ෂැංග්‍රිලා හෝටලය ගාලුමුවදොරදී නොවැම්බර් 17 විවෘත කෙරේ | සිළුමිණ

ෂැංග්‍රිලා හෝටලය ගාලුමුවදොරදී නොවැම්බර් 17 විවෘත කෙරේ

වර්තමානයේ ආසියා-පැසිපික් කලාපයේ ප්‍රමුඛස්ථානයෙහි වැජඹෙන ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි නවතම ශාඛාව ලබන නොවැම්බර් මස 17 වැනිදා කොළඹ ගාලුමුවදොරදී විවෘත කෙරේ. දැනට ලෝකයේ රටවල් රාශියක ෂැංග්‍රිලා හෝටල් 100ක් ඇති අතර, ගාලුමුවදොර විවෘත වන්නේ එහි 101 වැන්නය.

හොංකොං සමාගමකට අයත් ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි පළමුවැන්න 1971දී සිංගප්පූරුවේදී ඇරැඹිණ. ඇ‍.ඩො. මිලියන 100ක ආයෝජනයක් වූ ෂැංග්‍රිලා හම්බන්තොට ව්‍යාපෘතිය 2016 ජනවාරි මාසයේදී හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලය විවෘත ‍කළේය.

ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආයෝජනයකින් යුතු ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයේ මහල් 32කි. කාමර 540කින් යුක්තය. එහි සමස්ත කාර්ය මණ්ඩලය 750ක් වන අතර, ප්‍රධාන නිලධාරීන් 15 දෙනකු හැර සෙසු කාර්ය මණ්ඩලයම ශ්‍රී ලාංකිකයන්ගෙන් යුතු ‍වෙතැයි ෂැංග්‍රිලා සමාගමෙහි උපසභාපති සහ සාමාන්‍යාධිකාරි තිමෝති රයිට් මහතා පවසයි.

අදියර තුනකින් යුතුව ඉදි කෙරෙන කොළඹ ෂැංග්‍රිලා ව්‍යාපෘතියෙහි පළමු අදියර තරු පහේ ෂැංග්‍රිලා හෝටලය වන අතර දෙවැන්න ෂැංග්‍රිලා නිවාස සංකීර්ණය වේ. තෙවැනි අදියර වන ෂැංග්‍රිලා වෙළෙඳ සංකීර්ණය මහල් හතකින් යුතු වන අතර, එය 2019දී නිම කිරීමට නියමිතය. ලොව ප්‍රමුඛ පෙළේ වෙ‍ළඳ සන්නාම සහිත සියලු භාණ්ඩ අලෙවිසල්, ක්‍රීඩාගාර, රථගාල් ඇතුළු කුදු-මහත් පාරිභෝජන භාණ්ඩ සියල්ල මිල දී ගත හැකි අන්තර්ජාතික තලයේ සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස එය ඉදි කෙරේ. සුපිරි සන්නාම සහිත භාණ්ඩ මිල දී ගැනීම සඳහා තායිලන්තය, සිංගප්පූරුව හා චීනය වැනි රටවල් වෙත ඇදී යන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේදීම ඒ අවශ්‍යතාව සපුරාගැනීමට එමඟින් අවස්ථාව උදා වනු ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

ලොව කවර දේශයකින් වුව තමන් වෙත එන අමුත්තන් හදවතින්ම පිළිගෙන හෘදයංගමව සත්කාර සම්මාන පිරිනැමීම ෂැංග්‍රිලා සත්කාරක සම්ප්‍රදාය වන බව කී රයිට් මහතා ෂැංග්‍රිලා ගාලුමුවදොර හෝටලයේදී ලොව නන් දෙසින් එන අමුත්තන්ට ෂැංග්‍රිලා සම්ප්‍රදායන් රැකගනිමින් සැබෑ ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරක අත්දැකීම් ලබා දීමට කටයුතු කරන බවද පවසයි. සංවර්ධන මාවතේ ඉහළ මධ්‍යම අගයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ශක්ති ප්‍රමාණයෙන් දායක වීමද මෙරට සිය ආයෝජන ව්‍යාපෘති ඇරැඹීමේදී අරමුණු කළ බවද හෙතෙම පවසයි.

ෂැංග්‍රිලා හෝටල් ජාලය මඟින් මෙරට ජනතාවට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් උදා වන අතර, එමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයන්ට අන්තර්ජාතික තලයේ පුහුණුව, ඉහළ වැටුප් හා අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව හිමි වන බවත්, හම්බන්තොට වැනි ග්‍රාමීය ප්‍රදේශයක යටිතල පහසුකම් හා ජනතාවගේ ආර්ථික සංවර්ධනයට මේ ව්‍යපෘති ‍මහඟු උපකාරයක් වන බවත් රයිට් මහතා වැඩිදුරටත් පැවැසීය.

ඡායාරූප - සාලිය රූපසිංහ

Comments