අනුන්ගේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ අක්කා න‍ඟෝ | Page 2 | සිළුමිණ

අනුන්ගේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ අක්කා න‍ඟෝ

 බීමත් රියැදුරන් හා නොසැලකිලිමත්ව රිය පදවන්නන් නිසා වසරකට අහිමි වන ජීවිත ගණන අතිවිශාලය. වාහනයේ ඇක්සලේටරය කුමන ආකාරයේ කෙනෙකු හෝ තදින් පෑගුවහොත් වාහනය පිම්මේ වේගයෙන් ඉදිරියට ඇදී යනු ඇත. එය කිසිදා වීරකමක් නොවේ. වීරකම වන්නේ තමන්ට අවශ්‍ය පාලනය යටතේ කිසිදු අනතුරක් සිදු ‍නොවී වාහනය පැදවීමය.

ඒත් ඇක්සලේටරය හිතුමතේ පාගන මහ මඟ ජීවිත තළා පොඩි කරන මේ මැට්ටන් හෙවත් මෝඩ රියදුරන් දැන් රට පුරා බෝවෙමින් පවතී. ආසන්නත ම සිද්ධිය වාර්තා වන්නේ අනුරාධපුරයෙනි.

අනුරාධපුරය - පුත්තලම ඒ - 4 මාර්ගයේ බුලංකුලම ප්‍රදේශයේ දි සිදුවූ දරුණු අනතුර එවැන්නකි. එළගවයින් 18 දෙනකු පටවාගත් ලොරියක් අධික වේගයෙන් ධාවනය වී එම ලොරිය ඉදිරියෙන් පැමිණි කැබ් රථයක හා යතුරු පැදියක හැපුණු අවස්ථාවේදී යතුරු පැදියේ ගමන් ගත් එක ම පවුලේ තරුණියන් දෙදෙනෙක් මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ.

ලිපිකාරිනියක් හා ගුරුවරියක්

මෙයින් එක් තරුණියක් අනතුර සිදුවූ ස්ථානයේදී ම මිය ගියාය. අනෙක් තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියාය. අනතුර සිදුවූ ස්ථානයේ ම මිය ගිය 32 හැවිරිදි ජයනි ස්වේතා මෙනෙවිය අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය ‍සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ විගණන අංශයේ ලිපිකාරිනියක ලෙස සේවය කළ කෙනෙකි. ඇයගේ බාල සහෝදරිය වන සමාධි නවෝද්‍යා 29 හැවිරිදි ය. ඇය නොච්චියාගම අඹගහවැව විද්‍යාලයයේ ගුරුවරියක වශයෙන් සේවය කරමින් සිටියාය. ඔවුන් දෙදෙනා මෙදින එකම යතුරු පැදියේ නැඟී අනුරාධපුරයට එමින් සිටියදී මෙසේ මිය ගියහ. උපාධිධාරිනියන් වන ජයනි ස්වේතා ජයකොඩි සහ සමාධි නවෝද්‍යා ජයකොඩි යන මේ අක්කා න‍‍ඟෝ නොච්චියාගම ගාලදිවුල්වැව රණෝරාවේ පදිංචිකාරියෝ වූහ.

“අනේ මගෙ සහෝදරියෝ කවරදාවත් මෙහෙම එකට යන්නෙ නෑ. එදා උදේ දෙන්නා ම එකට බයිසිකලේ ආවේ. මේ විදියට එකට ම මිය යන්නද? වෙනදාට දෙන්නා වෙන වෙන ම යන්නේ! මෙවැනි මිනීමරු ලොරිකාරයන්ට ලෝකෙ දඬුවම් ලැබෙනවා මදි...” මෙසේ කියමින් විලාප තබන මේ ගැහැනු දරුවන්ගේ සහෝදරයාගේ හඬ තවත් දින කීපයකින් කාටත් අමතක වනු ඇත. තවත් අකාලයේ මෙවැනි අහිංසක ජීවිත නොසැලිකිලමත් රියැදුරන් නිසා අනාගතයේ ද නැති වී යනු ඇත. මේ අනතුර සිදුවූ ස්ථානයේ ගහකොළ පවා කම්පා වන සෙයක් දැනේ. නිසොල්මන්ව සිටිමින් ඒ ගහකොළ අපට කියා පාන්නේ ඒ කම්පනය ද? මෙවැනි වරදවලට දැඩි නීති රීති ක්‍රියාත්මක කළ යුතුය. එසේ වන විට ඒවාට එරෙහිව අවි ඔසවා ගන්නේ ද ජනතාව ම වීම තවත් කනගාටුදායක පැත්තකි. නීති රීති තදවීමෙන් අමාරුවේ වැටෙන්නේ වරදකාරයන් මිස නිවරදකාරයන් නොවේ.

අහිංසකව පාරේ පැමිණි අය මරා දැමූ රියැදුරා කෙරෙහි කෝප වූ ප්‍රදේශවාසීහු ලොරි රියැදුරාට පහර දුන්හ. එසේ ම පෙරළුණු ලොරියට ද ගිනි තැබීමට සූදානම් වූහ. එහෙත් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පහරකෑමට ලක්වූ රියැදුරා බේරාගෙන ලොරිය ද ගිනි තැබීමෙන් ආරක්ෂා කැර තිබේ. එතැනදී ද පොලිසිය වෙත ජනතා විරෝධය එල්ල වුවත් ඒ තත්ත්වය පසුව සමනය වී තිබේ.

ලොරිය පාර හරහා පෙරැළුණු අවස්ථාවේ එහි සිටි ගවයින් ද පිටතට පැමිණ හිස් ලු ලු අත දිව යන්නට වූහ. ඔවුනට නිදැල්ලේ ගම පුරා දිව යන්නට ගැමියෝ ඉඩහසර සැදූහ. ඒ අතර ලොරියේ වේගයට තද වී අස්ථි බිඳී පාද කැඩුණු ගවයෙක් ද සිටියේය.

පොලිස් කැබ් රථය පලා ගිහින්

එහෙත් මෙහිදී තවත් විශේෂ යමක් කීමට තිබේ. ලොරිය පසුපස පැමිණි බව කියන පොලිස් කැබ් රථය මේ අනතුරු පෙළ දුටු වහා ම තම කැබ් රථය හරවාගෙන අනුරාධපුරය දෙසට ධාවනය වීමයි. මේ අවස්ථාවේ මිය නොගොස් සිටි අනෙක් තරුණිය රෝහල වෙත ගෙන යාමටවත් ඔවුන් ක්‍රියා නොකර පලා යාම පහත් ම වැඩෙකි. ලොරිය ගිනි තැබීමෙන් බේරා ගැනීම හා රියැදුරා පහරදීමෙන් ‍ගලවා ගැනීම ගැන පොලිසියට මල් මිටක් පිදිය යුතු අතර අනතුර සිදුවන විට පිටුපස්සේ තිබූ පොලිස් කැබ් රථය පලා යාම ගැන නම් ඔවුනට ගල්ගැසිය යුතුය. ඒත් මේ වන විට එම නිලධාරින් දෙදෙනාගේ සේවය වැඩ තහනමකට ලක් කැර තිබීම ගැන සතුටු වෙමු. නිසි විනය පරීක්ෂණ නැතිව ඔවුන් නැවත සේවයේ නොපිහිටුවිය යුතුය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපි අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාට කතා කළෙමු.

“ත්‍රිකුණාමලයේ සිට වැලිසරට මස් පිණිස මැරීම සඳහා ගෙන ගිය එළ ගවයින් 18ක් ලොරියේ සිටි බව දැන ගන්නට ලැබුණා. ඒත් ඔවුන්ට ඒ සඳහා බලපත්‍රයක් තිබුණා. ඒ වෙලාවේ ඒ පැත්තේ සෝදිසි මෙහෙයුමේ ගිය අපේ සැරයන්වරයෙක් හා පොලිස් රියැදුරෙක් මේ වෙලාවෙ මාර්ගයේ රාජකාරිවල හිටියා. මේ දරුණු අනතුර සිදුවුණේ සම්පූර්ණයෙන් ම මේ ලොරි රියැදුරාගේ නොසැලකිල්ලෙන්. වෛද්‍ය වාර්තා අනුව ඔහු බීමත්ව නම් ඉඳලා නෑ. ඒත් අධික වේගයෙන් රථය පාලනය කරගන්නට බැරි තරමට පදවලා. මේ අනතුර සිදු කළාට පස්සේ කැබ් රථය හරවාගෙන ආපු එක වැරැදියි. ඒකට ඒ අයගේ වැඩ තහනම් කරලා තියෙන්නෙ... මා රටේ ජනතාවට දෙන අවවාදය තමයි මාර්ගයේ නීතිවලට ගරු කරලා අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරාගෙන තමනුත් බේරිලා කටයුතු කරන්න කියන එක.”

මේ ලොරිය තරුණයන් දෙදෙනා ගමන් කළ යතුරු පැදියේ හැපෙන්නට පෙර හැපුණු කැබ් රථය අනුරාධපුර මධ්‍යම නුවරගම පළාත් ප්‍රාදේශීය සභාවට අයත් එකක් බවත් අනතුරින් රියැදුරා බේරී ඒ කැබ් රථයට හානි වී ඇති බවත් පොලිසිය පවසයි.

ලොරියෙන් ඉගිලීම

අනුරාධපුර පොලිසියේ මහත්වරුන් මහමඟදී මේ ලොරියේ බලපත්‍ර පරීක්ෂා කරන්නට වෙහෙසුණු බව ගැමියෝ කියති. ඒ සඳහා ‍ලොරිය නවත්වන ලෙස කළ සංඥාව මේ ලොරි රියැදුරා තඹේකටවත් මායිම් කැර නැතැයි කියති. ඒ නිසා ලොරිය ලුහුබැඳීමක් ද කැබ් රථයෙන් සිදු වූ බව ඇතැම් ගැමියෝ කීහ. ලොරිය තව තවත් ඉගිලෙන්නට පටන් ගෙන ඇත්තේ එතැනදීය.

මේ අහිංසක සමනළියන්ගේ මරණවලට හේතුව කාලකණ්ණි මිනිසුන්ගේ නොපැසුණු හිතුවක්කාර සිතිවිලි බව දැන් කාටත් ඒත්තු යනු ඇත.

උපාලි සමරසිංහ
ඡායාරූප - අනුරාධපුර මධ්‍යම විශේෂ 

Comments