මායාරංජන් නමැති රසවාදියා | සිළුමිණ

මායාරංජන් නමැති රසවාදියා

දිගාමඬුල්ලේ ආශ්චර්යය පොතෙහි ප්‍රථම මුද්‍රණය නිකුත් වුණේ 1957 දී ය. එදා ජාතික පුවත්පත් එහි පවත්නා අපූරු බව වහා හැඳින ගත්හ. දිනමිණ පත්‍රය සිය ග්‍රන්ථ විවේචන තීරුවෙහි තැබූ සටහනෙන් කොටසක් මෙසේ උපුටා දක්වනු කැමැත්තෙමි.

‘විල්ගම් පත්තුවට වැදුණෙමි. වන සිවුපාවුන්ගේ හඬින් තැති ගනිමින් මහා රූස්ස ගස් අස්සේ රිංගා ගියෙමි. වනගත ගම්මානයන්හි පැල්පත්වලට එබී බලා, එහි වැස්සන් හා දෙඩුවෙමි. ඔවුන්ගේ නැටුම් බලා සී පද හඬට කන් දුනිමි. මා මේ ගමන ගියේ මායා රංජන්ගේ දිගාමඬුල්ලේ ආශ්චර්‍ය්‍ය නමැති පොත ඔස්සේ ය. අප රටේ වනගත පෙදෙස් ගැන මිනිසුන් ගැන මේ තාක් සිංහල පාඨකයා කියැවූයේ ඉංග්‍රිසියෙන් ලියු පොත්වල සිංහල අනුවාදයි. පැරණි දිගාමඩුල්ලේ පැවති, තවත් සීමාසහිත කාලයකින් අන්තර්ධාන වන, පෙදෙසකට ගිය සිංහලයෙක් එහි ඇවිද කියා ඇහු දුටු දේ ගැන සිංහලෙන් සිතා සිංහලෙන් ලියා අප හමුවේ තබයි. පරිවර්තකයකු නොමැතිව වනගත අසිරි බැලීමේ වරය පළමුවරට සිංහල පාඨකයාට මෙයින් ලැබේ...’

දිගාමඬුල්ලේ ආශ්චර්යය පෑ පෙළහර මෙපමණක් නොවේ. සමන් පොතක් ලෙස මේ පොත මුද්‍රණයෙන් නිකුත් වීම ද, හාස්කමකි. ආසියානු පදනමේ ආධාර ඇතුව විශිෂ්ට මුද්‍රණ තාක්‍ෂණ මෙවලමෙන් සන්නද්ධ ව, සමන් මුද්‍රණාලය ස්ථාපිත කෙරුණේ එක් දහස් නවසිය පනස් හතරේදී ය. සමන් මුද්‍රණාලය යනු එදා සම්භාව්‍ය පොතපත පමණක් පළ කළ, මහා සම්මත වංශයේ පොත් ප්‍රකාශන සමාගමක් විය. සම්මත සමන් කුල සිරිතට අනුව, ඔවුන් පළ කෙළේ විශිෂ්ට මිනිසුන්ගේ අති විශිෂ්ට කෘති පමණකි.

‘අපි ගහන්නේ හොඳ පොත් විතරයි. ප්‍රකට සිවිල් නිලධාරි එම්. ජේ. පෙරේරාගේ මේ ප්‍රකාශයෙහි, එකී සියලු සම්ප්‍රදාය ගොනුවී තිබිණ. මෙම ආයතනයේ පුරෝගාමියකු වූ එම්. ජේ. පෙරේරාට පොතක් හොඳ වන්නට බොහෝ හේතු සාධක අවශ්‍ය විය. පොත් ලියන්නෝ පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් ම විය යුතු ය. එහි ආරම්භක ලේඛකයෝ ගුණදාස අමරසේකර හේමපාල විජේවර්ධන, ඌරාපොල හේමාලෝක හිමි, මාර්ටින් වික්‍රමසිංහ, ආචාර්ය සරච්චන්ද්‍ර සිරි ගුනසිංහ වැනි අය වූහ. වික්‍රමසිංහ හැරෙන්නට සියලු දෙනාට ඒ සුදුසුකම තිබිණ. වික්‍රමසිංහ යනු ඒ කාලයේත් හොඳ සිංහල පොතක සමන් ලකුණ විය. සමන් පොතක් යනු හොඳ පොතක් කියන්නට වික්‍රමසිංහ අනුපානය මුසු කර ගත්තාට සැක නැත. මේ කුල තහංචි අතරට, වැව් ගම් පත්තුවේ කැලෑ ස්කෝලෙක සිංහල ගුරුවරයෙකුගේ ලියමනාවක් සමන් පොතක් වන්නට බොහෝ හේතු කාරණා පැවතිය යුතුය.

අමෙරිකානු වටාපිටාවක් සහිත, ලංකාවේ සමන් නම් එකී පොත් කඩයට මායා රංජන් පැමිණි හැටි ඒ සංසිද්ධියෙන් අඩ සිය වසකට පමණ පසුවත් නිශ්ශංක ජයවර්ධන (එහි ප්‍රකාශනාධිකාරි 1955-1967) ට හොඳට මතක තිබුණී.

‘දිනක් පොඩිවී ගිය ජාතික ඇඳුමකින් සැරසී පයේ පාවහන් යුවළක් ද නැතිව අවුල්වූ හිසකින් ද යුතු පුද්ගලයෙකු තම කාර්යාලයට පැමිණ තිබේ. ඔහු අතේ තිබූ අත් පිටපත ද, පිළිවෙළකට තිබී නැත. පිටපත කියවා බලා හොඳ නම් පළ කරන්නැයි කියා ඔහු පිටව ගොස් ඇත. (නොව පැරණීය ලිපි සරණීය 47 පිට ඒ. ඩී. රන්ජිත් කුමාර).

ඒ අනුව එදා එය නියතයෙන්ම යා යුතුව තිබුණේ කුණු කූඩයටය. එහෙත් එකී ආශ්චර්‍ය්‍යවත් අත් පිටපත හොඳ පොතක ලාංඡනය වූ සමන් පිච්ච මලක හැඩරුව සහිතව දිගාමඬුල්ලේ ආශ්චර්‍ය්‍ය නමින් 1957දී නිකුත් විය. මායා රංජන් සමන් කුල ගෙට වද්දා ගන්නට තිබුණේ එකම සුදුසකමකි. එනම් දිගාමඬුල්ලේ ආශ්චර්‍ය්‍ය නැගෙනහිර ලංකාවේ වනාන්නතරයේ සැඟවුණ ජීවිතවල අහුපෑවත, කැලෑවල ඇති තතු කියවන්නාට දැනෙන සිංහලෙන් ව්‍යක්ත ව ලියා තිබීම ය. එය දිනමිණ කාරයා විසින් ද, නොමසුරුව කියා තිබිණ.

මායාරංජන් යනු සංගීතය ලලිත කලා ආදි මිනිස් මනෝ භාවයන් සපිරි සෞන්දර්ය වේදයිතයන් මනාව හැඳින සිටි රස වාදියෙකි. හෙතෙම වැව් ගම් පත්තුවේ වනවාසින්ගේ සිරුරුගත ආශක්ත උණුසුම විඳින්නට ඇත. කැලේ ගහකොළ අත ගා බලන්නට ඇත. ඒවායේ පැණි කසට තිත්ත රස දෙතොලග තවරා ගන්නට ඇත. පසුව ඔහුගේ පසිඳුරන් විඳි ඒ අනේක රස සිංහල කියවන අපට ද, දැනෙන පරිද්දෙන් භාෂාවක් නිර්මාණය කිරීමෙහි උත්සුක විය. ඔහුගේ නිර්මාණකරණය පෙළ ගැසුණේ එසේ ය. ඔහුගේ අපේක්‍ෂිත අරමුණ එය වූවාට සැක නැත. ඒ නිසාම දෝ හෙතෙම තමන් අරමුණු කර ගත් විෂය බද්ධ ප්‍රකාශනය කෙරෙහි භාෂාව විශිෂ්ට මෙවලමක් ලෙස හසුරුවා ගැනීමෙහි මෙසේ සමත් විය. නැවත අස්වනු අස් කොට-ගත් පසු මේ රම්‍ය භූමිය, එළ-මී ගවයන් සිය ගණනින් සැදි රංචු සිය ගණන් නිසා සුන්දර දර්ශනයක් වෙයි. එහෙත් වියළි ඍතුවේ දීප්ත සූර්ය රශ්මියෙන් පොළොව දා-ගිය කල, බෙහෙතකට තණ පතක්, සතකුට වතුර උගුරක් නැති, කර්කශ වේගවත් මාරුතයෙන් උඩ නැඟී කැරැකෙන දූවිල්ලෙන් වැසී-යන කාන්තාරයක් බවට පෙරැළෙයි.

දිගාමඬුල්ලේ ආශ්චර්‍ය්‍ය 2 පිට.

දිනමිණකාරයා ලියා ඇති පරිදි සිංහල ලේඛකයකුගේ පළමු වන චාරිකාව මෙය විය හැකිය. දෙස්තර ආර්. ඇල්. ස්පිට්ල් යනු එක් යුගයක නැගෙනහිර පළාතේ මහ වන මැද පිහිටි වැදි පත්තුවට නිතර ආ ගිය කෙනෙකි. ඔහු එහි පැවති ආදි වාසී ප්‍රාථමික මනුෂ්‍ය ජීවිතවල හරය මැනවින් අත් වින්දේය. පසුව, ඒ තුළ ගැබ්වුණ මානව හා සමාජ විද්‍යාත්මක පැවැත්ම Wild Ceylon, Savage Sanctuary ආදි විශිෂ්ට නිර්මාණයන් හරහා ව්‍යක්ත ඉංග්‍රිසියෙන් රචනා කෙළේ ය. ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම පරිසර ලෝලියකුවූ දොස්තර ස්පිට්ල් මේ විෂයය කෙරෙහි නැඹුරු කරවන ලද්දේ මානව විද්‍යා විෂයයෙහි උනන්දු වු මහාචාර්ය බාන්ස් නම් අපරදිග වාසියෙකු විසිනි. දොස්තර ස්පිට්ල් තම මුල් කෘතිය ගැන මැකී ගිය දඩමං ප්‍රස්තාවනාවෙහි මෙසේ කියයි. ‘හුදු ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ගවේෂකයකු ඉදිරිපත් කරන එකිනෙකට අසම්බන්ධ මානව විද්‍යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණුවන සේ නව කතාවක ස්වරූපයෙන් සමාජ මානව විද්‍යාව ඉදිරිපත් කිරීමේ ක්‍රමය සාර්ථක ව කළේ මා මීට පෙර ලියූ වනසරණ නම් පොතෙනි.’

කථන මාධ්‍ය සම්බන්ධව ස්පිට්ල්ට වඩා මායා රංජන් භාවිතා කළ ශෛලිය බෙහෙවින් ප්‍රබල විය. පැරණි දිගා මඬුල්ලේ වැව් ගම් පත්තුවේ ව්‍යවහාරික ජීවිතය පිටපත් කිරීම ආරම්භ කිරීමේ ඔහුගේ උනන්දුව සමහර විට ස්පිට්ල්ගේ කෘති හරහා මතු වන්නට ඇත. එහෙත් මායාරංජන් වූ මහානාම රාජපක්‍ෂ කිසි විටෙකත් තවත් ස්පිට්ල් කෙනෙක් වුණේ නැත. එසේම තවත් වැදි පත්තුවක් නිර්මානය කිරීමෙහි යෙදුණේ ද නැත. ස්පිට්ල් ස්මිත් චරිත ගණනාවක් යොදගෙන මුළු වැදි පත්තුව ම චිත්‍රණය කරයි. මායාරංජන් ගහෙන් ගහ, වැලෙන් වැල, සතාගෙන් සතා, වෙනම ගෙන වනයේ අසිරිය, එහි ගුප්ත බව, අඳුරු වී ගිය සොඳුර හැඩය, පිටපත් කරයි.

එහෙත් මායාරංජන්ගේ වැව්ගම් පත්තුව කියවීම ඊට වඩා හාත්පසින් ම වෙනස් විය. ඔහු වැව් ගම් පත්තුවේ ව්‍යවහාරික ජීවිතය පිටපත් කිරීම පැවති ආකාරයෙන් ම සිදු කෙළේය. දෙ තැනක දුර, යන අතරමග අවධානම, පිවිසෙන පිය මං කරන පසු කර යන වනාන්නතරය, එහි කැලෑ සතුන් හා ගැවසෙන මිනිසුන් අතර, හැංගිමුත්තම, ඔහු අපව කුතුහලයෙන් සසල කොට තෘප්තියෙන් නිසල කිරීමට සමත් විය.

මායාරංජන්ගේ මේ ව්‍යාඛ්‍යාන උනන්දුවට හේතුව ස්පිට්ල් වුව ද, ලේඛනයෙන් පමණක් නොව භාවිතයෙන් ද, මායාරංජන් ස්පිට්ල්ගෙන් වෙනස් වේ. දෙස්තර ආර්. ඇල්. ස්පිට්ල් ඉඳහිට තෑගි ගෙන වැදි පත්තුවට ආ ගිය අමුත්තෙකි. මායාරංජන් වැව් ගම් පත්තු වාසි තවත් වැසියෙකි. මේ දෙදෙනා වෙනස් වන්නේ මෙතන දී ය.

දමන රජයේ පාසලට පත්වීමෙන් පසුව ද, ඔහුට ස්ථාන මාරුවීම් ලැබීම අවසන් වුණේ නැත. වර්ෂ 1948 පෙබරවාරි මාසයේදී හෙතෙම දමන රජයේ පාසලේ මුල් ගුරු තනතුර දරමින් සිටියේ ය. 1949 පෙබරවාරි මාසයේ පාදාගොඩ පාසලට ස්ථාන මාරු කරනු ලැබීය. 1954 ඉඟිනියාගල රජයේ පාසලේ මුල් ගුරුවරයා ලෙස පත් විය. ඔහු 1956 දී ඉඟිනියාගලින් බදුල්ලේ ඇල්ල ප්‍රදේශයටත් ඉන් පසුව, නුවරඑළියේ නගරාසන්නයේ පිහිටි කළුකැලේ පාසලටත් ස්ථාන මාරු ලැබීය. ඉහත තැනක කියා ඇති පරිදි නුවරළියේ සිටිනාතර, වැව් ගම් පත්තුවේ භාෂාවෙන් කියයි නම් ඔහුගේ සිරුර පුරා හොරි බෝවිණ. අසංඛ්‍යෙයක් අත්දැකීම් ලැබු මේ සද් පුරුෂයාගේ මේ රෝගී තත්වය ඔහුට ගෙන දුන්නේ මහත් වේදනාවකි.

හැමදාම ගම්බද සිංහල පාසලකට ධජයක් පතාකයක් තොරණක් ආභරණයක් වූ මේ පෞරුෂය සිය චර්ම රෝගය නිසා තෙමේම සමාජයෙන් සැඟවී සිටින්නට උත්සාහ කෙළේ ය. පාසල් දරුවන් තමන් පිළිකුල් කරතී යන සැකය ඔහුව මානසික රෝගියකු කිරීමට ද සමත් වුණා විය හැකිය. වයෝ පූර්ණත්වයටත් කලින් ගුරු වෘත්තියෙන් ඉවත්වූ හෙතෙම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. ඉක්බිති පූර්ණ කාලීනව ග්‍රන්ථ කරණයෙහි ව්‍යාවෘත විය. තමන් ලියූ කුලුඳුල් කෘතියෙන් රට ඇල්ලු මායා රන්ජන් සිය ජීවිතයෙහි පනස් පස් වැනි සැතපුම් කණුවෙන් එපිටට ගමන් කෙළේ නැත.

මගේ රාජ්‍යය, අපේ රාජ්‍යය, පිටිසර මිනිස්සු, වීදිය බණ්ඩාර, නීලා, කුමාරයා සහ රං මැණිකා, හීනෙන් ගෑ සුවඳ, කලිසම සහ සුකුමාරි, සහෝදරයෝ දෙන්නා, පණ්ඩුකාභය, ප්‍රේම පූජාව, අටල්ලේ උපන් කුමරිය, නිර්භීත පුංචි සන්නාලිය, ආදි නිර්මාණ සමග වන සංග්‍රාමය, ත්‍රෝජපුර සංග්‍රාමය, ඇලෙක්සැන්ඩර් මහෞෂධය, ආදි පරිවර්තන රැසක් සිංහල සාහිත්‍යයට එක් කොට 1968 නොවැම්බර් මස 16 වැනි දින මෙලොවින් සමු ගත්තේය. ඔහු ජීවත් ව සිටි මුළු කාලය වසර පනස් පහකුත් මාස දෙකක් සහ දින දහ තුනකි.

අප මහත් ආයාසයෙන් සහ ආශාවෙන් මේ කියවමින් අධ්‍යයනය කරමින් සිටින්නේ අම්පාරේ දී මායා රංජන් වූ මහානාම රාජපක්‍ෂයන් පුරාණ දිගා මඬුල්ල නම් වූ වැව් ගම් පත්තුවේ ඔහු ගත කළ අට වසරක ජීවිතයෙහි ආශ්චර්ය සම්පන්න සිද්ධින් ය.

වැව්ගම් පත්තුවේ වන ප්‍රවාහය ඔහුගේ ආත්මීය මෙන්ම භාවික ජීවිතය හරහා ගලා යන විට ඔහු තම ජීවිතයෙහි පන් තිස් වැනි වසර ගෙවමින් සිටියේ ය. ඒ නිදැල්ල හුදෙකලාව ජීවිතය ඉල්ලා සිටින අවධියයි. ඔහු කැලය පුරා තනිවත් ඇවිද ගොස් ඇත. තනිව යන කැලෑ ගමනකදී බිය සැක වැඩිවන විට අයිනකින් ඇද නැති දැඩි ඉන්නක් කපාගෙන ඉන් හෙල්ලයක් සාදා ගනී. ඉන්පසුව, හෙතෙම කෝටුවක් අතට ගත් විට කෝටියක් දෝස දුරු වෙනවා යන වැව් ගම් පත්තු පිරුළ සිහි කරගෙන අප්‍රිකානු වනචාරියකුට ආවේස වී දැඩි සිත් ඇතිව, ගමන් කරයි.

(දිගාමඬුල්ලේ ආශ්චර්‍ය්‍ය 6 වන පිට)

මෙසේ යනවිට අත්දුටු සමහර අවදානම් ඔහු හඳුන්වන්නේ චමත්කාර ඇබැද්දි වශයෙනි.

ඔහුගේ පොතේ 5 වැනි පිටුවේ ඇති එවැනි ඔහුගේ චමත්කාර ඇබැද්දියක් කියවන මට සිනහ පහළ විය.

‘ඇයි හිනා වෙන්නේ. ව්‍යාකරණ දෝෂ ද?’ මායාරංජන් එවිට නිහතමානී ව මා වෙතින් විමසා සිටී. නෑ මේ...පොතේ 5 වැනි පිටුව පෙරළා ගත් මම ඔහු දෙස බලා සිටියෙමි.

‘මා මේ ගමන පිටත් වූයේ අදහසක් ඇතිව යැයි ඔහු අතින් කට නොව අත වැරදී ඉබේ ලියැවුණ වාක්‍යයක් ඇත. ඒ පිටුවේ ම විස්තරය ලියාගෙන යන මායාරංජන් ‘මහලු මහතා මරක්කල කඩකාරයාට වඩා හොඳින් කන බොන දේ සපයා විඩා හරින්නට බූරු ඇඳකුත් මිදුලට දෙන නිසා පමණක් නොව, පහන් එළියේ පෙනුණ තරුණ මරක්කල කම්මුල් වලට මගේ දෙ නෙත් ආසා නො කෙළේ ය යි කවුරු කියත් ද?’ අපෙන් විමසති. ආසා කළාට වඩා යමක් හැමදාම සිරිතක් ලෙස සිදු වන්නට ඇති බව මැනවින් තේරුම් ගත හැකිය. එහෙත් එදා හැමදාම සිද්ධ වූ දේ සිදුවුණේ නැත. ඔහු යන විට එරගම හන්දියේ කඩයක් නොවී ය. තිබුණේ අළු ගොඩක් පමණි. අර ලස්සන වන්තිය කෙලතොලු මහලු කඩකාරයාගේ සබ්බ සහිරිය අතපත ගාගෙන වෙනත් මුසල්මාන ගැටයකු සමඟ පැන ගොස් තිබුණේ වයසක දුප්පතාගේ කඩයට ද ගිනි තබමිනි. එදා රාත්‍රිය මායාරංජන්ට සිද්ද වුණ දේ මම මෙහි ලියා තබමි.

ඔහු සැතපුම් බාගයක් පට්ට කළුවරේම එරගම රජයේ බෙහෙත් ශාලාව තෙක් පයින් ගෑටීය. එහි සිටි දෙමළ ඇපොතිකරි ගෙන් පැදුරු කබලක් ඉල්ලා ගෙන අගුවේ ඇලවී රැය ගත කරන්නට ඔහුට සිදු විය.

‘මම පළිප්පු දාල ලියාපු කතාවක් අල්ලගෙන තමුසෙ මට පද හදනවා.’

මායාරංජන් මට එසේ කීවේ නෝක්කාඩු ඉරියව්වකිනි.

‘නෑ මම දමන කළු බණ්ඩාගේ දුව රණී ගැනත් අහලා තියෙනවා.’ මම පොත ඔසවා ඔහුට මතක් කර දුනිමි.

‘ඔහෙට ඔල්මාදේ ඒකිට බහිරව බැල්මක් තිබුණා’. එසේ නෝක්කාඩුවෙන් කතා කළ ද, මායා රංජන්ගේ මුහුණේ තිබුණේ තනියම හොරෙන් කෑ පැණි වරකා මදුලක් සිහිපත් වූවාක් වැනි මහත් තෘප්තියකි.

‘ඒකද රණී දවසට විසි තිස් ගමනක් ස්කෝලේ වාඩිය ළඟින් වතුරට ආවේ ගියේ?’

‘තමුසෙ ප්‍රශ්න අහන්නේ උසාවියේ පුරුද්ද මතක් වෙලා’ යැයි මායා රංජන් මට නෝක්කාඩු කීවේ නැත. ඒ නිසා ම පොතේ කියන බහිරවයා සිටියේ දමන ස්කෝලේ දැයි අසන්නට යන්නේත් නැත.

මායාරංජන් සිය ව්‍යාපාරයෙහි ස්පිට්ල්ට වඩා බෙහෙවින් සාර්ථක විය. ඒ ගැන කතා දෙකක් නැත. ස්පිට්ල් ලියා ඇත්තේ නවකතාවකි. එහෙත් ක්‍රිස්ටින් විල්සන් ලියූ වන වැදුණු දොස්තර පොතේ සියලු සත්‍යය දක්වා ඇත. කිරී නම් නාකි වැද්දියක් තමන් වෙත එන තෙක් පැය ගණනක් බලා සිටි වියපත් ස්පිට්ල් ගැන විස්තරයක් එහි දක්වේ.

‘උඩු කය නිරුවත් කිරී ඇගේ විශාල දෙපියවුරු දෙපසට පද්දමින් වේගයෙන් තමන් කරා දිව එනු ස්පිට්ල් හදිසියේ ම දැක්කේ ය. කිරී ඔහුගේ අතක් අල්ලාගෙන හති හලමින් ඔහුගේ පා අසල ඉඳ ගත්තා ය.’

තම පියා සම්බන්ධ මේ භාවාතිශය මොහොත ක්‍රිස්ටින් විල්සන් විස්තර කරන්නේ අපට බොහෝ දේ හිතා ගන්න ඉඩ දෙමින් ය.

කැලේට ආදරය කරන විට මිනිසුන් ද, සතුන් ද, ගහකොළ ද, එකට එතී පැටළී ඇඟේ එතෙන වෙළෙන බව, ස්පිට්ල්ට මෙන්ම මායා රංජන්ටත් අමුතු කතා නොවන්නට ඇත.

මායාරංජන් වැව් ගම් පත්තුවේ භාෂාව ගැන කතා කරන්නේ ගැඹුරු වාග් විද්‍යා දැක්මකිනි. කැලේට වැදුණ ඔහු දකින මිනිසුන් සතුන් සහ පැරණි නටබුන් ගැන ඔහු දොඩමලු වේ. ඒ කිසි විටෙක හෙතෙම සමාජ විද්‍යාවත් මානව විද්‍යාවත් පුරාවිද්‍යාවත් එකට පටලවා ගන්නේ නැත. වට්ට විදානේගේ යාගය ඔහු විස්තර කරන්නේ වුවමනා දේ පමණක් දැක ගැනීමට උත්සුක වන ජන පර්යේෂකයකු ලෙස ය.

කැලේ ස්වභාවය හඳුනා ගන්නා ඔහු ඒ දෙස බලන්නේ වන්නාට ය යන මැදහත් සිතිනි. ‘මුවහාමි කොටි රාළහාමිට කිරි හට්ටියක් වැනි ය. එහෙත් එය එසේ වන්නේ ද, පිම්මට අසුවුණොත් පමණකි. ඉත්තෑවා කූරු නිසාත්, කබල්ලෑවා කොරපොතු නිසාත්, කොටියාගෙන් ගැලවෙති.’ ඔහු සත්ව ජීවිත කියවන ලද්දේ ඒ ආකාරයෙනි.

මහානාම රාජපක්‍ෂ මායාරංජන් වෙමින් පුද්ගලයා මුළුමනින් ම සැඟවී ගොස් ය. අදත් අප තලු මරමින් රස විඳින, දිගාමඩුල්ලේ ආශ්චර්‍ය්‍ය නම් මී අඹය හට ගත් අඹගස වැව් ගම් පත්තුවේ මිහදන්වූ එකී මිනිසාගේ ආත්මයේ ඕජෝ ගුණයෙන් සාරවු බව මම කියා සිටිමි. සැප විහරණයක් නොලද, හෙතෙම දිගු කලක් රස්සාව සඳහා වැව් ගම් පත්තුවේ කාෂ්ටකයෙහි කර විය. තවත් කාලයක් රාජකාරි සඳහා නුවරඑළියේ අන්ත ශීතලයෙහි ගිලී සිටියේය. මේ දේශගුණික ප්‍රතිවිරෝධතා නිසාම දෝ අවසානයේ ඔහු මියැදුණේ කුෂ්ඨ රෝගියකු ලෙස මහත් තැවුලෙන් කල් හරිමිනි.

Comments