මුහුදු මහ විහාරයේ අද කතාව | Page 2 | සිළුමිණ

මුහුදු මහ විහාරයේ අද කතාව

 මුහුද ගොඩගැලූ කල කැලණිතිස්ස රජුගේ දියණිය වන විහාරමහා දේවිය රටවැසියන් වෙනුවෙන් මුහුදේ පාකළ බව ඉතිහාසයෙහි සඳහන් වේ. ඇය ගොඩබට ස්ථානය අද මුහුදු මහ විහාරය නමින් හඳුන්වන තැන බව ජනප්‍රවාදයේ සඳහන්ය. මේ විහාරස්ථානය නැගෙනහිර පළාතේ දිගාමඩුළු දනව්වේ වසර සියදහස් ගණනක තොරතුරු හෙළි දරව් කරන ‍ඓතිහාසික තැනකි. කාලය නැමැති වැලි තලාවන් යට සැගව ගොස් තිබුණ ද මේ විහාරස්ථානයෙහි අදත් අතීතයේ නෙලූ පිළිම වහන්සේ විරාජමානව වැඩ සිටිති. පොතුවිල් විහාරමහ දේවිය කිරින්දට ආ බවට ද තවත් තැනක සඳහන් වේ. මේ වන විට පොතුවිල් මුහුදු මහා විහාරය ගැටළු රැසකට මුහුණ පා ඇත. අතීතයේ අක්කර 264ක්ව තිබූ මුහුදු මහා විහාරය සතු ඉඩම 1965 ගැසට් නිවේදනයට අනුව අක්කර 30ක් දක්වා අඩු කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. අදට ඉතිරි ව ඇත්තේ අක්කර 03 ක භූමි භාගයකි. ඒ භූමි භාගය ද මේ වන විට ඇතැම් පිරිස් විසින් අත්පත් කර ගැනීම ඛේදවාචකයක් බව එහි වැඩවාසී ස්වාමින්වහන්සේ පවසති..

මෙම ස්ථානයේ බෝධි වෘක්ෂය හත් වතාවක් රෝපණය කර ඇත. මෙම පුදබිම වසර 14 ක කාලයක් තිස්සේ රැක ගන්නට කතරගම සීලරතන හිමියෝ මහත් වෙහෙසක් ගත් හ. ඇතැම් අවස්ථාවක අන්තවාදි පිරිස් පැමිණ සීලරතන හිමියන්ට ද නොයෙක් හිරිහැර කරන්නට වූහ. සීලරතන හිමියන් අපවත් වූ පසු 2010 වසරේ සිට මෙම විහාරස්ථානයේ වැඩ කටයුතු කරනු ලබන්නේ වරකාපොළ ඉන්දසිරි හිමියන්ය. එමෙන්ම තවත් හිමිවරුන් දෙනමකගේම සහය ඉන්දසිරි හිමියන්ට හිමිවේ. මෙම පුදබිම දිනෙන් දින දියුණු කරන්නට ඉන්දසිරි හිමියෝ මහත් වෙහෙසක් දරති.

මේ පුදබිම මනස්කාන්ත පුදබිමක් බවට පත්ව ඇත්තේ විහාරස්ථානයේ වැඩ වෙසෙන ඉන්දසිරි හිමියන්ගේ දැඩි කැපවීමේ ප්‍රතිපලයක් ලෙසිනි. නව බුද්ධ මන්දිරය සහ පිළිම වහන්සේ විහාර භූමියේ ඉදිවෙමින් පවතී. රණවිරුවන්ගේ දායත්වයෙන් සහ පරිත්‍යාගශිලින්ගේ සහයෝගයෙන් ඉදි වුණ දාගැබක් මුහුදු මහා විහාරස්ථානයට මහත් අභිමානයක් ගෙන දෙයි. විශ්‍රාමශාලා නිසි පරිදි නොමැති වීම පොතුවිල් ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන අයට බලවත් ගැටලුවක්ව ඇත. මුහුදු මහා විහාරයේ තිබෙන කුඩා විශ්‍රාම ශාලාව ප්‍රමාණවත් නොවන නිසා දෙමහල් විශ්‍රාම ශාලවක් ඉදිකරන්නට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරුන් පස් දෙනෙකු වැඩ කටයුතු ආරම්භ කරන ලදි. මෙම සත්කාර්ය සදහා පුරෝගාමි ව කටයුතු කරමින් සිටින ජි.එල්. ආරියපාල මහතා මෙසේ අදහස් දක්වයි.

“පොතුවිල් මුහුදු මහා විහාරය කියන්නේ ගැටලු රැසකට මුහුණ පා තිබෙන පෞරණික පුදබිමක්. දහසක් බාධක මැද මේ වන විට අතීතයේ සිට මේ දක්වා අපට දැකගන්නට හැකි සේ පුරා වස්තුන් රැසක් ඉතිරිව තිබිම භාග්‍යයකි. ඒ නිසා මෙම පුද බිම අපි රැකගත යුතුයි. වසර ගණනක් තිස්සේ මෙම ස්ථානය හුදෙකලාව තිබිම නිසා බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයකට ලක් නොවීම නිසා වෙනත් පුද්ගලයන්ගේ අවධානයට ලක්වී තිබෙනවා.”

මේ පුදබිම සඳහා වෙන් වී ඇති බිම් කඩ අත්පත් කරගැනීමට නොයෙක් දෙනා උත්සහ කිරීම සෝචනිය තත්ත්වයක් බැවින් මේ පුදබිම රැකගැනීමට විහාරාධිපති හිමියන් ඇතුළු එම ප්‍රදේශවල බෞද්ධ පිරිස අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති. ගුරුවරුන් පස් දෙනෙක් ඒකරාශි වී මෙම පුදබිමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් සලසා දිය හැකි දෙමහල් විශ්‍රාම ශාලාවක් සෑදිමට තීරණය කර තිබුණද ඒ සඳහා අතිවිශාල මුදලක් වැයවෙයි. ඒ අනුව මේ වන විට දෙමහල් විශ්‍රාමශාලා ගොඩනැගිල්ල ඉදිකර ඇතත් ඉතිරි වැඩ කටයුතු සිදු කිරිමට අවැසි ද්‍රව්‍ය සදහා බෞද්ධ පින්වත් දායකත්වය අවශ්‍යව ඇති බව ඉන්දසිරි හිමියෝ පවසති. මේ සදහා විශාල මුදලක් වැය වන අතර මේ සත්කාර්ය සඳහා බොහෝ දෙනෙක් නොමසුරු සහය මේ වන විටත් ලැබෙන බව පවසති.

“අපි මේ වන විටත් පරිත්‍යාගශීලින්ගේ නොමසුරු සහයෝගයෙන් විහාරස්ථානය ගොඩනගා ගෙන යනවා. විහාරස්ථානයට අඩුවක්ව පැවති දාගැබ ඉදිකිරිම සදහා විශේෂඥ වෛද්‍යවරු පිරිසක් නොමසුරු ධන පරිත්‍යාගය කිරිම නිසා යුද හමුදාවේ රණ විරුවන්ගේ දායකත්වයෙන් අලංකාර දාගැබක් ඉදිකිරිමට හැකිවුණා. ගුරු මහත්වරුන් පස් දෙනකුගේ මුලිත්වයෙන් තවත් පරිත්‍යගශිලින්ගේ ආධාර උපකාර මත මේ විහාරස්ථානය නැවත ගොඩනැගීමට හැකිවීම මහත් වූ සමාජ මෙහෙවරක්. මේ වන විට මෙම පුදබිමට බලවත් අඩුපාඩුවක්ව පැවති විශ්‍රාම ශාලාවක් ඉදි කරන්නට කටුයතු ආරම්භ කර ඇති අතර ඉතා සාර්ථකව ඒ කටයුත්ත සිදු කරගෙන යනවා. මේ වන විට ඒ සියලු පිංවතුන්ට මෙම විහර්ස්ථානය හුදෙකලා වන්නට ඉඩ නොදි රැකගැනිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරනවා යැයිද විහාරාධිපති ඉන්දසිරි හිමියන් ප්‍රකාශ කළහ’’

දහසක්වු බාධක මැද හෙට දිනයේ මෙම පෞරාණික පුදබිමට පැමිණෙන බැතිමතුන් උදෙසා සිදුකරගෙන යනු ලබන මෙම සත්කාර්ය වෙනුවෙන් ඔබගේ නොමසුර සහය අපේක්ෂා කරන බව පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධීපති වරකාපොල ඉන්දසිරි හිමියෝ පවසති.

සුභද්‍රා දේශප්‍රිය

Comments