
අද සිට සද්ධර්මරත්නාවලී වැදගත් කතා පිළිවෙළින් ඔබ වෙත රැගෙන එන්නෙමු. එහි පළමු පිළිවෙළ චක්ඛුපාල තෙරුන්ගේ කතා වස්තුවයි. බොහෝ විභාගවලට නිර්දේශිත මෙම කතාව ධම්මපදයේ එන ‘මනෝපුබ්බංගමා ධම්මා’ යන ගාථාවෙහි නිදාන කතාව ද වෙයි. අකුසලයෙහි විපාක තමා පසුපස එන අයුරු ප්‍රත්‍යක්ෂ කොට දැක්වීම කතාකරුවාගේ මුඛ්‍ය අරමුණ වී ඇත ද සාහිත්‍ය නිර්මාණයක් මතු නොව ධර්ම කතාවක් වශයෙන් ද මෙය බෙහෙවින් ම වැදගත් වෙයි. ආරම්භක කතාව නිසාදෝ කතුවරයාට කතාව කීවේ අරමුණු ප්‍රකාශ කරන්නට අමතක වූවා සේ ය. එහෙත් පසුව එන කතා පුවත් ඇරඹීමේදී ධර්ම දේශක රීතිය භාවිත කොට මාතෘකාවක් යොදා ගනී. එය පහදන්නට කතාව ඉදිරිපත් කරයි. එහෙත් මෙම කතාවෙහි ඍජුවම කතාව විකාශනයට පිවිසෙයි.
අද සිට සද්ධර්මරත්නාවලී වැදගත් කතා පිළිවෙළින් ඔබ වෙත රැගෙන එන්නෙමු. එහි පළමු පිළිවෙළ චක්ඛුපාල තෙරුන්ගේ කතා වස්තුවයි. බොහෝ විභාගවලට නිර්දේශිත මෙම කතාව ධම්මපදයේ එන ‘මනෝපුබ්බංගමා ධම්මා’ යන ගාථාවෙහි නිදාන කතාව ද වෙයි. අකුසලයෙහි විපාක තමා පසුපස එන අයුරු ප්‍රත්‍යක්ෂ කොට දැක්වීම කතාකරුවාගේ මුඛ්‍ය අරමුණ වී ඇත ද සාහිත්‍ය නිර්මාණයක් මතු නොව ධර්ම කතාවක් වශයෙන් ද මෙය බෙහෙවින් ම වැදගත් වෙයි. ආරම්භක කතාව නිසාදෝ කතුවරයාට කතාව කීවේ අරමුණු ප්‍රකාශ කරන්නට අමතක වූවා සේ ය. එහෙත් පසුව එන කතා පුවත් ඇරඹීමේදී ධර්ම දේශක රීතිය භාවිත කොට මාතෘකාවක් යොදා ගනී. එය පහදන්නට කතාව ඉදිරිපත් කරයි. එහෙත් මෙම කතාවෙහි ඍජුවම කතාව විකාශනයට පිවිසෙයි.
එබැවින් කතාව මෙසේ අරඹයි. ‘එකල්හි සැවැත්නුවර මහසම්පත් ඇති මහාසුවදාන නම් කෙළෙඹියාණ කෙනෙක් වෙසෙති’ යනුවෙන් කියා ඔහුගේ ගැටලුව ගෙනෙයි. ඔහුට දරු සම්පත් නොමැති වීම ගැටලුවයි. එය පහදන්නට කදිම උපමාවක් යොදයි. “පලගන්නා ගස් තමා පලගන්නා අවධියේ මුත් අතුරෙක පල නොගන්නා සේ” දරු සම්පත් ලබන්නට නිසි පින් මහිමය මෝරන තුරා සිටිය යුතු බව කියයි. එක් දවසක් සුමන නම් කෙළෙඹියා දිය නාන්නට ගොස් එන’තුර යෝධ දේදුන්නක් වැටුණු නුග වෘක්ෂයක් දකී. එතැනට ගොස් එහි දේවතා කෙනෙකුන් ඇතැයි සිතා, මහත් සේ උපහාර දක්වමින් එම දෙවියන්ගෙන් දරු සම්පත් පතා යාඥාවක් කොට නිවෙසට පැමිණේ. ෙනාබෝ කලකින් කෙළෙඹි දියණියෝ දරු දෙදෙනෙකු වදති. මහා ආශිර්වාදයෙන් ලද හෙයින් පාලිත ලෙසින් නම් තබා වැඩිමහල් පුතු මහා පාලිත ලෙසත් බාලයා චුල්ල පාලිත ලෙසත් නම් කෙරිණි. වියපත් කල්හි අඹුවන් සරණ පාවා දී හෙයින් වෙන් කෙළේ ය.
සැවැත්නුවර දෙව්රම් වෙහෙරත් පූර්ණාරාම වෙහෙරත් පැවති නිසා බොහෝ දෙනා නිතර නිතර මෙම ආරාමවලට යෑම ඒම දිවා රාත්‍රියෙහි ම කදිම දර්ශනයක් වන්නට ඇත. මහා පාලිත කුමාරයෝ මේ පිරිසක් සමඟ දිනක් වෙහෙරට ගොස් දම් අසන පිරිස් කෙළවරෙහි වාඩි වී දහම් අසන්ට වූහ. බුදුහු මහා පාලිතගේ පෙර පින් මහිමය දැක ඔහුට අනුග්‍රහ පිණිස ම දහම් දෙසූහ.
දහම් දෙසීමේ දී පිළිවෙළ කතාව වැදගත් වෙයි. එහිදී බුදුහිමියෝ පළමුව දාන කතාව ආරම්භ කළහ. දානය නම් සියලු සැපතට මුලය. දුක් මුහුදින් එතර කරන නැවක් බඳු ය. මසුරන්න විෂ ඝෝර සර්පයන් වැන්න. දන් දෙන්නන් හැම කල්හිම සතුටු සිතින් වසන බවත් සමාජයේ සම්භාවනාවට ලක් වන ආකාරයත් දෙසූ බුදුහිමියෝ අනතුරුව සීල ආනිසංස දැක්වූහ. පැලඳ ගන්නා කෙනෙකුට ශීලය තරම් ආභරණයක් නැති බව කෙලෙස් කුණු සෝදා හරනට සිල් නමැති ජලය හැර වෙනත් ජලයක් නොමැති බව කෙලෙස් ගිනි නිවන්නට සිල් පටන් හා සමාන වෙනත් පවනක් නැති බව දෙසූ බුදුහිමියෝ යටත් පිරිසෙයින් පන්සිල් හෝ රැකිත යුතු බව වදාළහ. මේ දෙසුම ඇසූ මහා පාලිත කුමාරයා ගිහිගෙයි රැඳීමට වඩා පැවිදි වන්නට සිතා අවසර ලබා පැවිදි විය. වැඩිමාලු පැවිද්ද බැවින් ග්‍රන්ථධුර පුරන්නට කාලයක් නොමැති වීමෙන් විදර්ශනා ධුරය පුරන්නට එක්තරා ගමක් තෝරා එහි පන්සලක් තනා එහි නතරව භාවනානුයෝගියකුව වීර්ය වඩන්නට විය. ඔහුගේ විදර්ශනාව සුවිශේෂී වූයේ නෙසජ්ජිත ධූතාංගය සමාදන් වූ බැවිනි. එය කතාකරුවා දක්වන්නේ මෙසේය.
“අපි හිඳීමෙන් හා සිටීමෙන් හා සක්මන් කිරීමෙන් දවස් යවත් මුත් වැදහෝනා ඉරියව්වෙන් දවස් නොයවන්ට සිතම්හ”
එනම් යෑම් ඊම්, ඉඳුම්, යන තුන් ඉරියව්ව හැර නිදන ඉරියව්ව ප්‍රතික්ෂේප කළේ ය. කතාකරුවා දක්වන්නේ නිද්‍රා නමැති අංගනාව එවා පංචනීවරණ නමැති සොරුන් පස් දෙන තමාගේ සිත් පැහැර ගන්නට ඉඩ ඇති බවයි. එබැවින් නිද්‍රා ඉරියව්ව බැහැර කොට මුළු කාලය පුරාම ධූතාංග පූර්ණයෙහි යෙදුණි.
එහෙත් කල් යෑමේදී නිදි නොලත් ඇස වේදනාවට ලක්ව ඇස් දෙකින් ම දිය දහරා වැගිරෙන්නා සේ කඳුළු දහරාට ගලන්නට විය. එක් වෙද උපාසකයෙකු කඳුළු වැගිරෙන උන් වහන්සේගේ ඇස් දෙකට නස්නයක් කළ මුත් එය නිද්‍රා ඉරියව්වෙන් කළ යුතු වීම නිසා කිසිදු පලක් නොවී අවසාන දෑසම අන්ධ ස්වභාවයට පත්වීය. එහෙත් වීර්ය අත්නොහළ තෙරණුවෝ අරහත්වයට පත් වීය. මහා පාලිත තෙරණුවෝ එතැන් පටන් චක්ඛුපාල තෙරණුවෝ වූහ.
අනතුරුව ඇසින් බුදුහිමියන් දකින්නට නොහැකි වුව කනින් දහම් අසන්නට බාධයක් නොමැති බව කියා චක්ඛුපාල තෙරණුවෝ බුදුන් වෙතට පැමිණියහ. එවේලේහි බුදුන් ද අසූ මහා සව්වන්ද වැඳ විහාර චාරිකාවෙහි යෙදුණු චක්ඛුපාල තෙරුන්ට රතිඳුගොව්වෝ රාශියක් පෑගී මළහ. මෙය දුටු එක් තෙරනමක් මෙසේ කීය.
“ඇස් ඇති අවධියේ නිද්‍රා පියා පිළිවෙත නොහැසිර දැන් අන්ධ වූ අවස්ථාවෙහි සක්මන් කරම්හ’යි කියාලා මෙතෙක් ප්‍රාණීන් නසා බොහෝ අවැඩ කරන සේක.”
එසේ කියූ තෙරුන් වහන්සේ බුදුන් වෙතට ගොස් මෙය පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කළහ. එවිට බුදුන් දේශනා කොට වදාළේ චක්ඛුපාල තෙරුන් රහත් බව ලබා ඇති බැවින් වධක චේතනාව පහළ නොවන බවයි. එවිට රහත් වන්ට තරම් පින් පුරා දෑස් අන්ධ වූයේ ඇයි දැයි විමසීය.
එවිට බුදුහු අතීත කර්මය ගෙනහැර දක්වන සේක්, පෙර වෙදකම් දන්නා කෙනෙකුට ගම් නියම්ගම් හි චාරිකා කරන්නේ ඇස් ඇඳිරිය ඇති ස්ත්‍රියක දැක ප්‍රතිකාර කරන්ට සිතා, ප්‍රතිකාරයෙන් සුවපත් වූ පසු ගෙවන මිල කවරේදැයි විමසීය. ඇය කියා සිටියේ මිඩියක ලෙසින් මෙහෙකාරකමෙහි යෙදෙන බවයි. එවිට බෙහෙතක් සකසා දුන් අතර එය ඇසේ තබත්ම ඇසේ ඇඳිරිය දුරුවී පියවි ඇස් ලැබිණි. එහෙත් ඇය පොරොන්දු වූ මෙහෙසියක වීම නොකළ හැකි බැවින් තිබුණු පෙනීමත් නැති වූ බව කියා සිටියා ය. ඇයගේ දුෂ්ට අදහස තේරුම් ගත් වෙදාණෝ ඇස් නැති වීම සඳහා විෂ බේතක් තනා ඇයට දුන්හ. ඒ බේත් ඇසෙහි ගැල්වූ කල පහන් දෙකක් නිවී ගියා සේ ඇස් දෙක නැසී ගියේ ය.
මේ අදහස ගෙන හැර දැක්වූ බුදුහු එකල ඒ වෛද්‍යවරයා නම් චක්ඛුපාල තෙරුන් බව වදාරා යමෙක් තිදොරින් කළ අකුසලයක් ගොනා පසු පස ඇදෙන කරත්ත රෝදය මෙන් තමා පසු පස පැමිණෙන අයුරු පෙන්වා වදාළහ.
සාහිත්‍ය නිර්මාණයක කවර කාලයකත් ඉස්මතු වන්නේ තත්කාලීන සමාජ ස්වරූපයයි. මධ්‍යකාලීන ලංකාවේ ජනයා තුළ පැවති පාපී අදහස් දුරුකොට සදාචාරවත් ජන සමාජයක් ගොඩනඟා ගැනීමේ අරමුණින් ධර්මසේන යතිවරයාණන් ආරම්භයට ම මෙවන් කතා පුවතක් ධම්මපදට්ඨ කථාවෙන් උපුටා ගන්නට ඇත. දානය, ශීලය වැනි සදාචාර ධර්මයන්හි උත්කෘෂ්ට බවත් ඉස්මතු කෙරෙන මෙම කතාවේ තම අරමුණ කරා ගමන් කිරීමේදී අවශ්‍ය වන ආරම්භක වීර්යය ගැන ද කියවෙයි. දුෂ්ට සිතින් කරන ක්‍රියාවක බිහිසුණු ප්‍රතිඵල කුළුගන්වමින් නිම කෙරෙන මෙම කතාව දඹදෙණි යුගයට නොව වත්මනටත් බෙහෙවින් වැඩදායක වනු ඇත.