුර නිසා වෙච්ච හානිය මම ඇස්‍ දෙකෙන්ම දැක්කා. රත්නපුරය විතරක් නෙමෙයි සමහර පළාත්වල වාහන අඩි හතරක් පහක් විතර යට වෙලා ගිහින්. ඒ විතරක් නෙමෙයි රෝහල්වල ජෙනරේටර් යන්ත්‍ර පවා යටවෙලා තිබුණා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. හදිසි ආපදාවකදී මේ වගේ දේවල් බේර ගන්න විදිහක් නොමැති වෙච්ච එක ගැන මම හිතුවා. ඒත් එක්කම හමුදාවේ නව නිපැයුම් ප්‍රදර්ශනයට කැඳෙව්වා. මමත් ඉදිරිපත් වුණා. 'ඉනොවේටා' - 2017 ප්‍රදර්ශනයට ගංවතුරෙන් වාහන, විදුලි ජනක යන්ත්‍ර වගේම, වටිනා දේවල් බේර ගන්න ක්‍රමයක් මම කල්පනා කළා. ජලයෙන් හානි නොවන ආකාරයට ආරක්ෂිත අඩු වියදම් වගේම පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන් ක්‍රමවේදයක් මම කල්පනා කළා. මගේ ඉලක්කය සාර්ථක වුණා.

මට පුළුවන් වුණා. ගංවතුරක් ඇති වෙනකොට වාහනයක් වටා ආවරණය කරන්න පුළුවන් වෙන ආකාරයට ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක් හදන්න. ඒක හරියට දැන් වෙළෙඳපොළේ තියෙන්නෙ වැහි ආරක්ෂිත කුඩා කූඩාරම්‍. අන්න ඒ වගේ. හතර වටින්ම ආවරණය වුණහම ඇතුළට වතුර එන්නෙ නැහැනෙ. බරට ගහගෙන යන්නෙත් නැහැ.

මේ උපරකණයත් ඒ වගේ තමයි. වෙනසකට තියෙන්නේ යම් ගංවතුර තර්ජනයක එනකොට අදාළ සංවේදක (සෙන්සර්) ක්‍රියාත්මක වෙලා ක්ෂණිකවම රාමු 4කින් සමන්විත වට ආවරණයක් ඉහළට එසවෙනවා. මෝටර් 4කින් තමයි මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්න හදල තියෙන්නෙ. එය හැම පැත්තෙන්ම ආවරණය වෙන විදිහට ඉහළට එසවෙනවා. අර කූඩාරමේ වගේ ලොකු ඝන වතුරට ඔරොත්තු දෙන රෙද්දක් වගේ දෙයක් ආවරණයට යොදන්න පුළුවන්. ඒ විදිහට රාමු සියල්ල ඉහළදි එකතු වුණාම වාහනයක් නම් ඇතුළට වතුර නොයන විදිහට මුද්‍රා වෙලා තියෙනවා. වාහනයට ඉහළින් වතුර මට්ටම ගියත් මේ නිර්මාණය අනුව හානියක් වන්නේ නැහැ. වතුර බැහැල ගියහම මේ ආරක්ෂක පද්ධතිය ඉවත් කරල වාහනය පණ ගන්වා ගෙන යන්න පුළුවන්.

මහා සැඩ පහරක් සහිත අතිවිශාල ගංවතුරක‍ට මේ ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතිය ඔරොත්තු දෙයිද කියල නම් කියන්න බැහැ. ඒත් අපේ ‍රටේ නම් ගෙවල්වලට බලපාන ඒ වගේ අතිවිශාල සැඬ පහර සහිත ගංවතුර බලපෑම් දකින්න අමාරුයි. ඒක නිසා මේ උපකරණයෙන් වාහන වගේම ජෙනරේටර් වගේම විදුලි ට්‍රාන්ස්ෆෝමර් වුණත් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙනවා.

මම ඒ නිර්මාණය යුද හමුදා ඉනොවේටා - 2017 ප්‍රදර්ශනයට ඉදිරිපත් කළා. එයින් පළමුවැනි තැන ලැබුණා. ඒ විතරක් නෙමෙයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඒ නිර්මාණය අගය කරලා ඒ සම්බන්ධව ඉදිරියට අවශ්‍ය පියවර ගන්නත් යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නා.

ඒ අනුව දිසානායකට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට (SLIC) මේ නිෂ්පාදනය ඉදිරිපත් කරන්න අවස්ථාව උදාවුණා. එහිදී අන්තර්ජාතික ප්‍රමිතීන්ට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කර තිබූ නිසා හොඳම නිපැයුම් නිෂ්පාදකයා ලෙස තේරී පත්ව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමයෙන්ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ අවස්ථාවේදී කෝප්‍රල් දිසානායකට දැනුණේ ලොකු සතුටක්. ශ්‍රී ලංකාවෙන් තමන්ගේ නිර්මාණයට නිසි තැන හිමි වීම ගැන ඔහුට ලොකු ආඩම්බරයක් ඇති වුණා.

ඒ වුණාට මේ නිෂ්පාදනයට හිමි ගෞරවය එතැනින් එහාට ගෙන යන්නත් යුද හමුදාවට අවශ්‍ය වුණා. ඒ නිසා ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ජපාන නිර්මාණ හා නිර්මාණකරණ ප්‍රදර්ශනයට (JDIE) මේ ගංවතුර හානි වළක්වන ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතිය ඉදිරිපත් කෙරුණා.

ලෝක සිතියමේ තිතක් තරම් පුංචි ශ්‍රී ලංකාවේ මේ තරුණයාට ඒ ප්‍රදර්ශනයේදී රිදී පදක්කමක් හිමි වුණා. අන්තර්ජාතික වටිනාකමින් යුත් සහතිකයක්ද හිමි වුණා.

මේ උපකරණය වැඩි දියුණු කළොත් ගංවතුරෙන් නිවාස පවා බේරා ගන්නට පුළුවන් බවයි ‍දිසානායක අපට කිව්වේ. ඒ වගේම උපකරණයට දැනට සවි කර ඇති මෝටර් 4 වෙනුවට එක් මෝටරයක් යොදා ඒ කාර්යය කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. විශේෂයෙන්ම විදුලිය නොමැති අවස්ථාවලදි වුවත් මෙය ක්‍රියාත්මක කළ හැකි ලෙසින් සකස් කර ඇති බවත් පෙන්වා දෙන ඔහු මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව එය ජනතාවට හඳුන්වා දීමට හැකි වනු ඇතැයිද පෙන්වා දුන්නා. යුද හමුදා සෙබළකු ලෙසින් රට ජාතියට තමන් විසින් ලබා දුන් දායාදයක් ලෙස මේ ආරක්ෂික උපකරණය සලකන බවත් මේ සම්මානය හිමි වීම සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාට මෙන්ම යුද හමුදාවේ සියලුම නිලධාරීන්ටත් තම ස්තුතිය පිරිනමන බවත් ඔහු පෙන්වා දුන්නා.

ඉතින් ජපානයේදී නම් මේ නව නිපැයුමට ඇගැයීමක් හිමිවුණා. ඒවගේම ජපානයෙන් විතරක් නෙමෙයි, නිතර ගං වතුර තර්ජනයට ලක් වන අපේ රටෙනුත් මේ නිර්මාණයට තවත් අවධානය යොමු වුණොත් ඒක රටටම ලොකු යහපතක් වේවි. 

Comments