
නුතන සමාජයේ පවතින ප්‍රධානතම මාරක රෝගය ලෙස හෘදයාබාධ හැඳින්විය හැකි ය. වර්තමානයේ දී නගරබදව කාර්යයබහුලව ජීවත්වන බොහෝ පුද්ගලයින්ට හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාව වැඩි වී තිබේ.එමෙන් ම ලෝකයේ ධනවත් රටවල්වල ද වයස් සීමාවක් රහිතව හෘද රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබේ.සෞඛ්‍ය සම්පන්න නොවු නොසැළිකිලිමත් ආහාර රටාව හේතු කොට ගෙන ඇතිවන හෘදයාබාධ තත්ත්වයන් බොහෝ විට කෙළවර වන්නේ මරණයෙනි. හෘදයාබාධ තත්ත්වයෙන් නිකරුණේ ජීවිතයෙන් වන්දි ගෙවනවා වෙනුවට හෘදයාබාධ හට ගැනීමේ අවධානමෙන් මීදීමට පියවර ගැනීම වඩාත් යෝග්‍ය වේ. හෘදරෝගියෙකු පරිස්සම් විය යුත්තේ කෙසේ ද? ඒ සඳහා භාවිතා කරන ඖෂධ වර්ග සහ පිළියම් පිළිබඳව කොළඔ ජාතික රෝහලේ හෘද රෝග ආයතනයේ හිටපු හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා පළකළ අදහස් මෙසේ ය.
හෘදයාබාධයක් යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?
සාමාන්‍යයෙන් හෘදයාබාධයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ හෘද වස්තුවේ මාංශපේශී තුවාල වීම හෝ සම්පුර්ණයෙන් ම මිය යෑමේ තත්ත්වයට ය. මාංශ පේශී මිය ගියහොත් ප්‍රබල හෘදයාබාධ තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබයි. එමෙන් ම මාංශ පේශී තුවාල වීමක් සිදු වුවහොත් සුළු හෘදයාබාධ තත්ත්වයක් වශයෙන් හඳුන්වනු ලබයි.
හෘද රෝගයක ලක්ෂණ මොනවා ද?
හෘදවස්තුව යනු සංකීර්ණ ඉන්ද්‍රියකි. හෘද වස්තුව සංවිධානය වී ඇත්තේ කපාට,හෘද මාංශ පේශීය,හෘද කිරීටක ධමනි,සහ හෘද වස්තුව ක්‍රියාකරන විද්්‍යුත් සන්නායක පද්ධතියෙනි.මාංශ පේශීවල දෝෂයක් සිදු වී ඇත්නම් පපුවේ ගැස්ම තත්ත්වය ඇති වේ. සන්නායක පද්ධතියේ දෝෂයක් සිදු වී ඇත්නම් පසුවේ ගැස්ම ඇති වී ඉන් අනතුරුව කලන්තය ඇති වේ. කිරීටක ධමනියේ ලේ ගමනාගමනය අඩු වු විට පපුවේ වේදනාව ඇති වේ. තව ද කපාට දෝෂයක් සිදු වී ඇත්නම් හතිය ඇති වේ.
මීට අමතරව ආහාරයට සම්බන්ධයක් නැති බඩේ දැවිල්ල,වැඩි විඩාව,ලිංගික දුර්වලතාව යන මේ අවිශේෂී රෝග ලක්ෂණත් හෘද රෝග ආශ්‍රයෙන් ඇති වන්නට පුළුවන. මෙම හෘද රෝග ලක්ෂණ ඒ ඒ හෘද රෝග අනුව වෙනස්වීම්වලට ලක් වේ.
පුද්ගලයෙකුට හෘදයාබාධ ඇති වන්නේ කුමන වයස් සීමාවන් වල දී ද?
හෘදයාබාධ ඇති වීමට වයස් භේදයක් බලපාන්නේ නැත. ඹ්නෑම වයසක පුද්ගලයෙකුට හෘදයාබාධ තත්ත්වයක් ඇති වීමට පුළුවන. එසේ වුවත් අවුරුදු 40 ට වැඩි පුද්ගලයින්ට හෘද රෝග හට ගැනීමේ අවධානම වැඩි වේ. එම නිසා අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් හෘදයාබාධ ඇති වීමට හේතුවන හේතු සාධක වලින් පරිස්සම් වී සිටිය යුතු ය .
දරුවකුගේ ජානමය කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම් එවැනි දරුවෙකුට අවුරුදු 10 යේ දී පමණ හෘදයාබාධයක් හට ගැනීමට පුළුවන. එලෙස කොළෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නොවු විට ද හෘදයාබාධ තත්ත්වයක් ඇති විය හැකි ය.එසේ සිදු වන්නේ ධමනි ප්‍රදාහය හේතුවෙනි.රුමටොයික් සන්ධි ප්‍රදාහය එක් උදාහරණයකි.
හෘදයාබාධ තත්ත්වය හට ගන්නට දවසේ විශේෂ වේලාවක් තිබෙනවා ද?
සාමාන්‍යයෙන් හෘදයාබාධ තත්ත්වයක් හට ගන්නේ උදෑසන 4 සිට උදෑසන 10 අතර කාල වකවානුවේ දීය. එම නිසා පුද්ගලයෙකුට උදෑසන අවදි වු අවස්ථාවේ දී වුව ද හෘදයාබාධ තත්ත්වයක් හට ගැනීමට පුළුවන. එහෙත් දවසේ ඹ්නෑම වෙලාවක හෘදයාබාධයක් හැදෙන්නට පුළුවන.
හෘදයාබාධ හට ගැනීමට හේතුවන කරුණු මොනවා ද?
හෘදයාබාධ තත්ත්වයක දී බහු සාධක රෝග ලක්ෂණ ඉස්මතු වේ.හෘදයාබාධවලට සාම්ප්‍රදායික අනතුරු සාධක මෙන් ම සාම්ප්‍රදායික නොවන අනතුරු සාධකත් බලපානු ලබයි.සාම්ප්‍රදායික අනතුරුකාරක සාධක ලෙස අධික රුධිර මේදය,අධික රුධිර පීඩනය,දියවැඩියාව,ව්‍යායාම ප්‍රමාණවත් නොවීම, ස්ථුලතාවය, දුම්වැටි ඉරීම,ජන්ම ප්‍රවේණිය, දිගු කාලීන මානසික ආතතිය පෙන්වා දීමට පුළුවන.එමෙන් ම සාම්ප්‍රදායික නොවන අනතුරුසාධක ලෙස ජින්ජ වෛරසය,රූමටොයිඩ් ප්‍රදාහය,ලයිම ප්‍රෝටීන තත්ත්වය,ටෙස්ටෙස්ටරෝන් සහ අනෙකුත් ලිංගික හෝමෝන අඩු වැඩි වීම,යූරීක් ඇසිඩ් සංයෝගය රුධිරයේ ඉහළ යාම වැඩි වීම. පෙන්වා දීමට පුළුවන.
බොහෝ දෙනෙක් නොදන්නා වුව ද හෘදයාබාධ සඳහා පරිසරයේ තිබෙන වායුන් බලපානවා නේ ද?
ඔව්, අනිවාර්යයෙන් ම හෘදයාබාධ ඇති වීම සඳහා පරිසරයේ තිබෙන වායු ප්‍රබල බලපෑමක් සිදු කරයි.පොසිල ඉන්ධන (පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල් ) දහනය වන විට සියුම් කාබන් අඩංගු අංශු වාතාශ්‍රයට එකතු වේ.ඉන් පසු එම කාබන් අංශු පෙනහළුවලට ඇතුළු වු විට පෙනහැල්ල තුළ ප්‍රදාහයක් ඇති වේ.එයින් නිකුත්වන රසායනික ද්‍රව්‍ය ධමනි ප්‍රදාහය ඇති කරයි.
හෘද රෝගයක් තිබේ ද යන්න සනාථ කිරීම සඳහා කරනු ලබන පරීක්ෂණ මොනවා ද?
මුල් අවස්ථාවේ දී හෘද රෝගයක් තිබේය. යන්න සනාථ කරන්නට නම් සමහර විට රෝග ලක්ෂණ ඉස්මතු කිරීමට සිදු වේ.යම් කිසි ප්‍රබලතාවයකින් රෝගය පවතින්නේ නම් සාමාන්‍ය සායනික පරීක්ෂණයක් සඳහා ECG පරික්ෂණය, Eco පරීක්ෂණය X-ray පරීක්ෂණය හෝ රුධිර පරීක්ෂණය මඟින් හෘද රෝග හඳුනා ගැනීමට පුළුවන.නමුත් නිශ්චල අවස්ථාවේ දී ඉස්මතු වන්නේ නැත්නම් ව්‍යායාම ECG, කීරීටක ධමනි වලට ඩයි වීදචීමේ පරීක්ෂණය ,විශේෂ CT Scan වර්ග , එමෙන් ම විදෙස් රටවල්වල MRI Scan පරීක්ෂණය,න්‍යෂ්ටික ක්‍රියාකාරී ද්‍රව්‍ය ශරීරගත කර සිදු කරන කරන පරීක්ෂණය නිර්ණය සඳහා යොදා ගන්නට සිදුවේ.
වර්තමානයේ දී තරුණ තරුණියන්ට හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාවයක් පවතිනවා. එසේ සිදු වන්නේ ඇයි?
වර්තමානයේ දී තරුණ තරුණියන්ට හෘදරෝග වැළදීමේ ප්‍රනණතාවය වැඩි වී ඇත්තේ මානසික ආතතිය නිසා ය.ග්‍රාමීයව ජීවත් වු තරුණ තරුණියන් නගරයට සංක්‍රමණය වීමත් සමඟ මානසික ආතතියට ගොදුරු වේ. එමෙන් ම ඔවුන්ට ගැමි සංස්කෘතියේ දී තිබු ආහාර රටාවන් වෙනස් කිරීමට සිදුවේ. සැබවින්ම ඔවුන්ට සෞඛ්‍යමවත් ආහාර රටාවන්ට අනුගත වීමට නොහැකි වේ.
දුම්වැටිවලට ඇබ්බැහි වීමට සිදුවීමෙන් ද තරුණයින්ට වර්තමානයේ දී හෘදයාබාධ තත්ත්වය ඇති වී තිබේ. නගරබඳ පරිසරයේ තිබෙන අපිරිසිදු වස විෂවලින් යුක්ත වායු වර්ග ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මඟින් ද වර්තමානයේ මිනිසුන්ට හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේ.
හෘදයාබාධ සහ කොලෙස්ටරෝල් අතර සම්බන්ධතාවක් පවතිනවා නේ ද?
මනුෂ්‍ය රුධිරයේ දිය වී ඇති ප්‍රධාන තෙල් වර්ගය කොළෙස්ටරෝල් යනුවෙන් හඳුන්වනු ලබයි.අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරයේ කොළෙස්ටරෝල් ඇති වු විට එම කොළෙස්ටරෝල් ප්‍රමාණය රුධිර නාලිකාවල තැන්පත් වේ.එලෙස රුධිර නාලිකා ඇතුළත කොළෙස්ටරෝල් තැන්පත් වු විට ධමනි කුහර සිහින් වී යයි.ඇතැම්විට සම්පූර්ණයෙන් ම වැසී යයි.එවිට රුධිර හීනතා තත්ත්වයක් උද්ගත වේ.
මැදි වියේ පුද්ගලයෙකුගේ රුධිරයේ කොළෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 220% ට වඩා අඩු නම් එම පුද්ගලයාට හෘදයාබාධ වැළදීමේ අවධානම අඩු ය. පුද්ගලයෙකුගේ රුධිරයේ කොළෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 250% දක්වා වැඩි වුවහොත් හෘදයාබාධ වැළදීමේ අවධානම දෙගුණ වේ. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 250% සිට 300% දක්වා වැඩි වුවහොත් හෘදයාබාධ වැළදීමේ අවධානම නැවත දෙගුණ වේ. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 160-180% දක්වා හෝ ඊට අඩු ප්‍රමාණයක් දක්වා හෝ අඩු වුවහොත් තෙල් තැන්පතු පවා මඳින් මඳ දියවන්නට ඉඩ ඇත. කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 180% ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් වුවහොත් එය යෝග්‍ය වේ.
පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපාන අවධානම් සාධක මොනවා ද?
හේතු සාධක රාශියක් පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපායි.ළබාල වියේ පටන් ම ශරීරයේ මේද තැන්පතු ඇති වීමේ ක්‍රියාවලිය ආරම්භ වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. තව ද මේද තැන්පතු ඇති වීම සඳහා ජානමය පසුබිම ද බලපානු ලබයි.අධික කොලෙස්ටරෝල් ( මෙය LDL කොලෙස්ටරෝල් ලෙස පවතින්නේ නම් අවධානම් තත්ත්වය වැඩිය. HDL කොළෙස්ටරෝල් වැඩි වීම ගුණදායක වන අතර,එය අඩු වීම අනතුරුදායක වේ.ට්‍රයිග්ලිසරයිඩ නම් වු මේදය මඳක් වැඩි වුවාට ගැටලුවක් නොවන අතර අධිකව වැඩි වුවහොත් ස්වාධින අනතුරුකාරක සාධකයක් වේ.)එමෙන් ම දියවැඩියාව,අධික රුධිර පීඩනය,ස්ථුලතාවය,දුම්වැටි ඉරීම,ව්‍යායාම මඳකම,රුධිරයේ හෝමෝසිස්ටීන් සංයෝගය වැඩි වීම,රුධිරයේ ලයිපොප්‍රෝටීන නම් සංයෝගය වැඩි වීම,මෙන් ම රුධිර කැටි ගැසීමපහසු කරන ෆයිබ්‍රිනෝජන් ප්‍රෝටීනය රුධිරයේ වැඩි වීම,ඉතා තියුණු මානසික ආවේග ඇති වීම,ඇතැම් ක්ෂුද්‍ර ජීවි ආසාදන නිසා අන්තශ්ඡදය තුවාල වීම. යනාදිය පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපාන අනතුරු කාරක සාධක වේ.
වර්තමානයේ පවතින අධික කාර්යය බහුල සමාජ රටාවත් සමඟ මිනිසුන්ට මානසික ආතතිය වැළදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. මානසික ආතතිය හෘද රෝගයට බලපාන්නේ කෙසේ ද?
කායික ව්‍යායාම තරමටම මානසික විවේකය ද හෘද රෝගියෙකුට අවශ්‍යය. මානසික අවිවේකය, එසේත් නැතහොත් අසහනය කරණ කොට ගෙන ශරිරය තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වේ.මේ හේතුවෙන් රුධිර පීඩනය වැඩි වීම,නාඩි ගැස්ම වැඩි වීම,රුධිර සීනී වැඩි වීම ආදී වු වෙනස්වීම් සිරුර තුළ ඇති වෙයි. එම වෙනස්කම් හේතුවෙන් මානසික අවිවේකයට මුහුණ පෑමට ශරීරය වඩාත් සුසුසු බවට පත් වේ.එලෙස ස්‍රාවය වන ඇඩ්රිනලීන් නම් වු ස්නායු උත්තේජකය මගින් රුධිර ධමනිවල අන්තශ්ඡදයට හානි පැමිණෙයි. මෙහි දී හානි වු ස්ථාන මත රුධිරයේ පට්ටිකා කැට ගැසෙන්නට පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් විශාල ලේ කැටියක් බවට වැඩෙන්නට පුළුවන. මානසික අසහනය ඇති වීම හෘදයාබාධ වැළදීම වැඩි වීමට හේතුවක් බව වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දී ඇත.
තව ද මානසික අසහනයෙන් පෙළෙන්නන් බොහෝ විට මත් පැන්වලට හා දුම්පානයට ඇබ්බැහි වී සිටී.මේ හේතුවෙන් ද හෘදයාබාධ වැළදීමේ අවධානම වැඩි වේ.
බයිපාස් සැත්කමකින් සිදු කරන්නේ කුමක් ද?
මහා ධමනියේ සිට මාංශ පේශිය දක්වා රෝගියාගේ ධමනියක් හෝ ශිරාවක් යොදා ගෙන රුධිර ගමනය සඳහා නව ධාවන පථයක් ඇති කිරීම බයිපාස් සැත්කමෙන් සිදු කරනු ලබයි.
බයිපාස් සැත්කමකින් පසු හෘද රෝගීයෙකු ප්‍රවේසම් විය යුත්තේ කෙසේ ද?
බයිපාස් සැත්කමකින් පසු හෘද රෝගියෙකු නිසි පරිදි පරිස්සම් නොවුණහොත් බයිපාස් සැත්කමේ දී යොදා ගත් ධමනිය අනතුරුදායක සාධක හේතුවෙන් නැති වීමට ද පුළුවන.එම නිසා රෝගියා 100% ක්ම අනතුරුදායක සාධකවලින් පාලනය විය යුතු ය.නිරන්තරයෙන් ම සෞඛ්‍යවත් ජීවන රටාවකට (Healthy Life Style)අනුගත විය යුතු ය.එසේ නොවුණහොත් අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගවලට ද ගොදුරු වීමට සිදු වේ.
යම් පුද්ගලයෙකුට බයිපාස් සැත්කම කරන්නට යැයි නිර්දේශ කළ පසු එය නොකර සිටීමෙන් අනිවාර්යයෙන් ම ජීවිතය අවදානමට ලක්වනවා ද?
එලෙස සිදු වන්නේ නැත.බයිපාස් සැත්කම පරමාර්ථ දෙකක් සඳහා නිර්දේශ කරනු ලබයි.රෝග සමනය කිරීම සඳහා බයිපාස් සැත්කම නිර්දේශ කරයි. කොතරම් උසස් මට්ටමින් ඖෂධ පන්තියක් සකස් කර යෙදුව ද ඇතැම් රෝගීන්ගේ රෝග ලක්ෂණ යටපත් කීරීමට අපහසු වේ.රෝග ලක්ෂණ අධිකබව නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට රෝගියාට අපහසු වන අතර ජීවිතයේ ගුණාත්මකභාවය ද අඩු වේ.මෙබඳු තත්ත්වයක දී බයිපාස් සැත්කම නිර්දේශ කරනු ලබන්නේ රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා ය.ඇතැම්විට බයිපාස් සැත්කම නිර්දේශ කරනු ලබන්නේ ජීවිතය ආරක්ෂා කිරීම පිණිස ය.මෙය ද සීයට සීයයක් ස්ථිර ව වෛද්‍යවරුන් අනුමත කරන්නේ නැත.
කිරීටක ධමනි පද්ධතියේ ප්‍රධානතම මුලීක ධමනියේ අවහිරතාවක් ඇත්නම් එය පිපිරී ලේ කැටියක් ඇති වුවහොත් මරණය ස්ථිර ලෙස ම සිදුවේ.මෙය සිදු වේ යැයි ස්ථිරවම කිව හැකි නුවුව ද එසේ වීමට ඇති අවදානම වැඩි නම් මරණය සිදු වීම වැළැක්වීම පිණිස බයිපාස් සැත්කම නිර්දේශ කරනු ලැබේ.
යම් පුද්ගලයෙකුගේ හෘද ස්පන්ධනය අඩු වුවහොත් කළ යුතු ප්‍රතිකාරය කුමක් ද?
සිහිසුන් වීම එක් වතාවක්වත් ඇති වුයේ නම් සුදුසුම ප්‍රතිකාරය වන්නේ පිළියම් කෘත්‍රිම පියකුරුවක් සවි කිරීම යි.මෙහි දී කුඩාතම අත් පරිගණකයක් වැනි විශේෂ විද්යුත් කෝෂයක් සම යට තැන්පත් කොට දකුණු කෝෂිකාවේ අගට එක් ඉලෙක්ට්‍රෝඩයක් විහිදුවා සවි කරනු ලබයි.මේ සියල්ල කරනු ලබන්නේ සිහි නැති කිරීමක් නොමැතිව හිරි වට්ටවා ය. මෙම පියකුරුව මඟින් අවශ්‍ය වු විට හෘදය නිසි වේගයට ස්පන්දනය කරවනු ලබයි. සිහිසුන් වීමක් නොමැතිව සිහි මඳ ගතිය හෝ කලාන්තය පමණක් ඇති වුයේ නම් පියකුරුවක් සවි කිරීම අනිවාර්යය නැත. එහෙත් නිතර නිතර ම රෝග ලක්ෂණ ඇති වන්නේ නම් මේ ගණයේ රෝගීන්ට ද පියකුරු නිර්දේශ කරන අතර ඇතැම් විට සුළු ඖෂධයක් දිගින් දිගට ම දීමෙන් ද හෘද ස්පන්දන වේගය යථා තත්ත්වයට පත් කළ හැකි ය.එසේ ඖෂධ ගැනීමට තීරණය කළහොත් නොකඩවා ම බෙහෙත් පෙති ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.කෘත්‍රීම පියකුරුවක ආයු කාලය විවිධ වේ.නිතර නිතර පියකුරුව ක්‍රියාත්මක වේ නම් අවුරුදු කිහිපයකින් එහි කෝෂ වැය වී යයි.එසේ නොමැතිනම් එම පියකුරුවක් අවුරුදු 10-12 වුව ද ක්‍රියා කරනු ලබයි.
හෘදයාබාධයක් ඇති වු අවස්ථාවක දී කළ යුතු පිළියම් මොනවා ද?
හෘදයාබාධයක් ඇති වු පුද්ගලයෙකුට ප්‍රථමයෙන් ම විවේකයෙන් තැබිය යුතු ය.ඉන්පසු රෝගියාව කලබලයට පත් නොකළ යුතු ය.හෘදයාබාධයක් වැළදුණු පුද්ගලයෙකුට ඇස්ප්‍රින් පෙත්තක් ( මිලි ග්‍රෑම් 300) සපා ජලය සමඟ පානය කිරීමට ලබා දීම වඩාත්ම යෝග්‍ය පිළියම වේ.එමෙන් ම මෙය වෛද්‍යවරුන් අනුමත කරන ඖෂධය වේ. සමහර පුද්ගලයින් තුළ අනේ අපරාදේ TNT පෙත්තක් දුන්න නම් රෝගියාගේ ජීවිතය බේරා ගන්න තිබ්බ යනුවෙන් මිත්‍යා මතයක් පවතී. එය වැරදි මතයකි. TNT පෙත්ත වෛද්‍යවරුන් ලබා දෙන්නේ ඇවිදින විට හෝ මහන්සි වී වැඩක් කළ විට ඇති වන වේදනා තත්ත්වය නැති කිරීම එසේත් නැත්නම් ඇන්ජයිනාව පාලනය කිරීම සඳහා ය. එහෙත් සමහර හෘදයාබාධවලදී TNT පෙත්ත ලබා දීමෙන් අනතුරුව රෝගියාගේ රුධිර පීඩනය අඩු වේ. හෘදයාබාධයක් ඇතිවුණ විගස පුද්ගලයාව කලබලයට පත් නොකර,ඉහත කී ආකාරයට ඇස්ප්‍රින් පෙත්තක් ලබා දීම හෘදරෝගවලින් මිය යන සංඛ්‍යාව 21% කින් පමණ අඩු කළ හැකි බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් වු රෝගියෙකු පළමු පැය ඇතුළත දී ලේ කැටිය දිය කර හැරීම සඳහා දෙනු ලබන ඖෂධය භාවිතා කළ යුතු ය. ලේ කැටිය දිය කර හැරීම සඳහා Fibrinoloytic ඖෂධය ලබා දේ.මෙහි දී Streptokinase සහ Tenecteplase ඖෂධ ලබා දේ.වර්තමානයේ දී ලේ කැටිය දිය කර හැරීම සඳහා දෙන ප්‍රබලතම ඖෂධය වන්නේ Tenecteplase ඖෂධයයි. මෙම ඖෂධය රෝගියාට ශිරා ගත කළ විට දී හෘද වස්තුව අඩාල වීම වළක්වා ගැනීම සහ මරණ සංඛ්‍යාව අඩු කළ හැකි ය. පළමු පියවරේ ධමනි විස්තරණයක් primary PCI ( P-PCI) හෘද වස්තුවේ අවහිර වුණු නාලය තුළට බැලුන් එකක් මඟින් සිර වී තිබෙන ලේ කැටිය ඉවත් කොට යථා තත්ත්වයට පත් කළ හැකි ය.හෘදයාබාධයක් වැළදී පැය 2 ක කාලයක් ඇතුළත දී Fibrinoloyticඖෂධය ලබා දීමෙන් පසුව පැය 24 ඇතුළත දී වුවත් ධමනි විස්තරණ ඒකකයට ඇතුළත් කළ හැක. මෙම ප්‍රතිකාර දෙකම හෘදයාබාධ රෝගියෙකුට වඩාත්එලප්‍රයෝජනවත්වන ජීවිත අවධානම අඩු කරන පිළියම් ය.
හෘදයාබාධ තත්ත්වය නිට්ටාවට ම සුව කළ හැකි ද?
සමහර හෘදයාබාධ පුද්ගලයින් 100% ක් ම සුව වේ. ජීවිතාන්තය දක්වාම හෘදයාබාධ තත්ත්වයක් නොමැතිව ජීවත් විය හැකි ය.තවත් සමහර පුද්ගලයින්ට හෘදයාබාධ තත්ත්වයන් යළි යළිත් හට ගනී. එසේත් නොමැතිනම් වැළඳුණු හෘදයාබාධයේ සංකූලතා මතු වේ. එම නිසා පුද්ගලයෙකුට හට ගන්නා හෘදයාබාධ පිළිබඳව අනාවැකි කීමට අපහසු ය.
පුද්ගලයෙකුගේ ශරීරය අනුව, අනතුරුකාරක සාධක අනුව, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් අනුව, ඖෂධවලට දක්වන ප්‍රතිචාරය අනුව එක් එක් පුද්ගලයින්හට හෘදයාබාධ විවිධ ආකාරයෙන් වැළඳේ.
හෘදයාබාධයක් පවතින පුද්ගලයෙකුට හදිසි මරණයක් අත් වන්නේ ඇයි?
කිසිදු රෝග ලක්ෂණයක් පුර්ව නිමිත්තක් ලෙස ඉස්මතු නොවී ක්ෂණයකින් මිය යාම හසිදි මරණයක් යනුවෙන් හඳුන්වනු ලබයි. ඇතැම් විට මෙලෙස මරණයට පත් වන පුද්ගලයින් තමන්ගේ හෘද රෝග ලක්ෂණ සඳහා ඖෂධ භාවිතා කර ඇත. එහෙත් තප්පර කීපයක් අතරතුර ප්‍රාණය නිරුද්ධව ගිය විට හදිසි මරණ තත්ත්වයක් ඇති වේ .මෙබඳු රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන විට මේද තැන්පතුවක් පිපිරී නව ලේ කැටියක් මඟින් ධමනිය අවහිර වී ඇති බව පෙනී යයි. මේසේ වු විට හෘදයාබාධයක් ප්‍රවර්ධනය වීමටත් පෙර හෘද ස්පන්දනය දැඩි සේ අක්‍රමික වී හෘදය ක්ෂණයකින් ඇණ හිටී. තවත් සමහර පුද්ගලයින්ට හොඳින් ක්‍රීඩා කර වෙහෙස වෙමින් දිවි ගෙවන අතරතුර ද හදිසි හෘද මරණ ඇති වේ. එලෙස සිදු වන්නේ රෝග ලක්ෂණ ඇති කිරීමට තරම් උග්‍ර නොවන ( 10-30% පමණ ) මේද තැන්පතුවක් පිපිරී යෑමෙනි.
හෘදයාබාධයක් වැළඳීමෙන් පසු රෝගියා පළමු දින දෙක තුළදී ගත යුතු ආහාර පාන පිළිබවඳව පැහැදිලි කිරීමක් කරන්න?
හෘදයාබාධයක් වැළඳීමෙන් පසු මුල් පැය 48 පුරා රෝගියා සම්පුර්ණයෙනක් ම ඇඳ විවේකයෙන් ගත කළ යුතු ය.මේ අවස්ථාවේ දී රෝගියාට දෙනු ලබන්නේ දියරමය ආහාර පමණි. දියර වර්ග ලෙස තැඹිලි වතුර,තේ වතුර,පෙරන ලද එළවළු සුප්,මේදය රහිත කිරි,කැඳ වතුර,කොත්තමල්ලි වතුර යොග්‍ය වේ.මෙම දියර වර්ගවලට සුදුසු තැන්හි ලුණු ද සිනී ද මඳ වශයෙන් යොදා ගත්තාට වරදක් නැත. එමෙන් ම මෙම දියර වර්ගවලින් කුමන හෝ දියර වර්ගයක් වරකට කොප්පය බැගින් පැය තුන හතරකට වරක් පානය කළ හැක. කෝපි පානය කිරීම සහ අධික ලුණු ඇති බැවින් මාමායිට් සුප් කැට යොදා සාදාගන්නා පාන වර්ග පානය කිරීම මෙන් ම මේදය අඩංගු කිරිපිටි පානය කිරීම සුදුසු නැත.
හෘදයාබාධයක් ඇති වු පුද්ගලයෙකුට නින්ද කොපමණ අත්‍යවශ්‍ය ද?
හෘද රෝගියෙකුට නින්ද ඉතා අත්‍යවශ්‍ය ය.රැයකට පැය 6 ක් හෝ 8 ක් නිදා ගැනීම සෑහේ. බොහෝ විට හෘදයාබාධ කරණ කොට ගෙන ඇති වන මරණ බිය නිසා නින්ද යෑම අඩු විය හැකි ය ඒ හේතුව නිසා ම උදේ දෙකට හෝ තුනට ඇහැරෙන්නට පුළුවන.මේ අවස්ථාවලදී නින්ද යාමට දෙනු ලබන ඖෂධ භාවිතා කළ යුතු ය.දහවල් කාලයේ දී බොහෝ වේලාවක් නිඳා ගත හොත් රෑට නින්ද යාම අඩු වේ. මෙසේ රෑ නින්ද අඩාල වනුයේ නම් පමණක් දහවල් නින්ද පැය භාගයකට පමණ සීමා කිරීමට උත්සහ ගත යුතු වේ.
මදාරා මුදලිගේ