වරාය නගරය බාගයක් ගොඩ | Page 3 | සිළුමිණ

වරාය නගරය බාගයක් ගොඩ

 යටත් විජිත පාලන සමයේ සිට කොළඹ නගරය මුල් තැනක් ගත්තේ රටේ වරාය නිසා ඇතිවන අන්තර්ජාතික සබඳතා ගොඩ නංවා ගැනීමට හැකි වන නිසයි. වාණිජ නගරයක් ලෙසින් කොළඹ නගරය එදා සිටම මුල් තැනක් ගැනීමට හේතු සාධක වූයේද කොළඹ වරායයි. යටත් විජිත යුගයෙන් පසුව කොළඹ වරායේ යම් සංවර්ධනයක් ඇති වූවානම් ඒ මෑත දශක දෙක තුන තුළය. එසේ වුවත් ඒ සංවර්ධන කටයුතු අතුරින් දැනෙන සංවර්ධනයක් වූවායැයි කිව නොහැකිය. වරායටම යාබඳව වරාය මුල් කරගත් වරාය නගරයක් ආරම්භ කිරීමට පසුගිය කාලයේ කටයුතු කළත් එහිදී ඇති වූ විවිධ අක්‍රමිකතා මෙන්ම රටට අවාසි වූ ගිවිසුම් ගත කරුණු නිසා මේ කටයුතු අතර මඟ ඇන හිටියේය. ගිවිසුම් යළිත් 2016 වසරේදී අලුත් කරන ලදී. ඒ අනුව නව ගිවිසුම් වගන්ති යටතේ වරාය නගරය හෙවත් ‘පෝට් සිටි‘ වැඩ කටයුතු යළි ආරම්භ කරන ලදි. පෝර්ට් සිටි ඉඳි කිරීම් භාරව කටයුතු කරනු ලබන්නේ චීන රජයට අයත් සමාගමක් වන අතර පසුගිය කාලයේ වැඩ කටයුතු නතර වීම නිසා සමාගමට සිදු වූ පාඩුව පවා නොතකා සමාගම යළිත් වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් මේ සම්බන්ධව චීන රජයත් ආදළ සමාගමත් සමඟ ඇති කර ගන්නා ලද සුහදතාවය නිසාය.

දැන් යළිත් වරාය නගරයේ වැඩ කටයුතු ආරම්භ වී ඇති අතර මේ වන විට වරාය නගරයේ බිම් සකස් කිරීමේ හෙවත් මුහුද ගොඩ කර වැලි පිරවීමේ වැඩ කටයුතු ඉතා වේගවත්ව සිදු වේ. මේ වන විට වැලි පුරවන නෞකා 3ක් මුහුදු වැලි පොම්ප කර මුහුදු තීරය ගොඩ කිරීම සඳහා යොදවා ඇති අතර මුහුදේ කිලෝමීටර් 7.5ක් පමණ දුර සිට මේ වැලි පුරවා ගෙන පැමිණීමට මේ යාත්‍රා කටයුතු කරමින් සිටී.

වරාය නගරයේ සමස්ත පිරවීම් ප්‍රමාණය වන හෙක්ටයාර් 269න් හරි අඩක්ම මේ වන විට පුරවා ගොඩ කර අවසානය. ඒ සඳහා යොදවා ඇති යාත්‍රා තුන මෙන්ම මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරනු ලබන චීන සමාගම විසින් රුපියල් කෝටි 88ක් වටිනා මේරට ඇති විශාලතම කැටපිලර් යන්ත්‍රයද මෙරටට ගෙන්වා ඇත. එම කැටපිලර් යන්ත්‍රය මඟින් මුහුදේ ගැඹුර පවා නිරීක්ෂණය කළ හැකි වේ. මේ නිසා බහුවිධ කටයුතු කළ හැකි මේ කැටපිලර් යන්ත්‍රය මෙන් තවත් යන්ත්‍රයක් ඉදිරියේදී ගෙන්වීමට සැලසුම් කර ඇති අතර ආසියාවේ ඇති විශාලතම කැටපිලර් යන්ත්‍රයක් ලස මෙය හඳුන්වා ඇත.

වරාය නගරයේ වත්මන් සංවර්ධන කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , වරාය නගරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු වරාය නගරයේ ව්‍යාපෘති චීන චෙක් පෝර්ට් සිටි කලම්බු (ප්‍රයිවට් ) ලිමිටඩ් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ වැන් හාඕ යන මහත්වරු ඇතුළු පිරිසක් පසුගියදා මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමඟ වරාය නගරයේ ඉඳි කිරීම් පරීක්ෂා කරන ලදී.

ශ්‍රී ලංකාවේ සිතියම වෙනස් කරනු ලබන මේ වරාය නගරය මෙරට විශාලතම සංවර්ධනයක් බව බොහෝ ෙදනකු නොදනී. මේ හරහා රටේ සිදුවන අන්තර්ජාතික සබඳතා හා ආර්ථිකය ඉහළ යාම මෙයින් සිදුවන වෙනස්කම් අතර ප්‍රධානයි. වරාය නගරය යනු ශ්‍රී ලංකාවට අලුතින්ම ඉඳිවන බිම්කඩකි. මුහුද ගොඩ කරමින් සිදු කරනු ලබන සංවර්ධනයකි. මේ බහුකාර්ය යෝජනා ක්‍රමය හරහා මෙරටට මේ වන විටත් ඍජු හා වක්‍ර ලෙසින් රැකියා 10000කට අධික ප්‍රමාණයක් හිමිව තිබේ. වරාය නගරයේ මුළු බිම් ප්‍රමාණයෙන් චීන සමාගමට බදු දෙනු ලබන්නේ හෙක්ටයාර් 116කි. ශ්‍රී ලංකාවට හෙක්ටයාර් 62කි. එමෙන්ම පොදු පහසුකම් උදෙසා හෙක්ටයාර් 91කි. මේ වරාය නගරයේ සුපිරි රෝහලක් මෙන්ම සුපිරි පාසලක්ද ඉදිවන අතර විහාරමහාදේවි උද්‍යානය මෙන් දස ගුණයකින් යුතු අලංකාර සුපිරි පහසුකම් සහිත උද්‍යානයක්ද ඉඳි වේ. මෙහි විශේෂත්වය වන්නේ එම උද්‍යානය මේ බහු කාර්ය ව්‍යාපෘතිය යටතේ පළමුවෙන්ම ඉඳි කරනු ලබනු ව්‍යාපෘතිය වීමයි. ඒ හරහා වරාය නගරයට ඇති ඉල්ලුම වැඩි කරලීමට අපේක්ෂා කෙරේ.

මේ වරාය නගරයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියානු සාගරයේ කලාපීය වාණිජ මධ්‍යස්ථානයක් බවට බස්නාහිර පළාත සහ කොළඹ නගරය සංවර්ධනය කිරීම බව ඇමැති චම්පික රණවක මහතා පෙන්වා දෙයි. නගර කේන්ද්‍ර කර ගනිමින් වෙළෙඳාම හැසිරවීම ලෝක පුවණතාවක් නිසා කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශය තුළ එම කටයුතු සිදුවන බැවින් වරාය නගරය බෙහෙවින් වැදගත් වන බවත් ඇමැතිවරයා පවසයි.

2018 වසරේදී පළමු අදියරේ සංවර්ධන කලාපය නම්කර රජයේ විධිවිධානවලට යටත්ව තරගකාරී පදනමෙන් මෙහි භූමි භාගයන් බදු දීම සඳහා වෙන්දේසි කිරීමට කටයුතු යොදන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 2019 වසර වන විට මේ පිරවීම් සියල්ල අවසන් වනු ඇත. පිරවීම් සඳහා පමණක් වැය කරනු ලබන මුදල රුපියල් බිලියන 1.4කි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත්, බස්නාහිර පර්යන්තයක් ඉදිරියේදී ගොඩනැගෙන අතර ඒ සමග කොළඹ වරායේ ක්‍රියාකාරීත්වය කිහිප ගුණයකින් ඉහළ යාමට නියමිතය. එසේම වරාය නගරයට පහළින් ඇති මැරීනා කලාපය මගින් සංචාරක ව්‍යපාරය දිරි ගන්වන නාවික කේන්ද්‍රයක් ඉදිකිරීමටත් බලාපොරොත්තු වේ. එසේම කොල්ලුපිටියෙන් පහළට දෙහිවල දක්වා මුහුදු තීරයත් ඊට සමාන්තරව සංවර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැලණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මගින් දිවෙන මහාමාර්ගයක්ද මේ සමඟම ඉදිකෙරේ. එම මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ ‘මැරයින් ඩ්‍රයිව්‘ (මුහුදු නව මාවත) දක්වා ඉඳි කිරීමට නියමිතයි.

මේ නගරයේ කසළ කළමනාකරණය, ජලය සහ විදුලිය සැපයීම වැනි යටිතල පහසුකම් නගාසිටුවීම සම්බන්ධව රජය හා චීන සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදනු ලැබේ. විශේෂයෙන්ම මේ සඳහා නව ජලාශ ව්‍යාපෘති දෙකක් ඉඳි කිරීමට යෝජිතව ඇති අතර මෙගාවොට් 300ක ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් වරාය නගරය තුළම ස්ථාපනය කෙරේ. මේ සංවර්ධන කටයුතු වසර 2040 දක්වාම සිදු කෙරෙන අතර වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් වෙනම පරිපාලන නගරයක් ලෙස පවත්වාගෙන යාමට ද පියවර ගනු ලැබේ.

මේ නගරයේ ඕනෑම රටක ආයෝජකයකුට ආයෝජනය කළ හැකි වන අතර එමඟින් අන්තර්ජාතික සබඳතාච වඩාත් තහවුරු වනු ඇත.

මේ සඳහා මුහුදු වැලි ලබා ගනු ලබන්නේ ගොඩබිම සිට මුහුදේ කිලෝමීටර් 7.5ක දුරක සිට වන නිසා වෙරළ ඛාදනය හෝ ධීවර කර්මාන්තයට හෝ කිසිදු ගැටලුවක් ඇති නොවන නමුත් ඇතැම් පිරිස් විසින් මනංකල්පිත බිල්ලන් මවා පානා බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ මේ වරාය නගරය මූල්‍ය නගරයක් පමණක් බවට පත් කර නිශ්චිත අරමුණකින් තොරව මෝටර් රථ ධාවන තරග කැසිනෝ වැනි පිරිසක් පමණක් පොහොසත් කරනු ලබන ව්‍යාපෘතියක් බවට පත් කර තිබුණත් මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවේම සංවර්ධනයේ එක් කොටසක් බවට එය පත් කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම පවසයි.

ඡායාරූප- වාසිත පටබැඳිගේ
තාරක වික්‍රමසේකර

 

Comments