අත්අඩංගු වට ගන්නා ලදී... | සිළුමිණ

අත්අඩංගු වට ගන්නා ලදී...

පාඨකයන් අත්අඩංගුවට ගන්නා කෘති ඔබ කියවා තිබේ ද? සමහර කෘති පාඨකයන් වන අප විස්මයෙන්, ලාලසාවෙන්, කුතූහලයෙන් ඇද බැඳ තබා ගන්නේ අත්අඩංගුවට ගන්නාක් මෙනි. මා කියන්නට සූදානම් වන්නේ එබඳු අත්අඩංගුවට ගැනීමක් ගැන නොවේ. කියැවීමෙන්, එහි ඇති ආනන්දයෙන්, රසයෙන් අත්අඩංගුවට පත් වීම එකකි; බලෙන් අත්අඩංගුවට පත් කර ගැනීම ත‍ෙවකකි.

මම ඉතාලි ජාතික ඉතාලෝ කැල්විනෝගේ ‘ද බැරන් ඉන් ද ට්‍රීස්‘ නවකතාව කියවමින් සිටින්නෙමි. මුළු ජීවිත කාලය ම තුරු අතුපතර ජීවත් වූ මිනිසකු ගැන ලියැවුණු ජීවන අන්දරයකින් නවකතාව හැඩ වේ. දහඅට වන සියවස පසුබිම් කර ගෙන ගොඩනැඟෙන මේ නවකතාවේ ප්‍රධාන චරිතය වන්නේ කොසිමෝ ය. යථාර්ථවාදයේත්, අද්භූත කතා සම්ප්‍රදායේත් කාව්‍යාත්මක සංකලනයක් පෙන්වන මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වනුයේ විදග්ධ සාහිත්‍ය සම්ප්‍රදායත්, ජනප්‍රිය සාහිත්‍ය සම්ප්‍රදායත් අතර එකතුවක් ඇති කිරීම විය යුතුය.

එහෙත් ඒ කෘතියේ අපූර්ව සටහනක් හමු වේ. එහි නවකතාව කියැවීමට මත්තෙන් පිටු හතරක් පමණ පුරා ඒ සටහන වියමන් ව තිබෙනු පෙනේ. එය මා ඔබට මුලින් ම කිව්වා සේ බලෙන් අත්අඩංගුවට ගැනීමක් බඳු ය. සමහර පොත් අපේ මොළයට ඇතුළු වී තෝන් ලණුව අතට ගන්නා බැව් සැබවි. එවිට අපට වෙන කිසිවක් ම හෝ නොපෙනෙන බව ද සත්‍යයකි. එහෙත් පොතක් කියැවිය යුතු ආකාරයේ පටන් එය කියැවිය යුතු ඉරියව්ව දක්වා ම විග්‍රහ කෙරෙන පොතක් ඔබ අතට පත් වුව හොත් ඔබ කුමක් කරන්නේ ද?

ඉතාලෝ කැල්විනෝ ද තම කෘතිය කියැවිය යුත්තේ කෙසේ ද යන්නට පිටු හතරක් පමණ පුරා දිවෙන සේ දීර්ඝ විවරණයක් කරන්නේ ය. විටෙක ඒ දීර්ඝ විවරණය ම කියැවීම ආයාසකර යැයි ඔබට සිතෙන්නට හැකිය.

“ඔබ දැන් කියැවීමට සූදානම් වන්නේ ඉතාලෝ කැල්විනෝගේ අලුත් ම නවකතාව වන If on a winter's night a traveler නමැති කෘතියයි. සැහැල්ලු වන්න. සිත ඒකාග්‍රතාවට පත් කර ගන්න. අන් සියලු සිතිවිලිවලින් මිදෙන්න. අවට ලෝකය සිතෙන් මැකී යන්නට ඉඩ හරින්න. දොර වසා දැමුවා නම් වඩා හොඳ ය. රූපවාහිනිය යාබද කාමරයේ තිබුණ දෙන්. මට ටීවී බලන්නට වුවමනාවක් නැත! කියා අන් අයට දන්වන්න. ඔවුන්ට එය ඇසී නැත්නම් උස් හඬින් පවසන්න; “මම පොතක් කියවනවා බාධා කරන්න එපා..” කියලා. ඒ ඝෝෂා අස්සේ ඔවුන්ට ඔබේ කටහඬ නොඇසුණා විය හැකියි. එහෙයින් නැවත කෑගසා කියන්න... “මම ඉතාලෝ කැල්විනෝගේ අලුත් නවකතාව කියවනවා” කියලා. ඔවුන් ඔබට තනිව සිටින්නට ඉඩ හරින්නේ නම් වැඩි යමක් පවසන්න යන්න එපා.

අසුන්ගතව හිඳ, දිග හැරී හිඳ, උඩබැලිව හිඳ, නැත්නම් වකුටුව හිඳ ඔබට සුවපහසු ඉරියව්වක් තෝරා ගන්න. එසේත් නැත්නම් මුණින් අතට හෝ ඇලයට හැරී වැතිරෙන්න. ඇඳි පුටුවක, සෝපාවක, කැරකෙන පුටුවක, හාන්සි පුටුවක කූලිච්චමක එල්ලෙන කැන්වස් ඇඳක් ඇත්නම් එවැන්නක. ඔබ ඇඳෙහි වියල ළඟ හෝ ඇඳ පාමුල හිඳ එසේත් නැත්නම් හිස බිමට නැඹුරු කරගත් යෝග ඉරියව්වක හිඳ පොත බිම තබා ගන්න, කියැවීම පිණිස...”

මේ අණ කිරීම නම් ලේසියෙන් නිම කරන්නේ නැත. අපගේ සුව පහසුව ගැන මෙන්ම ඔහුගේ ලිවීම ගැන ද ඔහුට නිසි තක්සේරුවක් තිබුණාදැයි මේ දීර්ඝ සටහන කියවද්දී සිතුණත් මා එය මුළුමනින් ම කියවා හමාර කළේ බලෙන් ම අත්අඩංගුවට පත් වෙමිනි. හිතේ කහටක් නැතිව කෙළින් ම කිව හොත් මේ සියලු අත්අඩංගුවට ගැනීම්වලින් තොරව පොත විසින් ම අප ද නොදැනුවත්ව ම අත්අඩංගුවට ගන්නා පොත් මම කියවා ඇත්තෙමි. ඒ අත්අඩංගුව ලේසි පහසු නැත. මන්ද එය මුළු ජීවිත කාලය පුරා ම පවතින අත්අඩංගුවක් බැවිනි.

අපි අදටත් හෙමිංග්වේගේ, අයිත්මාතව්ගේ, මාර්කේස්ගේ, ශේක්ස්පියර්ගේ, ෙතාල්ස්තෝයිගේ, නාරායන්ගේ මතු නොව මහගමසේකරයන්, විමලරත්න කුමාරගමයන්, කමලා දාස් ආදී බොහෝ ලේඛකයන්ගේ, කවීන්ගේ අත්අඩංගුවේ පසු වන්නෙමු. ඔවුහු අප අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්වකීය නිර්මාණ මාර්ගයෙනි. ජෝර්ජ් ඕවල්ගේ ‘ගොවිපළේ පෙරළිය‘ කියැවූ ඕනෑම අයකුට තම තමන්ගේ ආයතනවල සිදුවන දෑ, සිදු කරන දෑ දැක නිරන්තරයෙන් එය සිහිපත් වීම වළකාලිය නොහැකිය. මුළු ජීවිත කාලය ම හරිහම්බ කර වස්තුව එක්රැස් කර ගන්නට ම වළිකන තෘෂ්ණාබර පුද්ගලයකු දුටු විට තොල්ස්තෝයිගේ ‘හතර රියන‘ සිහිපත් වීමත්, තමන් කරන ක්‍රියාවන්හි කර්මය නොහඳුනන පුද්ගලයන් හමු වූ විට දොස්තයෙව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම‘ සිහිපත් වීමත් වැළැක්විය හැකි ද? ඒවා හදවතට පැන හදවතේ තෝන් ලණුව අතට ගත් නිර්මාණ ය. ඒ නිර්මාණ කියැවීමට, රස විඳීමට අප වෙන ම සූදානම් කරන්නට ලේඛකයාට වෙනත් උපක්‍රම යෙදීමට අවශ්‍ය වූයේ නැත.

මිතුරා සතුරා වීමට ගතවන්නේ බොහොම කෙටි කලක් බැව් ඔබ අත්දැකීමෙන් දන්නවාට සැක නැත. එවන් මිතුරන්ගෙන් බැට කන හැම විටකදී ම ශේක්ස්පියර් සිහිපත් වීම වැළැක්විය හැකිද? ජූලියස් සීසර් නාට්‍යයේදී සීසර්ගේ ගෙලට මුලින් ම පිහියෙන් අනින්නේ කැස්කා ය. අනතුරුව කිහිපදෙනෙක් ම ඔහුට පිහියෙන් අනිති. අන්තිමට ම සීසර්ට පිහියෙන් අනින්නේ මාකස් බෘෘටස් ය. සීසර් මැරී වැටෙන්නේ ද්‍රෝහීකම, පාවාදීම හෙළා දකිමින් ලෝක සාහිත්‍යයට පමණක් නොව අපේ හදවතට ද ලියැවුණු හොඳ ම වැකි කිහිපය මෙසේ කියා ගෙන ය.

“මොනවා, ඔබත් බෘෘටස්?

එහෙනම් සීසර් වැටුණාවේ...”

මේ වැනි අත්අඩංගුවට ගැනීම් තිබියදී කැල්විනෝ ලා අප බලෙන් අත්අඩංගුවට ගන්නේ ඇයි දැයි සිතේ. ඒ එක එක අයගේ ක්‍රමවේදය යැයි කියා කෙනකුට තර්ක කළ හැකිය. අත්අඩංගුවට පත්වනවා නම් එසේ වන්නේ කුමන ක්‍රමයෙන් ද යන්න තීරණය කිරීම ඔබ සතුය.

sumudu.chathurani@lakehouse.lk

Comments