දත්ත සන්නිවේදනය සහ ජාලකරණය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියැවුණු පළමු කෘතිය | සිළුමිණ

දත්ත සන්නිවේදනය සහ ජාලකරණය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියැවුණු පළමු කෘතිය

කර්තෘ: කිත්සිරි එදිරිසිංහ

ප්‍රකාශනය: සිතිල ප්‍රකාශන

වර්තමාන ලෝකයේ දත්ත සන්නිවේදනය ඉතා වැදගත් ස්ථානයක් ගනු ලබයි. දත්ත එකිනෙකා අතර හුවමාරු කර ගැනීම සඳහා ජාලගත පරිගණක උපයෝගී කර ගනු ලබයි. මෙම ජාල නිවසක ඇති ඉතා කුඩා නිස්තර වර්ගයේ හෙවත් වයර්ලස් ජාලවල සිට පරිගණක සිය ගණනක් සම්බන්ධ වී ඇති ඉතා විශාල ජාල දක්වා විසිර පවතී. මේ නිසා පරිගණක දත්ත සන්නිවේදනය සහ ජාලකරණය සුවිශේෂ වේ. මේ සම්බන්ධයෙන් ඇති පොත් මේ දක්වා ලියවී තිබුණේ ඉංගිරිසි භාෂාවෙන් වන අතර ඒවා වටහා ගැනීමද තරමක් අපහසු වේ. මෙයට විසඳුමක් ලෙස පසුගිය මස නිකුත් කරන ලද සිංහල භාෂාවෙන් ලියවුණු දත්ත සන්නිවේදනය සහ ජාලකරණය කෘතිය හැඳින්විය හැකිය. මෙම ග්‍රන්ථය මෙම විෂයය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියවුණු පළමු කෘතිය වේ. මෙහි ඇති සෑම සිංහල පාරිභාෂික වචනයක් ම ඉදිරියෙහි එයට අදාළ ඉංග්‍රීසි වචනය ඇතුළත් කර ඇත. මෙම විෂයය ඉගෙන ගනු ලබන සිසුන් හට මෙය ඉතා පහසුවක් වේ. මෙහීදී ඉංග්‍රීසි වචනය නොමැතිව සිංහල වචනය පමණක් ඉදිරිපත් කළ හොත් මේ සම්බන්ධව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු පොතක් කියවීමේදි විශාල පැටලිලි සහගත තත්ත්වයක් ඇති වේ. මෙම ග්‍රන්ථය කොටස් තුනකින් සමන්විත වන අතර එය ඉලක්ක ගත කොට ඇත්තේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, කාර්මික විද්‍යාල සහ සරසවි පළමු වසර සඳහා වේ. නමුත් සාමාන්‍ය පාඨකයකුට වුවද තේරුම් ගත හැකි ආකාරයකට මෙය සකස් කර ඇත. මෙම ග්‍රන්ථයෙහි ඇති විශේෂත්වය නම් දත්ත යනු කුමක්ද , දත්ත ඇසුරෙන් තොරතුරු සෑදෙන්නේ කෙසේද යන්නේ සිට ඉතා සරලව සංකීර්ණ කරුණු වෙත යොමු වීමයි.

මෙහිදී ඩිජිටල්කරණය සහ ඩිජිටයිස්කරණය යනු කුමක්දැයි ඉතා හොඳින් විස්තර කර ඇත. මේ අතර දෘශ්‍ය තැටි වන සුසංහිත තැටි හෙවත් සී.ඩී. සංඛ්‍යාත්මක බහු නිපුණ තැටි හෙවත් ඩී.වී.ඩී. සහ බ්ලූ රේ තැටි වල ඇති ප්‍රභේද, සැණෙලි මතක හෙවත් ෆ්ලෑෂ් මෙමරි, මතක පත් හෙවත් මෙමරි කාඩ් සහ යූ. එස්.බී. සහ එහි පරම්පරා හෙවත් ජනරේෂන් පිළිබඳ ව සාමාන්යණ පාඨකයා නොදන්නා කරුණු ඉතා සරල ව මෙහි විස්තර කර ඇත. මේ අතර දෘශ්‍ය තැටි සඳහා භාවිත කරනු ලබන දැවීම සහ දත්ත ලිවීම පිළිබඳවද සඳහන් කර ඇත. එමෙන්ම ඩිජිටල් ප්‍රදර්ශක විභේදන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විස්තරය ද සුවිශේෂී වේ. එනම්, වී.ජී.ඒ., එක්ස්.පී.ඒ. යන පරිගණක ඵලක විභේදන මෙන්ම රූපවාහිනී ඵලක විභේදන වන එච්.ඩී., එෆ්.එච්.ඩී. සහ යූ. එච්.ඩී. විභේදන සහ නවතම ඩිජිටල් සිනමා විභේදන වන 2 කේ, 4 කේ,8 කේ, විභේදනවල වෙනස්කම් විස්තරාත්මකව දක්වා ඇත. මේවා සියල්ල සම්බන්ධයෙන් සිසුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැනුවත් වී අත්‍යවශ වේ.

ජාල වර්ග වන ස්ථානීය ක්ෂේත්‍ර ජාල, පුරවර ක්ෂේත්‍ර ජාල, සහ පෘථුල ක්ෂේත්‍ර ජාල විස්තර කර ඇති ආකාරය ඉතා වැදගත් වේ. මේ අතර පී.එස්.ටී. එන්. හෙවත් පොදු වහරුගත දුරකථන ජාල යනු කුමක්ද යන්න සහ එයට සම්බන්ධ තාක්ෂණ වන සංඛ්‍යාත්මක ග්‍රාහක පථ හෙවත් ඩී.එස්. එල්., ඒ.ඩී.එස්. එල්. සහ දෘශ්‍ය තන්තු තාක්ෂණයද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ.

2 ජී ජංගම ජාල තාක්ෂණයක් වන ජී.එස්. එම්. 3 ජී ජංගම ජාල තාක්ෂණයක් වන යූ. එම්. ටී. එස්. මෙන්ම නවතම 4ජී ජංගම ජාල තාක්ෂණ වන වයි.මැක්ස් සහ එල්.ටී.ඊ. හි දත්ත සම්ප්‍රේෂණ වේග මෙහි ඉදිරිපත් කර ඇත.

නිස්තර ජාල තාක්ෂණයක් වන වයි-ෆයි ආකාර සහ එය ක්‍රියාත්මක වන අන්දම ද පැහැදිලි කර ඇත. ප්‍රතිසම සහ සංඛ්‍යාවල සඥා වල වෙනස ඉතාමත්ම සරල අන්දමින් විස්තර කර ඇත.

ජාල නියමාවලි වන ඕ.එස්.අයි. සහ ටී.සී.පී.අයි. ඉතාම ගැඹුරින් සහ සවිස්තරාත්මකව විස්තර කර ඇති අතර අයි.පී.වී. 4 සහ අයි.පී.වී. 6 ඒ ආකාරයටම ගැඹුරින් දී සහ දීර්ඝව විස්තර කර ඇත. දත්ත පැකට්ටුවක් යනු කුමක්ද යන්නත් දත්ත පැකට්ටු මඟින් දත්ත ජාලයෙන් ජාලයට සම්ප්‍රේෂණය වන ආකාරය වහරු හෙවත් ස්විච සහ මාර්ගකාරක හෙවත් රවුටර මාර්ගයෙන් ඉදිරිපත් කොට ඇත. මෙහිදී ජාලකරණයේදී හමුවන චිවිධ වහරු වර්ග වල ක්‍රියාකාරිත්වය සහ මාර්ගකාරක හෙවත් රවුටර වල ක්‍රියාකාරීත්වයද විස්තර කොට ඇත්තේ රුපසටහන් ද සහිත ව ය.

තවත් විශාල දැනුම් සම්භාරයක් රැගත් මෙම කෘතිය දත්ත සන්නිවේදනය සහ ජාලකරණය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු ග්‍රන්ථවලට වඩා ඉතාමත් ම ඉදිරියෙන් ඇත. රූපසටහන් විශාල සංඛ්‍යාවකින් සමන්විත වන මෙම ග්‍රන්ථය ඒ 4 ප්‍රමාණයේ පිටු 322 කින් සමන්විත වේ. මෙහි දෙවන සහ තෙවන කොටස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව එහි දක්වා ඇත. එවිට පරිගණක දත්ත සන්නිවේදනය සහ ජාලකරණයේ අඩංගු සියලුම කොටස් ඉදිරිපත් කිරීමට කර්තෘ හට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. සාමාන්‍ය පාඨකයන් හට මෙම කෘතිය වැදගත් වන්නේ, දත්ත සන්නිවේදනයේදී යෙදෙන පුළුල් කලාප හෙවත් බ්‍රෝඩ් බෑන්ඩ්, ඒ.ඩී.එස්.එල්. සහ දත්ත සම්ප්‍රේෂණ වේග හෙවත් ඩේටා ට්‍රාන්ස්මිෂන් ස්පීඩ් යනාදී බොහෝ කරුණු ඉතා සරල ව පැහැදිලි කර තිබීමයි.

අධ්‍යාපනඥයකු ලෙස මේ කෘතිය මා අගය කරන අතර මෙවැනි කෘතීන් තව තවත් වර්තමානයට අවශ්‍ය වී ඇත. ඩිජිටල් සංස්කෘතියක් ඇති කිරීමේ රජයේ ප්‍රතිපතියට ද මෙම ග්‍රන්ථය ආධාරකයක් වේ. සෑම පාසල් සිසු සිසුවියක් ම මෙන්ම කාර්මික විද්‍යාලවල සහ සරසවි සිසුන් මෙම ග්‍රන්ථය පරිශීලනය කර තම විෂයානුබද්ධ දැනුම වැඩි කර ගත යුතු බව මගේ හැඟීමයි.

Comments