දීප්තිමත් තාරකාවක් සේ බැබළෙන මායාරංජන් | සිළුමිණ

දීප්තිමත් තාරකාවක් සේ බැබළෙන මායාරංජන්

අද ඔබ දකින දිගාමඬුල්ලේ සමෘධිය ඇරැඹෙන්නට පෙර මහ වනාන්තරයක් ව තුබූ වැව්ගම්පත්තුවේ දකුණු කොටසේ වනගම් දරුවනට අකුරු කරවන්නට ගිය අපේ කතා නායකයා - මහානාම රාජපක්ෂ ගුරුන්නාන්සේ එදා ආ ගිය තැන් ගැන එකල - මෙකල යන්තමින් සසඳමින් තොරතුරු ටිකක් කියන්නට මට අවසර දෙන්න.

එක්දහස් නවසිය හතළිස් අට වසරේ මහානාම රාජපක්ෂ නම් වූ අවසරලත් පුහුණු උප ගුරුවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ දකුණු වැව්ගම්පත්තුවේ යටි පළාතේ මැද කොටසේ පිහිටි ‘දමනʼ රජයේ මිශ්‍ර පාඨශාලාවේ මුල් ගුරුවරයා ලෙස උසස් වීමක් ද රැගෙන පැමිණෙන්නේ කුරුණෑගල ගොකරැල්ල, හලාවත ගල්මුරුව පාසල්වල සේවය කර ලබාගත් පන්නරයක් සහිතව ය. ඒ වන විට ඔහු පසුකරමින් සිටියේ දිවියේ තිස්පස් වන කඩඉම් කණුව ය. තමා දිගාමඬුල්ලට - එහි වැව්ගම්පත්තුවේ යටිගම් පළාතට මුලින්ම පැමිණි ආකාරය ගැන වදනින් ඇඳි කදිම සිතුවම් පෙළක් දිගාමඬුල්ලේ ආශ්චර්යය පොතෙන් අප වෙත පමුණුවා තිබේ.

ගල්ඔය ව්‍යාපාරයේ වැඩ අරඹන තෙක් දමන අයත් වැව්ගම්පත්තුව යටි පළාතට යා හැකි එක ම ප්‍රවේශය මඩකලපුව - පොතුවිල් මූදුකර පාරේ අක්කරපත්තුව කඩපොළෙන් බැස එරගමට යන ‘ගිරිවෙල් රෝට්ටුව’ʼ හා එරගම සිට දමනට ළඟා විය හැකි ‘රෝද පාර’ʼ ය. ඇතැම් විටෙක වනවාසී මිනිසුන් රහසේ ගමන් ගත් ‘අතු හම්’ පාරවල්ʼ නොතිබුණා ම නොවේ. එහෙත් ඒ ආගන්තුකයනට යා හැකි ඒවා නම් නො වේ. අක්කරපත්තුවෙන් පිටත්ව එරගම අතට මයිල දෙක තුනක් ගිය තැන සිට දිගාමඬුලු මහ වනය හමු වේ. ඒ මැද කුඩා ගම් පිහිටා ඇත්තේ මහ මුහුදෙක තැනින් තැන මතු වූ දූපත් මෙනැයි මහානාම ගුරුන්නාන්සේ කියයි. හැට හතර - හැට පහේ දී මා දකින දමනත් ‘දිගාමඬුල්ලේ ආශ්චර්යයේ’ʼ එන දමනත් එවක මම සිතින් සංසන්දනය කර බැලුවෙමි. එ පමණක් නො වේ. එහි දැක්වෙන වෙනත් ගම් ඉසව් සොය සොයා හැකි තරම් සංචාරයේ යෙදෙන්නට ද ඒ පොතින් මම පුබුදුවාලනු ලැබ සිටියෙමි.

‘මහානාම ගුරුන්නාන්සේ’ʼ කියන ආකාරයට ම දමන ඉස්කෝලය පිහිටා තිබුණු තැන තවමත් ඇත්තේ තුන් මං හන්දියකි. හැට අවුරුද්දක් ගිය ද එය ලිය - ලා සිව් මං සලක් වී නැත. නැගෙනහිර පැත්තේ පිහිටි එරගම, කරලෑව, හිඟුරාන ගම් නගර පසුකොට බටහිර දෙසට පැමිණෙන පාර - මහ පාර ඉද්ද ගැසුවා සේ ඉස්කෝල හන්දියේ දී නරත වෙයි. යළි එතැන තුන්මං හන්දියක් ඇතිකරමින් දකුණටත් වමටත් දෙමගක් වී විහිදී යයි. ගුරුන්නාන්සේ දන්නා කාලයේ සිට ම ඉස්කෝල හන්දියෙන් දකුණට යන පාර අම්බලන්ඔය, තිඹිරිගොල්ල, මඩවළලන්ද හරහා තොට්ටමට ද වම් පසට දිවෙන පාර කීනවත්ත, මොරගහපල්ලම, පුහුල් පල්ලම හරහා පාදාගොඩට ද පැමිණේ. කරත්ත රෝදවලට හෑරී පෑදී සකස්වුණු පාර රෝද පාරයි. තවමත් ඈත එපිට වනගත ව සැඟවුණු හා කරත්ත කබලක් භාවිතා කරන ගමක දී හෝ වනයේ ඇතුළත හොර ජාවාරම් කරන්නන්ගේ තිප්පළක දී මෙවැනි රෝද පාර දැකිය හැක්කේ ය.

මා නිකම්ම දමන යැයි කීව ද අපේ ගුරුන්නාන්සේට අනුව ‘දමන’ʼ යටි පළාතේ අගනුවරයි. ‘යටිපළාත’ කරවන කෝරාළගේ කාර්යාලයත්, ගම්කාර්ය සභාව, ගම්සභා උසාවිය, රජයේ බෙහෙත්සල, යටිපළාතට වූ එකම තැපැල්පළ, හැම ගමකට ම බඩු සැපයෙන සමූපකාර කඩය ආදී සියලු අංගෝපාංග එහි ම වූයේ ය. එහෙයින් මයිල දසයක් දුර තොට්ටමින් ද, පසළොසක් දුර කොස්සපොළින් ද, සතළොසක් දුර ලන්දේගමින් ද ලුණු ගැනීමේ පටන් නඩු කීම දක්වා ඇති සියලු කටයුතු සඳහා බොහෝ දෙන එහි නිතර පැමිණියහ.ʼ

දමන අගනුවරට එන අමුත්තන්ට ඔහු මෙසේ කදිම උපදෙසක් ද දෙයි.

‘මේ අගනුවරට එන අමුත්තන් මතක තබා ගත යුතු කරුණක් ද විය. එනම් කිසිවකුට තේ කෝප්පයක්, සුරුට්ටුවක් පමණවත් ලැබිය හැකි පොදු තැනක් එහි නො වූ බව ය. මයිල හයක් දුර එරගමින් මොබ එබඳු තැන් නුවූයෙන් පැමිණෙන අමුත්තන් වුවමනා සියල්ල ගෙන ආ යුතු විය’.ʼ

එවක සැතපුම් දහය පහළොව ගෙවා දමන අගනුවරට ආ යුත්තේ පා ගමනිනි. පා ගමන අපහසු නම් වැල් පුටුවක බාවා තඩලාගෙන එන්නට ද පිළිවන. එහෙත් ගතේ අමාරුකම් ඇති අයත්, යමක් - කමක් අත මිටේ ඇති අයත් එවුණේ බර කරත්තවලිනි. ඒ මහානාම ගුරුන්නාන්සේ දමන සිටි (1948) කාලයේ තත්ත්වයයි.

මහානාම ගුරුන්නාන්සේ හතළිහ දසකයේ අග අවුරුදු දෙකේදීත්, පනහ දසකයේ මුල් භාගයේත් දුටු දමන අගනුවර ආණ්ඩුවේ ගොඩනැගිලි ආදිය, මා එහි ගිය හැට දසකයේ මැද දක්වා ද ඉනුදු දස වසරක් ඉකුත්වන තෙක් ද ශේෂ ව පැවැතියේ ය. දමන ඉස්කෝලය (අද තිබෙන මහා විද්‍යාලය නොවේ.) ගොඩනඟා තිබුණේ රවුම් ලී කණු සිටුවා ඒ මත තැනූ වහලයට පොල් අතු හා ඉළුක් සෙවිල්ලක් කර, කොට වරිච්චි බිත්තියෙන් බිමට රැකවල් දීමෙනි. තම ඉස්කෝලේ කලක් ලොකු ගුරුන්නාන්සේ ලෙස සිටියේ ‘මහානාම ගුරුන්නාන්සේʼ’ යැයි වෘද්ධතර අසල්වාසී කිහිප දෙෙනක් මට ගර්වයෙන් පැවැසූහ. ඒ ගර්වය ඔවුන් ද ලොකු ගුරුන්නාන්සේගේ ගෝළයන් වූ නිසා වන්නට පිළිවන.

‘දමන’ʼ ගම එක්ගල්ඔයෙන් දෙකට බෙදී කොටසක ආණ්ඩුවේ ගොඩනැගිලිත්, අනෙක් කොටසේ ගම්වාසීන්ගේ පැල්පත් නිවාසත් තිබෙන මහානාම යුගයේ ඇඳි සිතුවම වුවත් දැන් ගම දෙකට බෙදා ගලා බසින්නේ සේනානායක සමුද්‍රයෙන් පිටත් වුණු මහ ජල කඳක් රැගත් ගල්ඔය ව්‍යාපාරයේ දකුණු මහ ඇළයි. පෙර පරිදි ම අද ද යටිපළාතේ මහ නගරය ‘දමන’ʼ ම වන්නේ ය. ඊට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්, පොලීසියක්, මහා විද්‍යාලයක්, පර්යන්ත රෝහලක් නා නා දෑ විකිණෙන කඩ පොළක් පැමිණ තිබේ. මහල් - දෙමහල් ගොඩනැගිලි ය. ගුරුන්නාන්සේ දුටු සියයක් - දෙසියයක් වූ යටි පළාතේ ජනගහනය දැන් දහස් ගණනින් වැඩි වී ඇත. පරණ උසාවිය, ඉස්කෝලය, කෝරාළගේ රාජකාරි කාර්යාලය, තුබුණු තැන වෙනත් ගේ දොර ඉදි වී තිබේ.

එදා දමනින් බෙදුණු රෝද පාරක දුර සැතපුම් දහය දොළහකින් සීමා වුව ද දැන් දමන හරහා පරිසරය දෙවනත් කරමින් යා හැකි වාහන වෙනුවෙන් සෑදුණු පෙර නිමි තාර මිශ්‍රණ (කාර්පට්) ඇති රූ ද්විත්ව මාර්ග ඉදි වී තිබේ. අම්පාර නගරයේ සිට එරගම හරහා හිඟුරාන කුඩා නගරයට හෝ මුවංගල හරහා හිඟුරාන නගරයට හෝ එන මහා මාර්ග දමනට පැමිණෙන විට ගෙවන දුර සැතපුම් දහයකි, දොළහකි. ඒ මහා මාර්ගය පරණ දමන ඉස්කෝල හන්දිය පසු කොට අම්බලන්ඔයට පැමිණ එතන දී දෙකට බෙදී එකක් එක්ගල්ඔය, කොටාගොඩ, වඩිනාගල පසුකොට මොනරාගල දිස්ත්‍රික්කයට ඇතුළු වී සියඹලන්දූව (සුද්දන්ගේ සියඹලාණ්ඩුව) නගරයේ දී පොතුවිල් මාවතට එකතු වේ. අනෙක? අනෙක අපේ මහානාම ගුරුන්නාන්සේ කිවූ පරිදි රෝද පාර වෙනුවට මහ මාවතක් තැනී මඩවළලන්දටත් එතැනින් තිඹිරිගොල්ල පසුකොට තොට්ටමට ළඟා වේ. බර කරත්තයේ නැගී පන්සලේ පින්කම බලන්නටත්, උත්සවශ්‍රීය ලබන්නටත් මහානාම ගුරුන්නාන්සේ පන්දම් විලක්කු එළියෙන් ආ තොට්ටම දැන් තරමක නගරයකි. පාර එතැනින් ද නො නැවැතී තරමක මාර්ගයක් ලෙස කැලෑවට ඇතුළු ව බක්මිටියාව, හුළං නුගේ පැරැණි ගම් පසු කරමින් ලාහුගල දී පොතුවිල් මහා මාර්ගයට ම එකතු වේ. ගෙවන දුර සැතපුම් තිහකට මඳක් වැඩි ය.

අපේ කතානායක මහානාම ගුරුන්නාන්සේ දමන ඉස්කෝලේ සිටින අවධියේ ගිය තවත් ගමන් කිහිපයක් ගැන මට කියා දුන්නේ කලක් පහළලන්ද ඉස්කෝලයේ ඉගැන් වූ දැන් විශාමික විදුහල්පතිවරයකු වූ සි. රා. ගුණතිලක මහතා ය. ඔහු ද ‘මායාරංජන්ʼ’ ගේ තොරතුරු ඔස්සේ තොට්ටම දක්වා ගොස් තිබේ. දමන සිට බර කරත්තයට නැඟී රෝද පාර ඔස්සේ යන මාහානාම ගුරුන්නාන්සේ අලහේන වැව ළඟට එයි. එතැනින් වරාලන්ද, මඩාන හා මඩවළලන්දට පැමිණේ. මඩවළලන්දේ පැරැණි පාසලකුත් පන්සලකුත් ගම්සභා ළිඳකුත් තුබුණු ඒ කාලේ හැටියට දියුණු - පවුණු වූ ගමකි. අපේ විශ්‍රාමික සි. රා. ගුණතිලක උන්නැහේ ඉගැන්වීම කළේ ඒ පාසලේ ය.

මඩවළලන්ද පසු කළ විට හමුවන්නේ ‘තොට්ටම’ʼ ය. එකල තොට්ටම පැරැණි ගමේ ගෙවල් විස්සක් පමණ ද පංසලක් හා පාසලක් ද තිබිණි. ගමේ සෑම මන්දිරයක ම වහළට සෙවිල්ලා තිබුණේ ඉලුක් ය. බිත්ති වරිච්චි මැටියෙන් නිම විය. තොට්ටම ගුරුන්නාන්සේගේ සිත් ගත් තැනකි. වරක් හේ එහි පන්සලේ පින්කමකට යන්නේ ය. තවත් වරෙක ගම ගෙදරක තොවිලයක් නටනු දකින්නට යන්නේ ය. දැන් තොට්ටම ‘මහානාගපුරʼ’ ලෙස නම් ගොත් සකසාගත් ‘දමනʼ’ යටිගම්පත්තුවේ උප නගරයක් යැයි අපේ සි. රා. ගුණතිලකයෝ මා සමඟ පැවැසූහ.

දමන මූලස්ථානය කොට ගෙන අවට හාත්පස කැලෑගම් ද කඳු-ලඳු-වන-ඇළ-දොළ-ගංගා තරණය කරමින් සංචාරයේ යෙදුණු මහානාම ගුරුන්නාන්සේට පාදාගොඩ ඉස්කෝලයට මාරුවක් ලැබීම අපට වාසියක් වන්නේ ඔහුගේ බොහෝ ලියමන් ඒ කාලයට අයත් වන නිසා ය. දමන සිට සැතපුම් හත-අටක් බස්නා අත පිහිටි ‘පාදාගොඩ’ රජයේ මිශ්‍ර පාඨශාලාව’ දිගාමඬුල්ලේදී ඔහුට ලැබුණු කදිම සේවා ස්ථානය යි. දමන සිටි කාලයේ ද ඉඩක් ලද වහා ම ඔහු පාදාගොඩටත් එතැනින් වෙනත් ගමකටත් යන්නේ ය. දැන් මේ ලැබුණු ‘පාදාගොඩ’ මාරුව එවැනි ගමන්-බිමන්වලටත් ලියන්නට කියන්නටත් හොඳ ම තැනක් වූවාට සැක නැත.

‘කුප්පියක්’ පත්තු කර ගන්නා ගුරුන්නාන්සේ එළිවෙන ජාමය වෙනකල් ලියන බව, කරුණාවා - පාදාගොඩ කරුණාරත්න - වරෙක කියා තිබුණා මට මතක ය. හෙතෙම එවක මහානාමයන් සමඟ බර කරත්ත සංචාරයේ යෙදුණු හීන් කොලු ගැටයෙකි. ‘ලියන්නට නම් හිතන්නට ඕනෑ’ යැයි ඇතැමුන් කියන පදය මහානාම ගුරුන්නාන්සේට අනුව වෙනස් වන්නට ඕනෑ ‘ලියන්නට නම් ඇවිදින්නට ඕනෑ’ යනුවෙනි.

පාදාගොඩ ගම පිහිටා ඇත්තේ එදා මෙන් ම අද ද ගල්ඔයේ අතු ගංගාවක් වූ පල්ලන්ඔය අයිනේ ය. ජනප්‍රවාද අනුවත්, අපේ ගුරුන්නාන්සේ කියන හැටියෙනුත් ඒ ගම නිර්මාණය වන්නේ වර්ෂ 1818 සුද්දන්ට විරුද්ධ කැරැල්ල පැවැති සමයේ ය. සුද්දන් විසින් නිර්දය ලෙස මැඩ පැවැත්වුණු එහි මුල් සමයේ සිටියවුන්ට මහත් හිසරදයක් වූයේ ඌව වෙල්ලස්සෙන් සටනට පැමිණි ‘විදින්නන්’ හෙවත් දුනුවායන් ය. කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ගම් දනව් ගිනිලමින් බව-බෝග විනාශ කරමින් මිනිසුන් පමණක් නොව ඇති කරන සතුන් පවා මරා දමමින් කෙරුණු මහා සංහාරයට බියෙන් නැගෙනහිර බින්තැන්නේ හා දිගාමඬුල්ලේ වනයට රිංගා පණ බේරාගත් මිනිසුන් ටික දෙනකු විසින් ඒ ගම පිහිටුවා ගනු ලැබිණි.

මහානාම ගුරුන්නාන්සේ තම කොලු-කෙල්ලනට අකුරු කරවූ ද, ‘රබන්’ වැනි අසරණයන්ට සරණට සිටියා වූ ද තමන්ගේ නිල නිවාසය වූ ද පොල් අතු සෙවිලි පාසල දැන් දකින්නට නැත. එය තිබුණේ ගම කෙළවර පල්ලන්ඔය දොළ මායිමේ ය. දැන් ඒ බිම පරණ පෝඩියාරේගේ මුනුපුරකුට අයිති ව තිබේ. වර්තමානයේ අලුත් පාසල තරමක් දුර ‘පහළලන්ද’ නම් ගම් ගොඩැල්ලෙහි ය. එදා පහළලන්ද - පරණ මුම්මාරි - එදා ‘අලි බොට්ටුන්ට’ පුස්සන්ඩʼ ගිය ඉලුක්තලාව හා මහ බැදිකුට්ටිය දැන් එහි දක්නට නැත. එ බිමට හමුදා බළ ඇණි පුහුණු මධ්‍යස්ථානයක්, දොඩම් වගාවක්, පාසල මෙන් ම ගම් ගෙවල් දෙතුන් සියයකුත්, හය-හත් සියයක ජනගහනයකුත් පැමිණ තිබේ. ඒ එසේ වූයේ අපේ ගුරුන්නාන්සේ කියන පරිදි ම ඉඟිනියාගල ජලාශය බැඳී දකුණු මහ ඇළ ඒ බිම්කඩ මැදින් ගමන් ගත්තාට පසුව ය.

පාදාගොඩ පොල්අතු මඩු පාසල දොළ ඉවුරු මාරු කරන විට රට උළු වහල - ගඩොළු බිත්ති සැදි අරුමැසි ගොඩනැගිල්ලක් බවට පත් වුව ද පරණ පාසලේ තුබුණු පත-පොත වෙනස් කර නැත. මෑතක එයින් දෙක-තුනක් දැකීමේ වාසනාව මට ලැබිණි. අපේ ගුරුන්නාන්සේ බොහෝ සටහන් යෙදූ ‘ලොග්’ සටහන් පොතක් ද ඒ අතර විය. ඒ සටහන් වර්තමාන නව කතාවකට වඩා රසවත් බව අර්ථවත් බව කියවා බලන්නකුට වැටහෙනවා ඇත. අපේ අධ්‍යාපන ලොක්කන් ඒ සටහන් තෝරා ගෙන වර්තමානිකයනට කියවන්නට දිය යුතු යැයි මට සිතේ.

පාසලට නිවාඩු දිනයක ගුරුන්නාන්සේ වඩිනාගල බලන්නට පිටත් වන්නේ තවත් හතර පස් දෙනකු ද සමගින් බර කරත්තයෙනි. එදා කරත්තය ඇරියේ ‘ගුණරත්න කොලුවා’ ය. ඔවුන් කොක්නහරට එද්දී (ස්පිට්ල්ගේ ‘කොකුන්හර’) එහි පෙර තිබුණු ‘ඉළුක් මඩු පාසලත්’, ගමේ පැල්පත් ටිකත් පාළුවට ගොසිනි. තුබුණේ ම ගෙවල් දෙකකි. පාදාගොඩ සිට කොක්නහරට දුර මයිල දෙකකි. දැන් කොක්නහර සරු සාර ගමකි. එයට ජලය සැපයෙන්නේ ‘ජයන්ති’ නම් වැවෙනි. කොස් දෙල් පොල් පුවක් පමණක් නොව මෙරට පිටිසර ගමක තිබෙන හැම ගහ - වැලක් ම එහි සරුවට වැවී තිබේ. පාසල ද උසස් තත්ත්වයෙන් පවතී. ජනගහනය දහසකට වැඩි මිස අඩු නො වේ.

හිඳෙහි දේවාලයක් නො වූ නමුත් ‘දේවාලේ හිඳෙහි’ ඇත්තේ නිකම්ම පූජා පවත්වන තැනක් නො වේ. එය දෙවියන් වැඩ හිඳිනා දේවාලයක් සහිත තැනකි. දැන් ගල්කන්ද නමින් හඳුන්වන මහා ගල් පර්වතයක් සහිත පැරැණි දේවාලේහිඳට මහානාම ගුරුන්නාන්සේ යන්නේ වඩිනාගලට යන ගමනේදී ය.

‘හිඳෙන්’ කිවුලේගමට ද එතැනින් වඩිනාගලට ද ‘කරත්තය’ අරින්නට ගුරුන්නාන්සේට ලොකු ඕනෑමක් තිබුණේ තමා දිගාමඬුල්ලට ආ පළමු ගමනේ අක්කරපත්තු පන්සලේදී හමු වී දමන තෙක් ම පැමිණි, වඩිනාගල හාමුදුරුවන් දකින්නට හා උන් වහන්සේ කී පැරැණි පන්සල හා යෝධ ඇළ ද නරඹන්නට ය. පාදාගොඩ සිට මයිල අටක් ගෙවා කිවුලේගමට ද එතැන් සිට මයිල දෙකක් ගෙවා වඩිනාගලට ද ඒ පිරිස ගියෝ අලි-කොටි-වලසුන් ගහන මහ වනය මැදින් වැටී තිබුණු රෝද පාර ඔස්සේ ය. යෝධ ඇළ නරඹා වඩිනාගල කන්ද මඳක් තරණය කර ඒ ඒ ගම්වල වසන පවුල් තුන හතරේ මිනිසුන් ද හමු වී උන්ගේ දුක සැප ඇසින් ද නුවණින් ද විමස-විමසා අපේ ගුරුතුමා ආපසු පාදාගොඩට එන්නේ ‘කොස්සපොළ’ දුෂ්කර ගමන යෑමට සිතා ය.

ඉඟිනියාගල වැව බැඳුණු පසු එයට යට වේ යැයි සැලකූ පැරැණි ගම් කිහිපයකි. දඹදෙණිය, කෙහෙල්පොත, අන්නාසිවත්ත, කළුගල්කැටිය, කොස්සපොළ ඉන් ප්‍රධාන වේ. කොස්සපොළ ඉනුදු ප්‍රධාන වූයේ එහි ගෙවල් දහයක් දොළහක් ද පාසලක් ද තිබීම නිසා ය. ගමට ජලය ලැබුණේ ගල්ඔයේ අතු ගංගාවක් වූ ගුරුළු ඔයෙනි. පාදාගොඩ සිට කොස්සපොළට දුර මයිල දසයෙකි.

කොස්සපොළ ගුරුතුමාගේ වනගත ජීවිත කතාව අපේ ‘කතාකාරයා’ පවසන්නේ මහත් සංවේදීව ය. එනමුත් ඉන් ධ්වනිත කොට ඇත්තේ ඔහු තුළ දැකිය හැකි උපේක්ෂිත බව හා අධිෂ්ඨානශීලී බව ම ය. ‘ගල්ඔය’ ඉඟිනියාගලින් හරස් වී වැව බැඳුණු පසු කොස්සපොළ ඇතුළු සියලු ගම් ජලයට යට විය. ඒවායේ යම් ශේෂයන් සමහරක් තවමත් - එනම්: වසර හැට හතක් පමණ ගත වූ පසු ද - වැවේ වතුර අඩු වූ අද ද දැක හඳුනාගත හැකි ය. වැවට යට වුණු කොස්සපොළ ඇතුළු ගම්වැසියන් සඳහා ගල්ඔය ව්‍යාපාරයේ පළමු ගම් දෙක - වාවින්න හා පරගහකැලේ - වෙන් කෙරුණු අතර, එක් පවුලක් සඳහා ගොඩ ඉඩම් අක්කර එක-දෙක බැගින් ද කුඹුරු අක්කර හත බැගින් ද ලබා දී තිබේ.

මේ අවුරුද්දේ මුල අම්පාර නගරයට ගිය මට කොස්සපොළ දක්වා දිවෙන බස් රථයක නාම පුවරුවක් දක්නට ලැබිණ. පරණ කොස්සපොළ දැන් වැව් පතුලේ බැවින් මේ අලුත් කොස්සපොළත් එහි ගම්වැසියනුත් දකින්නට දිනක එහි ගියෙමි. ගම ගැන තොරතුරු ද ගමට යන්නට පහසුකම් ද මට සලසන ලද්දේ උදය හා ප්‍රියංකා විජේරත්න නමැති ගුරු යුවළක් විසිනි. ඔවුහු ද අපේ මහානාම ගුරුන්නාන්සේ ඉගැන්වූ පාසලක දැන් ඉගැන්වීම් කරති. දැන් අලුත් කොස්සපොළ වාසය කරන්නෝ පරණ කොස්සපොළ ගමින් පැමිණි අයගේ තුන්වන පරම්පරාවට ගැනෙන්නෝ ය. අලුත් කොස්සපොළට ද කුඩා පාසලක් වෙතත් එහි සිටින්නේ මහානාම ගුරුන්නාන්සේගේ මිතුරු ගුරු පරපුරේ කෙනෙක් නම් නො වේ. අලුත් කොස්සපොළ පරගහකැලේ ජනපදයේ කොටසක පිහිටුවා ඇති සරු ගම් පියසකි.

මහානාම ගුරුන්නාන්සේ තම අඹු දරුවන් තනිකර දමා ගම්පහ පැත්තේ සිට එකල දිගාමඬුල්ලේ වන අරණට පිවිසෙන්නේ ජීවිතය ගැන කලකිරී නො වේ; සතුරු කරදර නිසා ද නො වේ. ලැබෙන සල්ලිය-බාගයට කරන්නට දෙයක් නැතිව ඒවා වියදම් කරන අදහසින් සහචරයන් පිරිවරා එවක දිගාමඬුල්ලේ වූ හොඳ ම වාහනය - බර කරත්තයට - ගාස්තු දී ආහාරපාන සූදානම් කරගෙන ‘රස්තියාදු’ ගමන් යන්නට ද නො වේ. ඔහුගෙන් ලියැවුණු පත-පොත කියවන කෙනකුට ඒ චරිතයෙහි දක්නට ලැබෙන සුවිශේෂතා ගොන්නක් හඳුනා ගැනීම අපහසු නො වේ.

දිගාමඬුල්ලට පා තැබූ පළමු දිනයේ සිට ම එතැනින් නික්ම යන තෙක් ම තමනට මුණගැසුණු පරිසරයේ ගහකොළ, සතා-සීපාවා, කඳු-ලඳු, ගංගා, ඇළ-දොළ, පස, හිරුඑළිය, සඳ-තරු ගැන කදිම සටහන් තැබුවේ ය. මනුස්සයන් තුළ කුල-මල, ජාති, ඇති-නැති, කළු-සුදු, උස්-මිටි භේද පැවැතිය ද ඒවා තඹයකට නොසලකා සමාන පරිදි පයුරු-පාසානම් පැවැත්වූයේ ය. මේ අනුව නම් මහානාමයෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සමාජ විද්‍යාඥයෙකි.

ඈතින් සිට කොතනින් හෝ ලබා ගන්නා තොරතුරු කිසිවක් මත ලිවීමක් හුරු නැතියෙන් අධ්‍යයනයෙහි, පර්යේෂණයෙහි, ගවේෂණයෙහි යෙදෙමින් ම හේ පත-පොත ලියා පළ කළේ ය. භෞතික පරිසරය විවරණය කරද්දී ඔහු භූ විද්‍යාඥයෙකි; සත්ත්ව විද්‍යාඥයෙකි. මිනිස් ක්‍රියාකාරකම් විග්‍රහයේදී අර්ථ ශාස්ත්‍රඥයෙකි; කෘෂි විද්‍යාඥයෙකි; සමාජ විද්‍යාඥයෙකි. විටෙක ඔහු උපස්ථායකයෙකි; වරෙක වෙදැදුරෙකි. ගී ගයන, කවි ලියන, නැටුම් නටන, සිතුවම් අඳින, කතා ලියන ඔහු තුළින් මතුව පෙනෙන්නේ සෞන්දර්යවාදියකුගේ ලකුණු ය. ඉතිහාසයට - පුරාවිද්‍යාවට ඔහුගේ සෙනෙහස අසීමිත ය. ජීවිතය පරදුවට තබා පුරාවිද්‍යා නටබුන් සොයන්නට බලන්නට දුරු කතර ගමන් කළේ ය.

ලේඛන කලාවේදී මහානාම ගුරුන්නාන්සේගේ බස් ආර රසයෙන් ගුණයෙන් අනූන ය; ව්‍යංග්‍ය, ධ්වනි, උභය ශ්ලේෂාර්ථයෙන් ගම්භීර ය. එහෙත් ඒ තුළ ම සරල බවත්, නිරහංකාර බවත් ගැබ්කර ඇත්තේ කෙසේ දැයි සිතා ගැනීම අපහසු ය. ඒ අයුරින් සලකා බලතොත් ඔහු කදිම භාෂා ශාස්ත්‍රඥයෙකි.

‘මහානාම ගුරුන්නාන්සේ’ සතු වියත් බවෙහි උපත, දැනුම සොයා ගවේෂණයෙහි යෙදීමේ අභිරුචිය පූර්වජන්මයෙන් ලද එකක් විය හැකි දැයි මම වරක් මට සිංහල ඉගැන්වූ මාදොළුවාවේ කරුණාතිලක වැලිකල ගුරුතුමාගෙන් විමසා සිටියෙමි.

‘එහෙම දේකුත් ඇති. ඒත් ප්‍රධාන කාරණය ඒ නෙවෙයි. එදා ගුරුවරයා වචනයේ අර්ථයෙන් ම දැනුම සොයා සමාජයට බෙදා දුන් කෙනෙක්. ඒ ගුරුවරයා හැඩ ගැන්වූ ගුරු අභ්‍යාස ක්‍රමය මගින් බිහිවුණේ අදාළ සකලවිධ අංගයන්ගෙන් පූර්ණ වූ ශක්තිමත් ගුරුභවතෙක්. පෞද්ගලික කැප වීම් ඒ ගතිය තවත් ඔපවත් කළා. පිරිසුදු සුදු ඇඳුම, සමනල උඩුරැවුල ආභරණයක් වන්නට ඇති. ඒ යුගයේ සිටි බොහෝ නොව සෑම ගුරුවරයකු ම ඒ කොටසට අයත්.’ වර්තමාන දියුණු සමාජයට මිනිසුන් සකසා ඔසවා තැබුවේ ඔවුන් මහානාම ගුරුන්නාන්සේ ද ඒ දම්වැලේ සවිමත් පුරුකක් වන්නේ ය.

බලධරයන්ගේ අණ වෙනස් කරනු සඳහා ශීර්ෂයත්, කශේරුවත් යන දෙක ම බිමට නමා ගෙන යාදිනි ගයනු වෙනුවට, ඒ දෙකම කෙළින් තබා ගෙන ගුරුකම වරමක් කර ගනිමින් වනය ය, ගම ය, නගරය ය වෙනසක් නොතකා නොසැලී සේවයෙහි යෙදෙන අතර ම තමා අත්දුටු පරිසරය රසවත්ව හරවත්ව ගුණවත්ව ලියමන් මඟින් අනාගතයට ශේෂ කොට තැබූ අපේ රටේ පැරැණි ගුරු පරපුර ඉහළ අහසේ තරු රැසක් නම්, ‘මහානාම රාජපක්ෂ’ හෙවත් අපේ ‘මායා රන්ජන්’ ගුරුන්නාන්සේ ද එහි දීප්තිමත් තාරකාවක් සේ බැබැළෙන්නේ ය.

Comments