
එලිස් පෙරි ක්‍රිකට් ක්‍රීඩා දස්කම්
ජාත්‍යන්තර තරග කාලය 2007 සිට
ටෙස්ට් තරග 06 ලකුණු 219, වැඩිම 71, සාමාන්‍යය 31.28, අර්ධ ශතක 01, උඩපන්දු 03, කඩුලු 27, ඉනිමක හොඳම 32 - 6, සාමාන්‍යය 16.11, ඉනිමක කඩුලු (05) 02.
එක්දින ජාත්‍යන්තර තරග 91 ලකුණු 2303, වැඩිම නොදැවී 95, සාමාන්‍යය 51.17, අර්ධ ශතක 23, උඩපන්දු 26, කඩුලු 122, හොඳම 19 - 5, සාමාන්‍යය 25.31, තරගයක කඩුලු (05) 02.
20 - 20 ජාත්‍යන්තර තරග 82 ලකුණු 797, වැඩිම නොදැවී 55, සාමාන්‍යය 26.56, අර්ධ ශතක 03, උඩපන්දු 20, කඩුලු 77, තරගයක හොඳම 12 - 4, සාමාන්‍යය 19.64, තරගයක කඩුලු (04) 02.
බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා දිවියේ මුල් කාලයේදී ක්‍රීඩා කිහිපයක නිරත වන අවස්ථාවන් තිබේ. නමුත් එක්තරා අවස්ථාවකදී ඔවුනට අවසන් තීරණයක් ගත යුතු වේ. ඒ තමන් නිරතවන ක්‍රීඩාව කුමක්ද යන්නයි. එහිදී ඇතැම්හු ක්‍රීඩාවක් තෝරා ගනිති. තවත් සුළු පිරිසක් ක්‍රීඩා ද්විත්වයක් තෝරා ගනිති.
එසේ වුවත් ක්‍රීඩා ද්විත්වයක් තෝරා ගනු ලැබුවත් ජාත්‍යන්තරව දිර්ඝ කාලීනව ක්‍රීඩා කිරීම පහසු දෙයක් නොවේ. නමුත් එම අපහසු කාර්යයේ නිරත වූ ඉතා දුලබ පිරිසක් ක්‍රීඩා ලොව ඉතිහාසයේ සිටියි. ඔස්ට්‍රේලියාවේ එලිස් පෙරි ද එවැනි ක්‍රීඩිකාවකි.
පෙරි ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවලින් කැන්ගරු දේශය නියෝජනය කරන්නීය. එපමණක් ද නොව මෙම ක්‍රීඩාවලින් ලෝක කුසලාන තරගාවලියන්ට පවා සහභාගිවී තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේදී ඇය තුන් ඉරියව් හපනියකි. පාපන්දු ක්‍රීඩාවේ දී ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවකි.
එලිස් ඇලෙක්සැන්ඩ්‍රා පෙරි 1990 වසරේ නොවැම්බර් මස 03 වැනිදා උපත ලැබුවාය. ඒ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාහ්රූන්ගා නුවරදීය. එම නගරය ලෝ ප්‍රකට සිඩ්නි නුවර සිට කිලෝමීටර් 22 ක දුරකින් පිහිටා ඇත.
පෙරි දකුණත් පිතිකාරිනියකි. දකුණතින් මද වේග පන්දු යවන්නීය. ඇය ජාත්‍යන්තර තරග වරම ලැබුවේ 2007 වසරේදීය. ඒ එක්දින ජාත්‍යන්තර තරගවලටය. ඒ 2007 වසරේ ජූලි මාසයේදීය. ඒ සමඟම ජාත්‍යන්තරව ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් නියෝජනය කළ ළාබාලතමයා බවටත් පත් වූවාය. ඇය සිය මංගල ටෙස්ට් තරග වරම ලැබුවේ 2008 වසරේදීය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් පෙරි නිව් සවුත් වේල්ස්, සිඩ්නි සහ එංගලන්තයේ ලෝබොරෝ යන කණ්ඩායම් ද නියෝජනය කර තිබේ. මීට අමතරව ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 23 න් පහළ සහ නිව් සවුත් වේල්ස් අවුරුදු 19 න් පහළ යන කණ්ඩායම් ද නියෝජනය කර තිබේ.
පෙරි එක්දින ජාත්‍යන්තර තරග (ඕවර 50) ලෝක කුසලාන තරගාවලියන් දෙකකට ක්‍රීඩා කර තිබේ. ඒ 2009 සහ 2017 වසරවලදීය. එමෙන්ම 20 - 20 ජාත්‍යන්තර ලෝක කුසලාන තරගාවලි සතරකට ක්‍රීඩා කර තිබේ. ඒ 2010 (ශූරතාව), 12 (ශූරතාව), 14 (ශූරතාව) සහ 2016 (අනුශූරතාව) වසරවලදීය.
වාර්ෂිකව ඔස්ට්‍රේලියාවේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට පිරිනමන බෙලින්ඩා ක්ලාර්ක් සම්මානය 2016 වසරේදී හිමිකර ගත්තේ ද පෙරිමය. ඇගේ ක්‍රිකට් දක්ෂතා තවදුරටත් දැකබලා ගැනීමේ අවස්ථාව මෙම ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 21 දක්වා උදාවී තිබේ. ඒ 2017 - 18 එංගලන්තය සමඟ පැවැත්වෙන කාන්තා අළු බඳුන තරගමාලාවේදීය.
පෙරි ප්‍රථම වරට ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2007 වසරේ අගෝස්තු මාසයේදීය. නිව් සවුත් වේල්ස් සැපයර්ස්, සෙන්ට්‍රල් කෝස්ට්, මැරිනර්ස්, කැන්බරා යුනයිටඩ් සහ සිඩ්නි පාපන්දු සමාජයටත් ඇය ක්‍රීඩා කර තිබේ.
මේ වන විට ජාත්‍යන්තර තරග 18 කදී ඇය ගෝල් 03 ක් රැස් කර ගෙන තිබේ. මීට 2011 ලෝක කුසලාන තරගාවලියත් අයත්ය. එමෙන්ම 2008 ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ සිවුවන තැන හිමිකර ගත් කණ්ඩායමෙත් ඇය සාමාජිකාවකි.
2011 - 12 කාන්තා ලීග් ප්‍රිමියර් ශූරතාව දිනුවේ කැන්බරා යුනයිටඩ්ය. පෙරි එම කණ්ඩායමෙත් සාමාජිකාවකි. එමෙන්ම 2009 වසරේ කාන්තා ලීග් ප්‍රිමියර් ශූරතාවලියේ වසරේ යොවුන් ක්‍රීඩිකා සම්මානයත් 2009 කැන්බරා යුනයිටඩ් වසරේ ක්‍රීඩිකා සම්මානයත් පෙරි හිමිකර ගෙන තිබේ.
ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවලින් ලෝක කුසලාන තරගාවලියන්ට සහභාගි වූ ප්‍රථම සහ එකම පුද්ගලයා වන්නේ ද පෙරිමයි. ඇය අඩි 5 අඟල් 7 හමාරක් උසය. පෙරි පාසල් දිවියේදී මලල ක්‍රීඩා සහ ක්‍රිකට් ක්‍රීඩා නායිකාවත් වූවාය.
පෙරි දැනට සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ආර්ථික සහ සමාජ විද්‍යා විෂයන් හදාරන්නීය. මීට අමතරව ට්‍රිපල් ජේ නැමැති රජයේ ගුවන් විදුලි සේවයේ නිවේදිකාවක් ලෙසටත් කටයුතු කරන්නීය. තවද ඇය මෝස්තර නිරූපිකාවක් ද වේ.
2015 වසරේදී පෙරි විවාහ වූවාය. ඒ රග්බි ක්‍රීඩක මැට් ටුමූවා සමඟිනි. 1990 ජනවාරි 02 වැනිදා උපන් මැට් 2013 සිට ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරයි. එමෙන්ම 2015 ලෝක කුසලාන අනුශූරතාව හිමිකර ගත් කණ්ඩායමෙත් සාමාජිකයෙකි.










