ඩයලොග් රග්බි ලීග් තරගාවලිය ඇරැඹේ | සිළුමිණ

ඩයලොග් රග්බි ලීග් තරගාවලිය ඇරැඹේ

ප්‍රශාන්ත ඇල්පිටිය

 

2016 - 17 ලීග් ශූරතාවලියේ දී ඒ ඒ කණ්ඩායම් හිමිකර ගත් ස්ථාන

 

1. මහනුවර ක්‍රීඩා සමාජය

2. හැව්ලොක් ක්‍රීඩා සමාජය

3. නාවික හමුදා ක්‍රීඩා සමාජය

4. සී. ආර්. ඇන්ඩ් එෆ්. සී

5. ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

6. යුද හමුදා ක්‍රීඩා සමාජය

7. පොලිස් ක්‍රීඩා සමාජය

8. සී. එච්. ඇන්ඩ් එෆ්. සී.

 

2016 - 17 ලීග් තරගාවලියේ

දස්කම් දැක්වූ තරු

වැඩිම ලකුණු

දුලාජ් පෙරේරා හැව්ලොක් 171

තිලිණ වීරසිංහ නාවික 154

තිලිණ විජේසිංහ මහනුවර 118

 

වැඩිම ට්‍රයි (උත්සාහක) ලකුණු

ධනුෂ්ක රන්ජන් මහනුවර 16

රිචඩ් ධර්මපාල මහනුවර 12

දුලංජන් විජේසිංහ නාවික 11

 

ලබන හතර වැනිදා මෙරට ප්‍රධානතම රග්බි ලීග් තරගාවලිය ඇරැඹේ. ඒ 2017 - 18 ඩයලොග් රග්බි ලීග් තරගාවලිය වශයෙනි. මෙරටේ ප්‍රධානතම රග්බි සංගම් තරගවාරය මෙවර පැවැත්වෙන්නේ 67 වැනි වාරයටයි.

ගිය තරගවාරයේ දී එනම් 2016 - 17 ශූරයෝ වුයේ මහනුවර ක්‍රීඩා සමාජයයි. අනුශූරතාව හැව්ලොක් ක්‍රීඩා සමාජයටයි. මහනුවර එවර ලීග් ශූරතාව හිමිකර ගත්තේ 17 වැනි වතාවටයි.

2016 - 17 තරගවාරය මෙරට රග්බි ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී විය. ඒ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් ප්‍රථම වරට රූපවාහිනී තරග නිලධාරියකු තෝරා ගත් තරගවලට යෙදවීමයි.

මෙවරත් සහභාගිවන කණ්ඩායම්වල එකම අරමුණ වනුයේ ලීග් ශූරතාව හිමිකර ගැනීමයි. ඒ අතරින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට මෙවර ඉතා වැදගත් වනු ඇත. ඒ ගිය වසරේදී ඔවුන්ගෙන් ගිලිහී ගිය ශූරතාව මෙවර හිමිකර ගැනීමය.

හැව්ලොක් අවසන් වරට රග්බි ලීග් ශූරයෝ වූයේ 2012 වසරේදීය. එවර ඔවුන් 14 වැනි වතාවට එම ශූරතාව හිමිකර ගත්හ. ඔවුන් ලීග් ශූරයෝ වූයේ 1950, 51, 61, 63, 64, 67, 68, 70, 74, 76, 77, 78, 81 සහ 2012 වසරවලදීය.

මේ අතර ඉතා දිගු කාලයකට පසුව නැවත වතාවක් ලීග් ශූරයෝ වීමට තවත් කණ්ඩායම් ද්විත්වයක් මෙවර උත්සාහ කරනු ඇත. ඒ යුද සහ පොලිස් ක්‍රීඩා සමාජයන්ය.

පොලිස් ක්‍රීඩා සමාජය අවසන් වරට ලීග් ශූරතාව දිනුවේ 1991 වසරේදීය. ඔවුනට ශූරතා 12 කි. ඒ 1970 (සම), 72, 73 (සම), 1979, 80, 84, 85, 86, 87, 88, 89, 91 දීය. යුද හමුදාවට 1973 (සම) සහ 75 ශූරතාය.

සිලොනිස් රග්බි සහ පාපන්දු සමාජය (සී. ආර්. ඇන්ඩ් එෆ්. සී) අවසන් වරට ලීග් ශුරයෝ වූයේ 2002 වසරේදීය. ඊට පෙර 1952, 54, 55. 56, 58, 59, 65, 66, 69, 96 සහ 98 වසරවලදී ද ඔවුන් ශූරයෝ වී තිබේ.

කොළඹ හොකී සහ පාපන්දු (සී. එච්. ඇන්ඩ් එෆ්. සී.) දස වතාවක් ලීග් ශූරයෝය. එහෙත් අවසන් වරට 2000 වසරේදීය. මේ අතර නාවික හමුදාව 2014 වසරේදී ශූරයෝ වූහ.

කෙසේ වෙතත් මෙම සෑම කණ්ඩායමකටම පොදු අභියෝගයක් තිබේ. එනම් මෙවරත් මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය වැළැක්වීමට හැකියාව තිබේ ද යන්නයි.

මහනුවරට රග්බි ලීග් ශූරතා 17 කි. ඒ 1994, 95, 97, 99, 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10. 11, 15 සහ 16 වසරවලදීය.

 

 

 

 

 

 

Comments