
වනවැනුම් හෙවත් වනවිත්ති සාහිත්‍යයේ කේවලාධිකාරිය සියතට නතු කරගත් මේ ලේඛකයා ආරූඪ නාමධාරියෙකි. හේ ‘මැක්සිම් ගෝර්කි’, ‘කේයස්’ බඳු ආරූඪ නාමධාරී ‘මායාරංජන්’ ය. වනපෙතත් - වනදිවියත් ගැමිදිවියේ රසාලිප්ත ජනශ්‍රැතියත් සිය අභිධාන ශක්තිය ඔස්සේ බුහුටි ලෙස ගෙනහැර පෑ මායාරංජන්, ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ මඟින් පාඨකයා ග්‍රහණයට ගත්තේ නවමු සාහිත්‍ය මංපෙතට දොරටු විවර කරමිනි.
අදින් වසර 60කට පෙර 1957දී ග්‍රන්ථගත වූ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ මෙරට පාඨක-ලේඛක ලෝකයට ඇති කළ බලපෑම ප්‍රබල වන්නේ ජනශ්‍රැතිය මැනැවින් උකගාගත් හෙයිනි. හෙතෙම දුටු දෑ හෝ ඇසූ දෑ එලෙසින් ම ලේඛනගත කළේ නම් එය හුදු වාර්තාරූපී ලියවිල්ලකි. වනදිවිය හා බද්ධ ජනවහරේ ව්‍යංජනා ශක්තිය රස නුසුන් කොට මැවීමට දිගාමඬුල්ලේ ආශ්චර්යයට හැකි වූ හෙයින් මෙරට ජනශ්‍රැති ලේඛනවංශයේ පළමු ලාංකේය වනවැනුම් කෘතිය ලෙස බුහුමනට ද පාත්‍ර වෙයි. එයට පෙරාතුව රොබට් නොක්ස්ගේ පටන් ස්පිට්ල්, වුල්ෆ්, ටෙනන්ට්, පාකර් හා ඊආර් ලීච් වැන්නවුන් රැසකගේ නම් සටහන් කළ හැකි ය.
එහෙත් ඒ සියලු දෙන විදේශිකයෝ වෙති. ඔවුන්ගේ දැක්ම ජනශ්‍රැති උරුමයක මූලාශ්‍රය ගැඹුරින් විදහා දැක්වෙන එකක් නො වී ය. වනපෙත හා බැඳි දිවිසැරිය වනචාරී ගෝත්‍රික එකක් නොව සොබාදහමේ හිමිකමක් බව මොනවට ඔප්පු කරන ලද්දේ මායාරංජන් විසිනි. විදේශීය ලේඛකයන් දුටු දෑ වාර්තා කළ බව සැබැවි. ඔවුන්ට ලාංකේය ජනශ්‍රැති හිමිකම් අත්දැකීමෙන් පසක් කර ගැනීමට නොහැකි විය. එහෙයින් ඉංග්‍රීසි ජාතික ලේඛකයන්ගේ ලේඛන සතු මතක ආවර්ජනාවන්ට වඩා වනදිවිය ගැඹුරින් විශද කරන ආහ්ලාද වර්ණිත පුනරුච්චාරණයන්ගෙන් බැහැර ලේඛන රීතියක් මායාරංජන් දිගමඬුල්ලේ ආශ්චර්ය මඟින් ගෙනහැර පෑවේ ය. එනිසා ම පරම්පරා තුනක හිමිකමක් ලෙස තවමත් ජීවමානව පාඨකයා අත සැරිසැරීම එයට කදිම නිදසුන ය. ගෙවී ගිය 60 වසරක කාලය තුළ දිගමඬුලු දනව්ව සපුරා ම භෞතික සංස්කෘතිය මඟින් වෙනස් කර ඇත. එහෙයින් අතීත මානයක දළ චිත්‍රයක් හෝ දැක ගැනීම දුෂ්කර ය. මේ නිසා දිගාමඩුල්ලේ ආශ්චර්යය වැව්ගම්පත්තුවේ ජනශ්‍රැති චාරුලේඛනයක් බවට පත් වී ඇත.
ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ මායාරංජන් ලේඛනාවලිය හඳුනා ගත හැකි ය. ජනශ්‍රැති ලේඛන පළමුවැන්න ය. ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ හා ‘පිටිසර මිනිස්සු’ මෙහි අග්‍රස්ථායි ග්‍රන්ථ යුගල වේ. ජනශ්‍රැති අත්දැකීම් නිර්මාණාත්මක ගද්‍ය කාව්‍ය ලෙස දිගහැරෙන දෙවැන්න ‘මගේ රාජ්‍යය’ හා ‘අපේ රාජ්‍යය’ වේ. සෙසු අංගද්වය වන්නේ ගද්‍ය සාහිත්‍ය නිර්මාණ හා පරිවර්තන කෘති වශයෙනි. ඒ සියලු තන්හි ද මායාරංජන් ජනශ්‍රැතිවේදියාගේ ජනවහර දැකගත හැකි වීම විශේෂත්වයකි. ස්වාභාවිකත්වය ප්‍රතිකථනය කිරීමේදී ගද්‍ය නිර්මාණකරුවකුට ජනවහර තරම් ප්‍රබල මාධ්‍යයක් නැත. එහෙත් එයට ජන බස පිළිබඳ නිරවුල් මෙන් ම නිර්මාණාත්මක හුරුකම තිබිය යුතු ය. එසේ නොවන විට ජනවහර උපයුක්ත කරගත්ත ද එයින් මහරු පල නෙළාගත නොහැකි ය. මන්ද යත්: සහෘදය රසමනසෙහි රසෝද්දීපනය ව්‍යාජයෙන් කළ නොහැකි බැවිනි. එය ලේඛනයේ ආත්මගතව බද්ධ විය යුතු ය. මායාරංජන්ගේ ජනශ්‍රැති ලේඛන හතර එයට කදිම නිදසුනකි. ජනසංස්කෘතියේ ප්‍රතිකථනය සරල නොවූවකි. අදාළ තන්හි අදාළ මාත්‍රාව නිසි ලෙස ගළපාගත යුතුය. ලිහිල් සරල භාෂාවකින් ගැඹුරු ජීවන පුවත් එමඟින් නිෂ්පාදනය කෙරෙයි. එය වනපෙත හා සබැඳි ජීවන සංස්කෘතිය අපූර්වත්වයෙන් ඉදිරිපත් කිරීමට නම් අත්දැකීම් හා අව්‍යාජත්වය පත එකට අනාගත යුතු ය.
මායාරංජන් ජනශ්‍රැති ලේඛන අතර ප්‍රකාශිත ‘ජනශ්‍රැති කෝෂ ග්‍රන්ථයක්’ ලෙස ‘පිටිසර මිනිස්සු’ කෘතිය හැඳින්විය හැකි ය. කෝෂග්‍රන්ථ - එනම්: ‘Lexicon’ - ලෙස හඳුන්වන අභිධාන ග්‍රන්ථ මඟින් අකාරාදි පිළිවෙළට අවශ්‍ය වචනාර්ථයන් හා බැඳි අර්ථ සමුදාය ඉදිරිපත් කරයි. එහෙත් ‘පිටිසර මිනිස්සු’ ජනශ්‍රැති කෝෂග්‍රන්ථය මඟින් එබඳු අභිධාන ලේඛන සතු අකාරාදි පිළිවෙළ වෙනුවට පරිසර පද්ධති න්‍යාය ගෙනහැර දැක්වීමට මායාරංජන් සමත් වේ. මෙය තවමත් අප රටට නුහුරු එහෙත් අස්පර්ශනීය උරුම සංරක්ෂණයේදී භාවිතයට ගන්නා වූ ප්‍රබල ආකෘතියකි. සහභාගිත්ව නිරීක්ෂණය මායාරංජන්ගේ ප්‍රබලතාව සතු මූලික හිමිකම ය. ඔහු වටෙන් හෝ කනින්-කොනින් අසා ඒවා ලේඛනාරූඪ කළ අයෙක් නොවේ; සහභාගී වීම මඟින් ලද අත්දැකීම් නිර්ලෝභිව ග්‍රන්ථගත කළ ලේඛකයෙකි. එහෙයින් දිගුකලක් වැව්ගම්පත්තුවේ දිවි ගෙවන විට ලද අත්දැකීම් මතුපරපුරට දැනගනු රිසින් ‘පිටිසර මිනිස්සු’ රචනා කර තිබේ. පුස්තකාල විද්‍යාවට අනුව ‘පිටිසර මිනිස්සු’ පුස්තිකාවකි. එහෙත් එයින් ලද හැකි දැනුම පුස්තිකාවකැයි පිටු සංඛ්‍යාවෙන් ලඝු කළ නොහැකි ය.
දීර්ඝ පෙරවදනකින් පැවසිය යුතු ‘පිටිසර මිනිස්සු’ කෘතියේ සමෝධානාර්ථය මායාරංජන් ආරම්භක වැකි දෙකකින් හකුළා දක්වන්නේ මෙලෙසිනි: “පිටිසර පරිසරය වනය යි. ඒ නිසා පිටිසර පිළිබඳ අවබෝධයක් ලබාගන්නට නම් වනය ගැන ද කරුණු දත යුතු ය.” එපමණකි. එතැන් සිට කුඩා උප-මාතෘකා ඔස්සේ අදාළ මූලාශ්‍රයන් සැකෙවින්, එහෙත් සවිමත් ලෙස ඉදිරිපත් කරයි.
මායාරංජන් මෙහිදී ගැමියා, ගැමිකම, නූගතා, ගම හෝ වෙනත් කිසිදු වදනක් භාවිත නොකර ‘පිටිසර’ යන්න භාවිතයට ගන්නේ ගැඹුරු අර්ථයකිනි. පිටිසර කී විට නාගරික නො වෙයි; ග්‍රාමීය ද නො වෙයි. ‘පිටි’ යනු වනයට සමීප හෝ වනාන්තර යන්න අරුත් නංවයි. ‘සර’ යනු බැඳීම හෝ සාරය යි. එනම්: ‘පිටිසර යනු වනපෙත හා බැඳුණු සියලු ජීව සාරයන් ය’ යන්නට දිය හැකි කදිම යෙදුමකි. එබඳු ජීව ගුණයක් යනු ජනශ්‍රැති කෝෂ්ඨාගාරයක් නො වේ ද?
අත්දැකීම් ලද ලේඛකයකුට එය සඟවා තබාගත නොහැකි ය. රහසක් නොකියා සිටින විට පළමුව මානසිකව ද දෙවනුව ශාරීරිකව ගිලන් වන්නා සේ ව්‍යාධියකි. මහානාම රාජපක්ෂ බස්නාහිර පළාත්වාසියෙකි. සිය උපන්ගම වූ මඟලේගොඩ සිට වැව්ගම්පත්තුවට සංක්‍රමණය වන්නේ ද ගුරුවරයකු ලෙසිනි. 60 දශකයේ ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි. නිදහස ලබා සිංහල ජන සංස්කෘතිය යළි දෙරණ මත නඟාසිටුවීමේ ජාතික මානව ව්‍යාපාරයන් හිස ඔසවන අවධියක මඟලේගොඩ සිට පැමිණි ගුරුවරයාගේ සිතිවිලි ලෝකය නවමු මඟකට ගෙන ගියේ වනපෙත ය. ඒ හා බැඳි ලිවිසැරියයි. මේ අත්දැකීම නිසා ම මායාරංජන් අතින් පිටිසර මිනිස්සු රචනා වූ බවට සාක්ෂි හඳුනාගත හැකි ය. වනය කෙරෙහි ඔහු තුළ ඇති වූ ඇල්ම කවරේ දැයි හඳුනා ගැනීමට පාඨකයා ඇසුරු කළ යුතු කෘතිය වන්නේ ‘පිටිසර මිනිස්සු’ ය. හෙතෙම වනපෙතට වඩ-වඩාත් ආසක්ත වන්නේ විප්‍රලම්භ ශෘංගාරයෙන් මත් වෙමිනි. වනපෙතෙහි ශෝභමාන දැක්ම නාගරික ව්‍යාජයෙන් වෙන් කරගැනීමට ඔහු ජීවන අත්දැකීම් හා සංවාදයක නියැළෙයි. එහෙයින් වනපෙත ඇසුරු කරමින් ලද දැනුම, ආස්වාදය හා වින්දනය පෞද්ගලික අනුභූතියක් ලෙස අත්නොවිඳ එය පොදුවේ අන්‍යයන් සමඟ බෙදාගැනීමට දක්වන විමර්ශනාත්මක දෘෂ්ටිය ජනශ්‍රැති පර්යේෂකයකුගේ භූමිකාවකි.
වන සැරිසැරීමෙන් අනතුරුව වනයේ වෙනස්කම් ගැන හෙළි කරයි: “මඩකලපු දිසාවේ ඈත කෙළවර ‘දමන’ නමින් ගමක් වෙයි. තැන තැන පිහිටි තණබිම් සහිත වනය ‘දමන’ බව හෙතෙම අත්දැකීම් ආශ්‍රයෙන් විග්‍රහ කරයි. මේ ඔහු සතු අස්පර්ශනීය උරුමය ලේඛනගත වන ආකාරයයි. දුෂ්කරතා යටතේ ඔහු ‘රෝද පාර’ විග්‍රහයට ලක් කරයි. රෝදපාර යන්න මෙරට කිසිදු සිතියම් ලේඛනයක හෝ භූගෝලීය දත්ත විග්‍රහයක නැති පාරකි. නාමය ‘රෝදපාරය’. එහෙත් එය බැහැර කළ නොහැකි මූලාශ්‍රයකි. මන්ද: ‘රෝදපාර’ යන්න දිගාමඬුලු දනව්වේ ශ්‍රැතිවහරකි. එය ද අස්පර්ශනීය දැනුමකි. එහෙත් මායාරංජන් පෙන්වා දෙන තුරු අපගේ ජන වංසයට රෝදපාර පාරක් ලෙස නම් නොවූයේ මන්ද යන්න මතු වන ගැටලුවකි. රෝදපාර සැකසෙන්නේ වගුරු, මුල්, ගල්, ලදු, දෙණි, ඕවිටි හරහා යන දුෂ්කර කරත්ත පාරවල් මඟිනි. මෙය ද අඩිපාර, දෙවට පාර, ගම්සභා පාර, කරත්ත පාර මෙන් ප්‍රධාන මාර්ග පිළිවෙතකි. එහෙත් සුද්දා සැකසූ සිතියමට අයත් නොවන පිටිසර වැසිය භාවිතයට ගන්නා වූ ජන උරුමයයි.
‘පිටිසර මිනිස්සු’ ජනශ්‍රැති කෝෂ ග්‍රන්ථයේ දෙවන උල්ලාසය වන්නේ ‘වනසතුන්’ පිළිබඳව හඳුන්වා දීමකි. මෙය වනපෙතට පිවිසෙන්නට ‘මහහෙබරයකු’ දක්වන උපදෙස් මාලාවක් වැන්න. එහි අතිශයෝක්ති නැත; අලංකාරෝක්ති නැත; ඍජු කථන රීතියකින් අවශ්‍ය දැනුම් පද්ධතිය පමණක් සමීප කරවයි. වෘක්ෂ ජීවිතය, සත්ත්ව ජීවිතය හා අලි-ඇත්තු පිළිබඳ පුවත් ගැඹුරු පර්යේෂණ දත්තයෝ වෙති. “එක් අතකින් අලියාට බිය වීමට වුවමනා නැත. කිසියම් කරුණකින් කුලප්පු වූ විටක නොවේ නම්, අලියා මිනිසකුට පීඩාවක් කිරීමට කිසි සේත් නො සිතයි. මිනිසා තමන්ගේ පාඩුවේ යන්නට යයි නම් අලියා ද ඒ ගැන වගක් නැතිව තමන් කරන අහර බිඳීමෙහි යෙදී සිටියි... මේ නිරීක්ෂණය ප්‍රායෝගික ය. අලි මිනිස් ගැටුමට වඩා එකිනෙකා අවබෝධ කරගැනීම කොතරම් ප්‍රබල ජීවන අත්දැකීමක් දැයි මේ ජනශ්‍රැති කෝෂග්‍රන්ථය කියවන විට අවබෝධ වේ. කොටියා, වලසා, ඌරා, සිවලා, ගෝන මුව සතුන්, රිළවුන් සහ වඳුරන්, පුංචි සිව්පාවුන්, පක්ෂීන් සහ උරගයන් පිළිබඳ දැනුම් සම්භාරයක් සරල වනාන්තර චාරිකාවක යෙදෙන සොම්නසින් අත්විඳීමට හැකි සේ ඉදිරිපත් කරයි.
අස්පර්ශනීය සංස්කෘතික උරුමය තිරසර මානව සංවර්ධන අවශ්‍යතාවකි. යුනෙස්කෝ සම්මුතිය මඟින් එය අපූරුවට පෙන්වා දෙයි. සාම්ප්‍රදායික දේශීය දැනුම විශාල වශයෙන් සංවර්ධනයට ඉවහල් කරගත හැකි අතර ම ගිලීහි යන උරුමය මතු පරපුරට සුරක්ෂා කර තැබීමේ කාලීන වගකීම ද එමඟින් ඉටු කෙරෙයි. යුනෙස්කෝව අධික වියදමක් දරමින් මේ සඳහා අස්පර්ශනීය උරුමය ලේඛනගත කිරීම, විද්යුත් මාධ්‍ය මඟින් සංරක්ෂණය වැනි අංග ක්‍රියාවට නංවා ඇත. ඒ කිසිදු අන්තර්ජාතික ප්‍රඥප්තියක් නොදුටු මායාරංජන් නාඳුනන ගම්රටක රැකියාවට ගිය අතර ම සිය කාලය, ශ්‍රමය හා ධනය මතු නොව දැනුම කැප කර සිදු කළ මේ ජනශ්‍රැති කෝෂ ග්‍රන්ථය තවමත් පර්යේෂකයන්ගේ ඇසට හසු නොවීම යම්බඳු කනගාටුවට කරුණකි.
‘ගේදොර විත්ති’ විග්‍රහය මඟින් ගෙදරදොර තතු හෙළි කරයි. එමෙන් ම අස්පර්ශනීය භාවිතාවක් වන මෙවලම් පරිහරණය සතු සිරිත්-විරිත් හෙළි කරයි. ‘වංගෙඩිය, මෝල, කුල්ල, ඇවිල්ල හෙවත් වට්ටිය, හේනේ ධාන්‍ය රැස් කරන ආකාරය, එළඹෙන කන්නේ වගාවට බුද්ධබෝග රැස් කිරීම සහ දුම පිළිබඳ කරන විග්‍රහ අදින් 60 වසරක සිතුවම්පටයක් නරඹන තරම් ප්‍රබල මානවංශ ලේඛනයකි. ගෙවල ඉඩකඩ හා ඇඳුම් පැලඳුම් විස්තර එකිනෙකට බද්ධ වී තිබෙනුයේ විස්තර කථකගේ සරල රූපකාර්ථවත් බසෙහි ඇති ඕජෝගුණයෙන් සුපෝෂිතව ය.
අප රටෙහි ජීවන සම්ප්‍රදාය සැකසී ඇත්තේ හේන සහ කුඹුර ආශ්‍රිතව ය. හෙළ අස්පර්ශනීය දැනුම් ගබඩාව ද ඒ වටා කේන්ද්‍රීයව පවතී. කමත, හරකබාන, අඬහැරය, කෙත, එහි රැකුම් බැලුම් පැල්කවිය සහ ඇඹුල ආදි උපයුක්ත සංස්කෘතික ක්‍රියාකාරකම් යාන්ත්‍රිකකරණය වූ කල අවුරුදු දහස් ගණනක අස්පර්ශනීය උරුමයක් අමුඅමුවේ විනාශ වීම කනගාටුදායක පසුබිමකි. බිම් සැකසුමේ පටන් අස්වනු නෙළන තෙක් වැව්ගම්පත්තුවේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය හා බැඳි අස්පර්ශනීය උරුමය මායාරංජන් සටහන් කරනුයේ, හේනේ සටහන් මඟිනි. හේන් ඇල්ලීම, හේන් ගිනිතැබීම, හතුරෝ වල් අලියා එයට ඇතුළත්. “සාමාන්‍යයෙන් පවුලකට අක්කර දෙකක් පමණ කෙටීම සිරිතකි. කැලේ කපා, මසක් හමාරක් වියැළෙන්නට හැර, නිකිණි සුළං අල්ලා ගිනි දමනු ලැබේ. හේනට ගිනි දමා ගොවියෝ ළමා ළපටින් ද රැස් කරගෙන අසල කැලෑවට වී හූ කියමින් කෑකෝගැසීම සිරිතකි.
ගිනිදැල් බුරබුරා නැඟෙද්දී තොල් පිඹිමින් ගෝට්ටි කරති...” මේ විස්තර කථනය මඟින් තහවුරු කරනුයේ අස්පර්ශනීය ජනශ්‍රැති දැනුම ය. මෙය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. හේන් කෙටීම කාලය, ගිනිලෑම ගින්න බෝ වීමට ඔවුන් සහජයෙන් ලත් දැනුම නිසියාකාරව වටහා නොගෙන ඒ සියල්ල පිටිසරයාගේ වැඩ ලෙස බැහැර කිරීම කාලෝචිත නොවන්නකි. පිටිසර මිනිසුන්ගේ වනපෙත හා බැඳුණු සරුදිවිය සහ ජීවන සම්ප්‍රදාය මත ගොඩනැඟුණකි. එය සොබාදහම හා විශ්වය පිළිබඳ දැනුමෙන් ද පොහොසත් ය. මේ අස්පර්ශනීය දත්ත මයාරංජනී ‘ආවාහ විවාහ’, ‘සිතුම්පැතුම්’ ඔස්සේ ගෙනහැර දක්වයි. ඒ සියල්ල සහභාගිත්ව අත්දැකීම් ගොන්නකි. ‘කැලේ කවියෝ’ යනුවෙන් ඉදිරිපත් කරන ජනකවි සියල්ල විනාශ නොකර ලේඛනගත කිරීම කොතරම් අගනා දැයි වැටහී යන්නේ වත්මනෙහි යුනෙස්කෝව මඟින් මේ ජන උරුමයන් මානවවංශ සංගීත විද්‍යාව මඟින් තහවුරු කිරීමට වෑයම් කරන හෙයිනි. මේ අනුව බලන කල මායාරංජන් ලේඛකයා අතින් සැකසුණු අස්පර්ශනීය ජන උරුම ලේඛනය ලෙස ‘පිටිසර මිනිස්සු’ කෝෂග්‍රන්ථය හැඳිනගත හැකි ය.
මෙමඟින් නූතන ජනශ්‍රැතිවේදීන්ට පමණක් නොව, මානව විද්‍යා පර්යේෂකයන්ට ද විශ්වසනීය දත්ත ලබාගැනීමට අවකාශ සැලසේ. සරල, කෙටි ලියවිල්ලක් ලෙස සමාජීය ඇගයීමෙන් බැහැරව ‘පිටිසර මිනිස්සු’ මායාරංජන් නම් අස්පර්ශනීය ජන උරුම සංරකෂකයා මහත් වෑයමින් ගෙනහැර දක්වන වැව්ගම්පත්තුවේ ජනශ්‍රැතිය පත අට එකට සිඳ ඉදිරිපත් කරන ඔසුවකි. එකී ඔසු ගුණය මතු දින පර්යේෂකයන්ගේ නොතිත් ආශා පර්යේෂණ නිධාන සුවපත් කරන කදිම ඔසුවක් මැවෙයි. මෙහි වටිනාකම ගොඩනැඟී තිබෙන්නේ 60 වසරකට පෙර ලත් සහභාගිත්ව ජීවන අත්දැකීම් විශ්වසනීය ලෙස ලේඛනාරූඪ කරමින් පුරෝගාමි කෘතියක් ලෙස ‘පිටිසර මිනිස්සු’ ජනගත කිරීම ය.
‘දිගාමඬුලු වනපෙත’ ලේඛනයෙන්, චිත්‍රණය කිරීමට තරම් සංයමයක් මෙන් ම අව්‍යාජ පරිකල්පනයක් මායාරංජන් සතු විය. එයට බලපෑ ප්‍රමුඛ සාධකය නම් මඟලේගොඩ සිට ඈත දුෂ්කර වනාන්තරයට කොටු වීම ය. එහෙයින් වනපෙත, එහි සතාසීපාවා පමණක් නොව වැස්ස, ඉඩෝරය, ආහාරපාන ආදි සියල්ල අත්විඳීමට ඔහුට අවකාශ සැලසිණි. අනෙක් අතින් ගුරුවරයකු ලෙස ලෝකය හා පරිසරය අධ්‍යයනය කිරීමට දැක්වූ කැමැත්ත මෙහිදී ප්‍රධාන වෙයි. වනපෙතට ආසක්ත වී ඒ උරුමයෙන් ඔද වැඩී හුදෙකලාව දිවිගෙවනවාට වඩා වාක්චිත්‍රකරණයට පිවිස වනදිවිය පාඨක මනසෙහි සිතුවම් කිරීමට මායාරංජන් සතු නිසග හැකියාව පුදුම සහගතය.
කතා උල්ලාසයන් පහළොවක් ඔස්සේ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ ඉදිරිපත් වෙයි. මෙහිදී ඔහු දිගාමඬුල්ල සතු අසිරිය නිර්ලෝභීව ගෙනෙන හෙයින් ‘ආශ්චර්යය’ යන්න හැර එයට අපර නාමයක් තැබිය හැකි දැයි ගෙවුණු 60 වසරක අත්දැකීම් ඔස්සේ හඳුනාගත හැකි ය. 1957 වසරේ සිට පරම්පරා තුනක් තවමත් කෑදර ලෙස ඇසුරු කරන දිගාමඬුල්ල කී විට ම මායාරංජන් ද ආශ්චර්යය ද අපට සිහිපත් වන්නේ එකපැහැර ය. එය ආර්.කේ. නාරායන්ගේ ‘මල්ගුඩිය’ වැනි ය. මල්ගුඩිය ලේඛක හිතලුවකි. දිගාමඬුලු ආශ්චර්යය සහමුලින් ම සත්‍ය රසාකරයකි. ලාංකේය පාඨකයන්ට නුහුරු අත්දැකීම් ලෝකයක් හෙළි කිරීමකි. අනෙක් අතට මේ කෘතිය පාඨක මනසෙහි මෙතරම් තදින් පදිංචි වී අප අතර ජීවත් වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ වනපෙත, ගැමිදිවිය, පිටිසරබද ලිවිසැරිය හා අපේකම යන මේ සියල්ල අප කාටත් හිමි මතක පොසිල භාවිතාවකි. ඔබ දිගාමඬුල්ලට කිසි දිනෙක නොගිය ද දිගාමඬුල්ල ඔබගේ ම බව වැටහෙන්නේ මේ කෘතිය සතු මතක පොසිල අවදි කිරීමේ ගුණය නිසා ය.
‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ වත්මනෙහි කියවාගත යුත්තේ වනවිත්ති කතා පුවතක් හෝ අතීත යටගියාවේ රසවත් පුවතක් ලෙස නොවේ. එය අස්පර්ශනීය ජන උරුමයක් ලේඛනගත කළ උරුම හිමිකමක්, නැති නම් මානවවංශ ලේඛනයක් ලෙස ය. එහිදී වැඩි අවධානය මෙහි අවසන් අංක ලෙස ඉදිරිපත් කරන ‘අමුතු වචන’ වෙතට පැවරෙයි. මෙහි සඳහන් සියලු වචන වැව්ගම්පත්තුවේ වාග් උරුමයකි. අස්පර්ශනීය ජන හිමිකමකි. අකාරාදි පිළිවෙළට වචන හා එහි අරුත් ගෙනහැර දක්වා තිබේ. එම වචන සතු කෝෂාර්ථ, භාවාර්ථ හෝ ලක්ෂ්‍යාර්ථ විමසීමට වඩා ජනශ්‍රැති හිමිකම් හඳුනාගැනීම වැදගත් ය. නාගරික, අර්ධනාගරික හා තාක්ෂණික වෙනස්කම් හමුවේ මායාරංජන් ඉතිරි කළ වාක් එකතුව අද දිනටත් වඩා අනාගත අධ්‍යයනයන් සඳහා මහරු සම්පත් එකතුවකි. එදිනෙදා සමාජ ජීවිතයේදී පවත්වාගෙන යන්නේ නැති නම් සාම්ප්‍රදායික වාචික මූලාශ්‍රය හිරු දුටු පිනි සේ වියැකී යෑම පොදු ලක්ෂණයකි.
මායාරංජන් සහභාගීත්ව නිරීක්ෂණ පර්යේෂකයෙකි; ලේඛකයෙකි; මූලාශ්‍රය හා දත්ත ගෙනහැර දැක්වීම සහේතුකව ඉදිරිපත් කරන්නෙකි. එහෙයින් ජනශ්‍රැති පර්යේෂකයන් මෙන් තොරතුරු ලබාගත් සම්පත් දායකයන්ගේ දත්ත, නාම හෝ පුද්ගල මූලාශ්‍රය මෙයට අදාළ නො වෙයි. අප පර්යේෂණයේදී මායාරංජන් පිළිබඳ විශ්වාසය තබා 60 වසරක් ගෙවී ගිය තැන දත්ත සොයාගත හැකි ලෙස හෙතෙම සිය කාර්යභාරය මැනැවින් ඉටු කර තිබීම ප්‍රශංසනීය වෙයි. මේ අනුව දිගාමඬුල්ලේ ජනශ්‍රැති මූලයක් බවට මායාරංජන් පත් වී ඇති බව හඳුනාගත හැකි ය. හෙතෙම අදාළ තන්හි අවශ්‍ය සවිස්තර සටහන් දැක්වීමට මැළි නොවන්නෙකි. “බොහෝ කුඹුරු අහස් දියෙන් ගොවිතැන් කෙරෙන ‘මුම්මාරි’ ය. මුම්මාරි නාමය අහස් වතුරින් වගා කරන කුඹුරු යන්න ය. ‘දියතර’ හෙවත් ‘මානාවරි’ යැයි තවත් කුඹුරු වර්ගයකි. මානාවාරි යනු ගඟක වතුර හරවාගෙන කෙරෙන කුඹුරු ය.”
මෙලෙස මායාරංජන් පාඨකයා අපහසුවට ලක් නොකර අදාළ තන්හි ප්‍රාදේශීය යෙදුම් විග්‍රහයට ලක් කරයි. එමඟින් දිගාමඬුලු ආශ්චර්යය දුරවබෝධයකින් තොරව සමීප සාහිත්‍ය හිතවතකු සේ ඇසුරු කිරීමට පරපුරින් පරපුරට හැකි වීම භාග්‍යයකි. වනගත දිවියට ඇති උත්තුංග සොම්නස නව මානයකින් ලේඛනගත කළ මායාරංජන් වනපොත හා වතවිත්ති සාහිත්‍ය නම් බීජාංකුරය පාඨක මනසෙහි රෝපණය කළේ ද නිරායාසයෙනි. වනපෙත අසිරිය බීජාංකුරයෙන් වැඩී පළින් පළ පැළ වීම හේතු කොටගෙන පසුකාලීන ජනශ්‍රැති ලේඛක පරපුරක් බිහි වීමට ද මායාරංජන් අඩිතාලම සකසා තිබේ. ඔරුක්මාන්කුලමේ චන්දන හිමි, පියසේන කහඳගමගේ, ඇන්ටී කරුණාතිලක, සඳරුවන් ලොකුහේවා, ගුණසේකර ගුණසෝම සහ පියදාස උඩවත්ත නාම ඒ අතර ප්‍රධාන ය. ඔවුහු ජනශ්‍රැති හා අස්පර්ශනීය උරුම ගවේෂණයේ නියැළෙති; ඒ අතර ලද අස්පර්ශනීය දැනුම උපයෝගී කරගෙන ජනශ්‍රැති නිර්මාණ බිහි කරති. මේ නිමැවුම් අතර මායාරංජන් 1961 දී බිහි කළ ‘මගේ ලෝකය’ සහ එවසරේදී ම පළ කළ ‘අපේ රාජ්‍යය’ කෘති මූලිකත්වයක් ගනියි.
අස්පර්ශනීය ලේඛන සැකසීම මායාරංජන් සිතා-මතා විධිමත් පර්යේෂකයකුගේ භූමිකාවට අවතීර්ණ නොවී සිදු කිරීම මෙහිදී කැපීපෙනෙන භූමිකාව වේ. එය ලේඛකයකු මතු නොව, ලේඛන දෘෂ්ටිය මත පිහිටා කටයුතු කිරීමේ භාග්‍යයකි.
ජනවහර මෙන් ම ජනශ්‍රැතිය ද ප්‍රබල පරිසර සම්පතකි. එහි ජීව ගුණය රැඳී තිබෙන්නේ ව්‍යවහාර පවතින තාක් කල් පමණි. මායාරංජන් සිය ලේඛන මඟින් ජනශ්‍රැති විෂයක්ෂේත්‍රයේ අභිවර්ධනය පිණිස අප්‍රතිහතව සිදු කළ සේවාව තවමත් විධිමත් ඇගයීමකට ලක් නොවීම කණගාටුවට කරුණකි. එහෙත් අස්පර්ශනීය සංස්කෘතික උරුම සංරක්ෂණයන් මතු දිනක සිදු වේ ද එදින දිගාමඬුලු දනව්වේ වැව්ගම්පත්තුවේ ජන උරුමය, ජනශ්‍රැති හා ජනවහර ආශ්‍රිත සිරිත්-විරිත් වත්පිළිවෙත් හා සෙසු සංස්කෘතික උරුමයන් පුරෝගාමී ලෙස ලේඛනගත කළ ප්‍රමුඛයා ලෙස ගෞරව සම්මාන ලබන වග පැහැදිලි ය. එබඳු අනාගත කිසිදු ප්‍රතිලාභයක් නොසිතා වැව්ගම්පත්තුවේ අස්පර්ශනීය උරුමය රැස් කළ රූපකායෙන් නාඳුනන නාමකායෙන් සමීප මායාරංජන් නාමය එළඹෙන පරපුරින් පරපුරට ජීවත් වන බව සොම්නසින් සටහන් කළ යුතුව ඇත.