
වනපෙතේ අපූරු සුන්දරත්වය මධුර වර්ණනා බවට පත් කරමින් සුදු මහත්වරුන් ලියූ පොත-පත කොතෙකුත් ඇත. ඒ පිළිබඳ බොහෝ දෑ ඔවුන් ලියා ඇත්තේ, වන මං ඔස්සේ ගැවසෙමිනි. ජෝන් ස්ටීල්, දොස්තර ස්පිට්ල් ක්‍රිස්ටීන්, ලෙනාඩ් වුල්ෆ් ඒ අතර ප්‍රධාන වෙති. ශ්‍රී ලාංකික වනපෙතේ භූමි දර්ශන, වන අරණ සසල කළ කුරුලු හඬ, සොබාදහමේ නිරාකුල ලක්ෂණ ඒ කෘතීන් තුළින් නින්නාද වෙයි. සැබවින්ම එම පොත-පත සිංහලයට පෙරළා තිබුණත්, එයින් දිස් වූයේ විදෙස් ලකුණකි. එතකුදු හොත් වියළි කලාපයේ වනාන්තරවල සොබා චමත්කාරයේ සියුම් කාව්‍ය ගුණය පාඨකයා තුළ ජනිත කළේ මායාරංජන්ය. වනපෙතේ සැඟවුණු කුඩා කොටු ගම්මාන තුළ වෙසෙමින් මේ සොඳුරු මිනිසා වනගත අසිරිය හෙළ වදන් නමැති තෙළිතුඬින් සිත්තම් කළේ ය.
විවිධ මිනිසුන් ඇසුරු කරමින් වන මං ඔස්සේ ගැවසුණු සොබාදහමේ යාත්‍රිකයා මායාරංජන් යැයි, ඒ පා සටහන් මත පියමන් කළ පියසේන කහඳගමගේ පැවසූ වාර අනන්ත ය. සොබාදහමේ දයාව මෙන් ම අප්‍රමාණ දුක්කම්කටුලු විඳ දරා ගනිමින්, වනයට මැදි වූ තක්ෂිලාවල වෙසෙමින්, නවදැලි හේන්වල ඇටවූ පැල්පත් අතර ලගිමින් සිංහලේ පළමු වන විත්ති කෘතිය ලියූ මේ සංවේදී ගුරුතුමාගේ ප්‍රතිරූපය මසිත අවදි වූයේ පියසේන කහඳගම එවූ ලිපියක් කියවීම නිසා ය. කැලෑ ගම්වල දරුවනට අධ්‍යාපනයේ ප්‍රදීපය දැල්වීමට කැප වුණු ඔහුගේ දිවිය නිහඬ අතීතයක ගිලී පවතී. එම සැඟවුණු අතීතයේ අවස්ථා කීපයකි, මේ ලිපිය.
මායාරංජන්ගේ නම ඇසෙන හැම මොහොතකම ‘නෙල්ලිකැලේ’ නමින් පාසල් පෙළපොතේ සඳහන් පාඩම මතකයට නැගීම නොවැළැක්විය හැකි ය. එය පෙළපොතට ඇතුළත් කොට තිබුණේ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ කෘතියෙනි. ඇත්තෙන් ම එම පාඩම කියවා නිම වන සැණින් ම මුල් පොත කියවන තුරු ඉස්පාසුවක් නොවූ හැටි! හරිත පැහැය තැවරුණ වනපෙතේ රුක්ගොමු අතර කුඩා අඩි පාරවල් ඔස්සේ සැරිසරන සෙයකි. ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය කියවන විට දැනෙනුයේ වනමං අතර හුදෙකලා වී අතොරක් නැති රෑසියන්ගේ හඬ මැද සාහිත්‍ය කරණයේ යෙදුණු මායාරංජන් කෙසේ නම් අමතක කළ හැකි ද?
දිගාමඬුල්ලේ වනපෙතට මැදිව මහපොළොව සුවඳවත් කළ මිනිසුන්ගේ ජනජීවිතය පිළිබඳ ඔහු කෘති තුනක් පමණ කර තිබේ. දිගාමඬුල්ලේ ආශ්චර්යය, වනවිත්ති, පිටිසර මිනිස්සු එම කෘති ය. ඊට අමතරව ‘මගේ රාජ්‍යය’ නමින් ප්‍රබන්ධයක් ද වෙයි. මේ ලේඛකයා තමාගේ මහානාම රාජපක්ෂ යන සැබෑ නම යටපත් කොට මායාරංජන් නමින් හඳුන්වාගත්තේ සැඟවුණු චරිතයක් ප්‍රිය කළ නිසා දැයි නොදනිමි.
රාජපක්ෂ වෙද මහතා මිය යන විට මහානාමගේ වයස අවුරුදු නවයකි. ඔහු තම මවගේ මඟපෙන්වීම මත අධ්‍යාපනය ලබා ප්‍රාචීන විභාගය සමත් කළේ ය. සත්සර නාද රටාවේ රිද්මය ඔහුට මහත් ආස්වාදයක් විය. ඒ නිසා ම ඔහු මීගොඩ විජේසිංහගෙන් සංගීතය හැදෑරී ය. අනතුරුව හේ තම සොහොයුරා සමඟ එකතුව නාට්‍ය කීපයක් ලියා ගමේ වේදිකාගත කළේ කලාව කෙරෙහි ඇති වූ මහත් උද්දාමය නිසා ය.
මහානාමට මුල් ම ගුරු පත්වීම ලැබුණේ කුරුණෑගල ගොකරැල්ල විද්‍යාලයට ය. ඉන් පසුව ඔහු වැව්ගම් පත්තුවට ගොස් දමන මුල්ගුරු පදවිය හෙබවී ය. එවිට මහානාමගේ වයස අවුරුදු තිස්පහක් වූවා පමණි.
දිගාමඬුල්ලේ වන පෙතේ හරිත පැහැය ඔහුගේ සිත සොරා ගත්තේ ය. එහි සුන්දරත්වය වියකී යෑමට කලියෙන්. මියුරු වදන් කැටි බවට පත් කළේ. ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ නමිනි. මේ කෘතිය කියවන විට නිතැතින් ම හමු වන ගුණරත්න කොලුවා පාඨකයන්ට කිසි විටක අමතක නො වෙයි. දමන සමුපකාර කඩයෙන් සහල් තුනපහ රැගෙන කරත්තයකින් ගිය ගමන කොතරම් ත්‍රාසයෙන් පිරී ඇද්ද? එම කරත්තය පැදවූ ගුණරත්න කොලුවා හෙවත් දිමු තිලකරත්න පහළලන්ද ගමේදී වරක් මට හමු වූ මොහොත මතකයෙන් ගිලිහී නොයයි. ඒ වන විටත් ඔහු මැදිවිය පසු කරමින් සිටියේ ය. ඒ 1997 අවුරුද්දෙහි ය. මායාරංජන් මහතා පිළිබඳ මතක් කළ විගසසම ගුණරත්න කොලුවාගේ දෑස් ගුරු භක්තියෙන් දෝරෙ ගලන සෙයක් පෙනිණි. තම ගුරුවරයා පිළිබඳ සංවේදි වුණු දි.මු. තිලකරත්නගේ අදහස් සැඟවුණු මහා චරිතයක සෙවණැල්ලක් වූවේ ය.
වැව්ගම්පත්තුවේ පාදාගොඩ පාසලට මායාරංජන් මහතා පැමිණියේ 1948 අවුරුද්දේ ය. එකල ළමයි පාසල් ඒමක් නො වී ය. ඔවුන්ගේ දවස හේනට කුඹුරට ගත විය. එසේ නොවේ නම් දවස ගෙවී ගියේ ගවයන් බලාගැනීමට ය. පොඩියාරේත්, ගම්මුලාදෑනියාත් ගමට නායකත්වය දුන්හ. ඔවුන්ගේ අණසකට ය, ගැමියන් අවනත වූයේ. පොඩියාරේගේත් ගම්මුලාදෑනියාගේත් විරෝධය නොතකා ළමයි පාසලට ඒකරාශී කර ගැනීමට මායාරංජන් මහතා ඉමහත් වෙහෙසක් දැරුවේ ය. මුල් ගුරුතුමා උපරිම අයුරින් පාසල දියුණු කිරීමට වෙහෙස නොබලා කටයුතු කළේ ය. පාසල උදයේ අටට පටන්ගත් විට මුල් ම හෝරාව වතුවැඩට වෙන් විය. අධ්‍යාපනික කටයුතු කළේ ඉන් පසුව ය. ගොවිපළ කටයුතුවලට ගරු කිරීමට දරුවන්ට කියාදීම මායාරංජන් මහතා අමතක නොකළේ ය. එකල අධ්‍යාපනික කාර්යාලය පිහිටා තිබුණේ ද මඩකලපුවෙහි ය. දමන සිට මඩකලපුවට සැතපුම් හැටකි. මායාරංජන් මහතා කිසියම් කාරියකට එහි ගියේ දවස් තුනක් පාසල වසා දමමිනි.
පාදාගොඩ සිට දමනට එන විට ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ කෘතියේ එන ‘නෙල්ලිකැලේ’ මුණගැසේ. තන්හි තන්හි වැවී ගොස් වන වියනක්ව බැඳුණු නෙල්ලිකැලේ වනාහි නෙල්ලි, අරළු, බුළු, ගම්මාලු, පැඟිරිමානාවලින් සැදුම් ලත් වන වදුලකි. දිලිසෙන හිරුරැසින් නැහැවුණු වනාන්තරය නිමක් කොනක් නො වී ය. මායාරංජන් මහතා මෙය හැඳින්වූයේ ‘නෙල්ලිකැලේ’ යන නමිනි. අහස් ගැබේ පා වී යන වලාපටල නතු කර ගැනීමේ උත්සාහයක යෙදුණු මේ වනගුල්මයෙන් පැතිරෙන සුවඳට මායාරංජන් මහතා තදින් බැඳී සිටියේ ය. පදාගොඩ ගමේ දියුණුව යැයි හැඳින්වීමට කිසිවක් තිබුණේ නැත. ඒ නිසා ම ගුරුතුමාට ඉගැන්වීම පමණක් නො ව, ගම දියුණු කිරීමේ කාරියට ද කැප වීමට සිදු විය. ඔහු ග්‍රාම සංවර්ධන සමිතියක් අරඹා හතරපාදාගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය නමින් එය ලියාපදිංචි කළේ ය. එහි සභාපති මායාරංජන් වූ අතර, ලේකම් වූයේ ගුණරත්න කොලුවා ය. එහි ප්‍රතිඵලය නම් දමනට තැපැල් කන්තෝරුවක් ලැබීම ය.
වනපෙත ගිලගත් භූමිය තුළ ගම්මාන කීපයකි. දමන, පාදාගොඩ, කොස්සොපොළ, වටිනාගල, මඩවලන්ද, කොක් නගර ඒ ගම්මානයන් ය. දැවැන්ත රුක්ගොමුවලින් පතිත වන හිරු එළිය මනාවලින් සෙවණදුන් ගෙවල්වල වහල ආලෝකවත් කළේ ය. ගම්මානවල දුරින් දුරින් පාසල් පිහිටා තිබුණ ද ඒවාගේ කිසිදු ආලෝකවත් බවක් නො වී ය. වනයත් සමඟ සැඟව ගිය වැව්ගම් පත්තුවේ දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා හඳුනාගත ඔප්නැංවීමට මායාරංජන් මහතා උපරිම ලෙස කැප වූවේ ය. එකල පාදාගොඩ පාසල මඩකලපු දිස්ත්‍රික්කයේ හොඳ ම පාසල විය. දරුවන්ගේ සිතිවිලි නමැති දිය උල්පත් මතු කිරීමට සෞන්දර්යය ඇවැසි බව මායාරංජන් මහතා නිතර නිතර මෙනෙහි කළාට සැක නැත. ඔහු පාදාගොඩ පාසලේ පුහුණු කළ උඩරට නැටුම මඩකලපු දිස්ත්‍රික්කය අබිබවා නුවර කොළඹ පාසල් දක්වා ම ගෙනාවේ ය. ඒ ගමනේදී කොළඹ නගරය පුරා චාරිකා කොට, සවස වේයන්ගොඩ තම නිවෙසේදී නතර වී පසුදා යළිත් පාදාගොඩ ගියේ දරුවන්ගේ උතුරා යන සතුට අතුරිනි. මේ සියලු දේ සඳහා වියපැහැදම් කළේ මායාරංජන් මහතා ය.
පාදාගොඩ පාසලේ මුල් ගුරුතුමාට රාත්‍රිය දවාල ය යි වෙනසක් නැත. ඔහු පාපැදිය ගෙන ගමන් බිමන් ගියේ ගැමියන් පවා නිවෙස්වලින් එළියට නොබසින මොහොතක ය. මායාරංජන් මහතාට ආවේණික ආකස්මික ගුණය එය විය. හිරුගේ අවසන් රැස් දහර තුරා හිස් මත පතිත වෙමින් තිබිණි. පියකරු අතීතය විත් ගුණරත්න කොලුවා මැදි කර ගනියි. ඔහුගේ දෑස් කඳුළින් බර වේ. ළමා වියේ තම ආත්මය අවදි කළ ගුරුතුමා කෙසේ නම් අමතක කළ හැකි ද? යට ගියා වූ සොඳුරු දසුන් තුළ ගුණරත්න කොලුවා අතරමං වූ සෙයකි. සැබවින් ම ඔහුගේ වදන් කැටි ඉතා සංවේදී බවක් දනවයි. “මායාරංජන් මහත්තයා 1955 අවුරුද්දේ ඉඟිනියාගලට මාරු වෙලා පස්සෙ නුවරඑළියට ගිහින් තියනවා.
පස්සෙ කුරුණෑගල දිහා ඉස්කෝලයක උගන්වලා විශ්‍රාම අරගෙන තියෙනවා. පස්සෙ එක්දහස් නවසිය හැට අටේ අවුරුද්දෙ නැති වෙලා තියනවා. අනෙක මායාරංජන් මහතා ඔය වනාන්තරේ නොගිය තැනක් නෑ. හැම ඉසව්වක ම ඇවිද්දා. ඒ තොරතුරු තමයි දිගාමඬුල්ලේ ආශ්චර්යය පොතේ එන්නෙ. ඔය පොත ලියන්න මායාරංජන් මහත්තය මඩකලපුව අධ්‍යාපන කන්තෝරුවෙ සිරිසේන කියල මහත්තයෙක් එක්ක නොසෑහෙන්ට කතා කළා. මායාරංජන් මහත්තයාගෙන් ඉගෙන ගන්න තරම වාසනාවන්ත වුණා. මට මගෙ ගුරුතුමා කවදාවත් අමතක කරන්න බෑ” ඔහුගේ දෑසින් පිට වුණු කඳුළු බිඳු පොළොව මත පතිත විය.
තම වනගත ගුරු දිවියට වසර දහයක් පිරෙන දවසෙහි ඔහු අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයානන්ද ජයවීර මැතිතුමාට විදුලි පුවතක් යැව්වේ ය: “වනගත ගුරු දිවියට අවුරුදු දහයක් පිරෙන අද දින ඔබට සුබපැතුම් පිරිනමමි.” මේ විදුලි පුවත මායාරංජන් මහතාට ගෙනාවේ ආශීර්වාදයක් නො වේ. ඔහුට නුවරඑළියේ කළුකැලේ විදුහලට යෑමට එම විදුලි පුවත මහෝපකාරී වූවාට සැක නැත. වැව්ගම්පත්තුවේ වියළි තැන්නේ ගත කළ කාලය ඔහුට සුවදායක වූවත්, නුවරඑළියේ සීතල හිමපතනය නම් සුවදායක නො වී ය. මායාරංජන් මහතාගේ සෞඛ්‍යය දවසින් දවස පිරිහී ගියේ ය. කොහේ දෝ නැති කුෂ්ඨ රෝගයක් හෙමින් හෙමින් මායාරංජන් මහතා තුළට සේන්දු විය.
නුවරඑළියේ කළුකැලේ විදුහලින් මාරාවක් ලැබ මායාරංජන් ගුරුතුමා යළිත් සේවය සඳහා ගියේ කොයිබට ද? බොහෝ අය පවසනුයේ මේ අපූරු ගුරුතුමා කුරුණෑගල පැත්තේ විදුහලක සේවය කළ බව පමණි. ඒත් ඔහු එහි ගත කළ කාලය තවමත් රහසකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නිහත්පත්තුවේ පහළගම විදුහල බලා මායාරංජන් මහතා පැමිණියේ 1962 අවුරුද්දේ ය. මහව දුම්රිය ස්ථානයේ සිට සැතපුම් දහයකට පමණ දුරින් පහළගම විදුහල පිහිටා තිබේ. විදුහල ඉදිරිපිට වැවකි. විදුහල පිටුපසින් මී-ඔය ගලා බසී. ඈතින් පලාවන් පාට ගල්ගිරියා කඳුවැටිය දිස් වේ. පහළගම, ඉහළගම, කොහොඹකඩවල, මහමේරුව, යන නියම්ගම් පාසල මැදි කරගෙන සිටී. මේ ගම්මාන දමනට පාදාගොඩට වඩා දියුණු බවක් ඉසිලීය. එතකුදු හොත් හේන් ගොවිතැන නැත්තේ නොවේ.
මෙහිදී ගුරුතුමාගේ නවාතැන වූයේ ගුරු නිවාසයයි. ඔහුගේ දුක-සැප සොයා බලමින් උදවු කිරීමට ශිෂ්‍යයෝ දෙදෙනෙක් වූහ. ඉන් එක් අයකු වූ අයිඇම් පියදාස ගුරු නිවාසයේ රැඳෙමින් ගුරුතුමාට උයා-පිහා දුන්නේ ය. තම ගෙදර සිට මුල්ගුරුතුමාට උදයේ ආහාරවේල රැගෙන ගියේ මහින්දපාල නමැති ශිෂ්‍යයා ය. අයිඇම්යූ හේරත්හාමි නැමති ගැමියා මායාරංජන්ගේ කිට්ටු ම මිතුරෙකි. හෙතෙම ඇතැම් දවසක මායාරංජන් මහතාට මධුවිත ටිකක් රැගෙන ගියේ ය. කුෂ්ඨ රෝගය උත්සන්න වූ විටක, වේදනාව නැති කර ගැනීමට මායාරන්ජන් මහතා මධුවිත ටිකක් තොලගෑවේ ඉතා රහසිගතව ය.
පාසල ඇරී දරුවන් ගෙදර ගිය පසු මායාරංජන් මහතා වන පෙත දෙසට පියවර තබන්නේ සොබාදහමේ සුවඳ විදිමිනි. ඈතින් දිස් වන ගල්ගිරියා කඳුවැටිවල හෙල් අතර වැව් ඇති රූක්ෂ ගස් ඔහුට ප්‍රිය දසුනකි. මී ඔයට වැටෙන කුඩා දියකඩිති පුරාම මිදෙල්ල මල් වැටී තිබුණේ රතු පලසක් එළුවාක් මෙනි. මී ඔයේ සුදු වැලිතලා මත ඇවිදිමින්, ඔය වසා ගැනීමට තැත් කරන රුක් පෙළ සමඟ ගුරුතුමා බැඳී සිටියේ ය. ඇතැම් නිවාඩු දිනයක මායාරංජන් මහතා හේන් යාය දෙසට පිවිසෙයි. දඬුවැට හදන හැටි කටු වැට හදන හැටි ඔහු නෙත් යොමා බලා සිටී. ඇතැම් දවසක ඔහු පියදාස ශිෂ්‍යයාගේ පියාට අයිති හේනට යයි. අක්වැහි වැටුණු පසු ගිනි තැබූ නවදැලි හේනෙන් පැතිරෙන නැවුම් සුවඳ ඔහුට ගෙනාවේ ආස්වාදයකි. එහිදී බඩඉරිඟු මඤ්ඤොක්කා පුලුස්සා කෑම ඔහුගේ ප්‍රියතම කාරියකි. කණු මදුවල මෙකී ගිය වැටකොළු වැල් අග පිපෙන කහපාට මල් ඔහුගේ නෙත් සමඟ හාද වේ. එදෙස බලා සිටින ගුරුතුමා සීගිරි ගීයක වැකියක් මුමුනයි.
මීගස් ගොම්මන අතරින් පුරහඳ පාසල කෙළවරේ වැව් තලය මතට වැටෙන විට ගුරුතුමාට නිම්හිම් නැත. ඔහු දිග රිටකුත් ගෙන වැව දෙසට යන්නේ පාරුව පැදීමට ය. කොට්ට ගස්වල කඳන් එකට බැඳ සදා ගත් පාරුවේ සිට ගෙන ම මොහොතක් වැව් ජලය දෙස බලා සිටීම මායාරංජන් මහතා සිරිතයි. අහස් ගැබේ පායා ඇති තරු කැටවල ප්‍රතිබිම්බය වැව් ජලය මත පතිත වී ඇත. ගුරුතුමාට මහත් අස්වැසිල්ලක් ගෙනේ. ඔහු වැව් වටා පාරුවෙන් රවුමක් ගොස් ගුරු නිවාසයට පැමිණේ. සෑම දිනක ම ඇඳිරිය ගම්මානය වසා ගන්නා සඳ මායාරංජන් මහතා වයලීනයක් රැගෙන පාසල් වත්තේ සියඹලා ගස යට බංකුව මත වාඩිගනියි. රාගයක මියුරු හඬක් වයලීනයෙන් ගලා යයි. සඳ එළිය අතරින් ගල්ගිරියා කඳුවැටිය සෙවණැල්ලක් මෙන් දිස් වන තුරුම ඔහු වයලීනය හඬවයි. එදා කුඩාවට තිබූ සියඹලා රුක අද මහා විසල් වෘක්ෂයක් වී දරුවනට සෙවණ සපයයි. ගැමියන්ගේ සොම්නස් මෙන් ම දොම්නස් ද හදවතින් ස්පර්ශ කළ මේ සංවේදී ගුරුතුමා මැදියම් රැය ඉක්මවන තුරු ම නොනිදා ලියන්නේ ය. ගුරු නිවාස කවුළුවෙන් නික්මෙන පහන් එළිය ගම්මානය විනිවිද වනපෙත දක්වා ම විහිද යයි. නිශාචරයන් මෙන් රාත්‍රිය පුරා වන ළැහැබ් ඔස්සේ දඩමං සොයා යන මිනිසුන්ට එම එළිය කිසියම් මඟ සලකුණක් පෙන්නීමට සමත් වේ. රාත්‍රියේ පච්චිම භාගය ගෙවී යන විට පියදාස ශිෂ්‍යයා තම ගුරුතුමාට උණුසුම් තේ කෝප්පයක් පිළියෙල කිරීම සිරිතකි.
මායාරංජන් මහතා පාසලේ දරුවන්ට නිර්මාණකරණය ඉගැන්වීමට ප්‍රමුඛත්වයක් දුන් බව, එම ගුරු මණ්ඩලයේ සේවය කළ ගුරු මහතකු වූ රම්බණ්ඩා මහතා නිතර කීවේය. නාට්‍ය නිර්මාණය කොට රඟ දැක්වීම දවසකට එක බැගින් රචනා ලියන ලෙස ශිෂ්‍යයන්ට නියම කිරීම, කෙටිකතා, කවි නිර්මාණය කිරීමට දරුවන් උනන්දු කරවීමට මායාරංජන් මහතා අමතක නොකළේ ය. ඔහු සවස් කල ගෙවූයේ ඒ රචනා කියවීමට ය. මායාරංජන් මහතා පාසලේ පටන්ගත් අපූරු වැඩසටහනකි පොත් මිහිර. මෙයින් සිදු වූයේ දරුවන්ට පොත් ලෝකයේ දොරටු විවර වීමය. වැඩිහිටියන් වූ ඒ දරුවෝ අද දවසේ පොත් මිහිරේ රස අත්විඳිති. ඒ පුදුමය නම් අද දවසේ පාසල්වලින් මෙවැනි වැඩසටහන් පලා යෑමය. ඒ නිර්මාණශීලී අධ්‍යාපනයෙන් දීප්තිමත් දරුවෝ පහළගම පාසලින් බිහි වූහ. එහෙත් මායාරංජන් මහතා නමින් ඒ පාසලේ කිසිදු සිහිවටනයක් නොවීම වේදනාවකි.
ගමේ හිතවතුන්ගේ නිවෙස්වලට යමින් එමින් තමා ලියූ පොතපත ගැමියන්ට දීමෙන් මායාරංජන් මහතා ලැබූයේ අපමණ සතුටකි. දිගාමඬුල්ලේ ආශ්චර්යය, වනවිත්ති, පිටිසර මිනිසුස් වැනි පොත් ඇතැම් ගැමියන් ළඟ අදද සුරැකිව පවතී. “මායාරංජන් මහත්තය දුන්න පොත්” යැයි ඔවුහු ආඩම්බරයෙන් කියති.