“නත්ථි රාග සමෝ අග්ගි” | සිළුමිණ

“නත්ථි රාග සමෝ අග්ගි”

රුසියානු සාහිත්‍යයේ දැවැන්තයන් කිහිපදෙ‍නකු ඔවුන්ගේ ප්‍රධාන සාහිත්‍ය නිර්මාණ ද සමඟින් හඳුන්වාදීමේ අභිප්‍රායෙන් ලි‍යවෙන මේ ලිපි මාලාව, ආරම්භ කළ යුතු වන්නේ පුෂ්කින්ගෙනි. ඒ පිළිබඳව, මෙසමයෙහි වාද කරන කෙනෙක් ඇත්තේ නැත. මන්ද යත්, සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ නවයුගය පිළිබඳ නිසැක කඩඉම, මේ සදාතනික තරුණයා වන හෙයිනි.

තවමත් අප රැඳී සිටින්නේ, රුසියානු මහා කවි ඇලෙක්සැන්දර් සර්ගයේවිච් පුෂ්කින් සමීපයෙහි ය.

ඔහුගේ කවි පරිවර්තනය කිරීම උගහට බැව් ඉකුත් ලිපියේදී සඳහන් කරන්ට යෙදිණි.

ඒ ඇත්තය. පුෂ්කින්ගේ මතු නොවෙයි. කවරම කවියකුගේ වුවද, පද්‍ය රචනයන් අන් බසකට නැඟීම දුෂ්කරය; ඉතා දුෂ්කරය. මන්ද යත්, කාව්‍ය පරිවර්තනයේදී මුල් කවියාගේ නිර්මාණ ප්‍රභාවෙන් සැලකිය යුතු කොටසක් ගිලිහී යන හෙයිනි.

මීට අවුරුදු විසිදෙකකට පෙර එනම්, 1995 ජනවාරි 13 වැනි දින සවස් භාගයේදී, කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්වුණු සුහද හමුවක්, මෙම ලේඛකයාගේ සිහියට නැ‍ඟෙයි. එකී අවස්ථාවේදී මෙම ලේඛකයාටත්, තවත් සිංහල සහ දමිළ ලේඛක සහෝදරවරුන් කිහිප දෙනකුටත්, එදවස භාරතීය සාහිත්‍ය ඇකඩමියේ මහ ලේකම් ධූරීන මහාචාර්ය ඉන්ද්‍රනාත් චෞද්රි සූරීන් හමුවීමට අවස්ථාවක් ලැබුණි. එකී අවස්ථාවේදී ඔහු සාහිත්‍ය නිර්මාණ පරිවර්තනය කිරීමට අදාළ වැදගත් කරුණු කිහිපයක් ම හෙළි කෙළේය. ඔහු කියා සිටියේ කිසියම් ගද්‍ය නිර්මාණයක් අනෙක් බසකට නැඟීමේදී මුල් කෘතියෙන් සියයට දහයක් අනිවාර්යයෙන් ම නැති වන බවය. පරිවර්තනය කෙරෙන්නේ පද්‍ය කාව්‍යයක් නම්, ඇතැම්විට, එසේ නැති වන ප්‍රමාණය සියයට හැටක් (60%) දක්වා ඉහළ නැඟිය හැකි බවය!

එදින සාකච්ඡාවේදී මහාචාර්ය චෞද්රි තවත් අපූරු කාරණයක් අනාවරන්‍ය කෙළේය. ඇතැම්විට කිසියම් සාහිත්‍ය කෘතියක්, මුල් බසින් ම අනෙක් බසකට නොනැගෙන අවස්ථා කොතෙකුත් ඇත. ඒ, දෙබස අතරට, තවත් බසක් පැමිණීමේ හේතුවෙනි.

නිදසුනකින් දැක්වුවහොත්, මුල් නිර්මාණයේ බස රුසියන් විය හැක. එය පළමුව ඉංගිරිසියට නැ‍ඟෙයි. සිංහලයට හෝ දෙමළට නැ‍ඟෙන්නේ, ඒ ඉංගිරිසි පරිවර්තනයයි. මේ “මැදි බස” මෙ තැනදී නම් ඉංගිරිසිය ඔහු හැඳින්වූයේ “පෙරහන් බසක්” හැටියටය. ඔහු යෙදූ ඉංගිරිසි පද filter language විය. කිසියම් කවියක්, පෙරහන් බසකිනුත් පෙරී එන විට, මුල් කවියට විය හැකි අතුරු ආන්තරා ප්‍රමාණය කොතරම් නම් විය හැකිද?

එවන් තත්වයක් යටතේ, කාව්‍ය පරිවර්තකයකු, කොතරම් නම් අමාරුවක වැටේදැයි නිශ්චිත කිරීම පාඨකයාට භාරය.

එතෙකුදු වුවත්, පුෂ්කින් මහා කවියාගේ කවි පරිවර්තනය කිරීමේ අසීරු කාරියට මෙම ලේඛකයා අවතීර්ණ වූයේ විශේෂ හේතුවක් නිසාය.

මේ වන විට, පුෂ්කින්ගේ කවියෙහි වයස, අවුරුදු එකසිය අනූවක් පමණ වෙයි. රුසියානු සම්භාව්‍ය සාහිත්‍යය ද, සෝවියට් සාහිත්‍යය ද නිරන්තයෙන් පරිවර්තනය වුණු සිංහල බසට රුසියානු සාහිත්‍යයේත්, කාව්‍යයේත් පුරෝගාමියා වන්නා වූද, කාව්‍යය ම ස්වකීය ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය කරගත්තා වූ ද ඇලෙක්සැන්දර් පුෂ්කින්ගේ ද කවි පරිවර්තනය හෝ අනුවාදය නොවීම, සාහිත්‍ය ලෝකය පැත්තෙන් බලන විට, ඉතා බරපතළ කාරණයකි.

පුෂ්කින්ගේ ඉතා ප්‍රබල කාව්‍යයක් වන “අහිගුණ්ඨිකයෝ” සිංහල බසට පරිවර්තනය කිරීමට මෙම ලේඛකයා පෙලඹුණේ එකී අඩුව, ශක්ති ප්‍රමාණයෙන් සපුරන අදහසිනි.

ඉකුත් ලේඛනවලදී මඳ වශයෙන් සඳහන් කරන්ට යෙදුණු අහිගුණ්ඨිකයෝ හෙවත් ජිප්සීස් කාව්‍යය පුෂ්කින්ගේ නිදහස් කාමය මේ යයි ලොවට හඬගා කියන අපූර්ව කෘතියකි.

මෙම කාව්‍යය ගෙතෙන්නේ, සෙම්ෆිරා නමැති අභිරූපසම්පන්න අහිගුණ්ඨික තරුණියකත්, අලේකො නමැති ප්‍රභූ සමාධියේ තරුණයකුත් වටාය.

ලොවේ ‍නෙ තැන අහිගුණ්ඨිකයෝ වෙසෙති. මහපොළොව ගෙබිම කරගෙන උස් අහස වියන කරගෙන ජීවත් වන මෙම ජන කොට්ඨාසය පැරණි රුසියානු ජන සමාජයේ එක් විශේෂ පිරිසක් වූ ව ග පෙනී යන කරුණකි. මේ රැහේ ජීවිතය ඇත්තේ මහමඟය. ගතින් සිතින් වතින් නිදහස් වූ මේ ගැහැනු මිනිස්සු ළමා ළපටි ඉතා අපිස් ජීවිතයක් ගෙවමින්, රිසි තැනෙක කූඩාරම් ගසාගෙන දිවා රැය ගෙවති. මහා කවි පුෂ්කින් මේ ජිප්සි රැහැ පාඨකයා හමුවට ගෙන එන අපූරු විලාසය මේ බැලුව මැනවි.

 

සූරය, වීරය අහිගුණ්ඨිකයෝ

විසාල පිරිසකි ඇවිත් සිටින්නේ

අරාබියාව හරහා යන ගමනේ

ගඟ අද්දරකය ලැගුම් සොයන්නේ

කූඩාරම් පෙළකින් සැදි උන්ගේ

කඳවුර අද මෙතැනයි ඉදි වන්නේ

විහඟුන් සේ නිදහස් මේ මිනිසුන්

ම සිතු ලෙස නිවහන තෝරාගෙන

අහස් වියන යටමයි සැතපෙන්නේ

ගන හණ පිළියෙන් බාගෙට පියවුණු

රිය රැස, රිය සක් කවයෙන් වටවුණු

ඇවිලෙන ගිනි මැලයකි ඒ මැද්දේ

ඉහළට නැග යන ගිනිදලු දැල්වෙන

කූඩාරම තුළ පවුලේ හැමදෙන

සැඳෑ බොදුන සකසති නිසි හැඟුමින

අසු පෙළ පසු වෙති

තණකොළ උලමින

කෙත්යායේ දුර ඈතට විහිදෙන...

පවුල් ජීවිතයේ කඩිසර පියොවින

කවුරුත් තුටු පහටුය මේ තණබිම

ලිය ගී රාවය ළමා සිනා හඬ

යකඩ තැළෙන රිද්මයට බැඳීයේ

උන් සැරසෙන සඳ හෙට දින ගමනට

අහිගුණ්ඨික කඳවුර මත රජයේ

නිශ්චලතාවය නොබිඳී නොසි‍ඳෙන

තණබිම නිහඬය, නෑසේ කිසිවක්

බල්ලන් උඩු බුරනා රාවය හෝ

අසකුගෙ හේෂාරවයට අමතර

නිවී ගොසිනි කඳවුර අස ගිනිමැල

තණබිම සපුරා, සියල්ල ශාන්තය

ගගනෝදරයේ පුන්සඳ රැජිනිය

සිහිලස රැස් දහරාවෙන් නහවයි

නිදිගත් කඳවුර, මේ තණබිම මත

වියපත් මිනිසකු පමණිය අවදිව

ඉන්නේ නිවෙනා ගිනි මැලයක් ළඟ

අන්තිම ගිනි අඟුරින් උණුහුම් වී

නිතරම යොමු වේ ඔහු විපරම් ඇස

ඈතට විහිදී යන කෙත්බිම දෙස

ඔහුගේ පැහැපත් සුන්දර දියණිය

හැසිරෙන්නී හිතුමතේට හැම විට

තනියම ඇවිදින්නට ගොස් ඇත්තිය

ආපසු පැමිණිය යුතුමුත් පමාය...

 

හිතු මතේට හැසිරෙන සෙමිහිරා ආපසු කූඩාරමට පැමිණෙන්නේ තරුණයකුත් කැටුවය. ඒ තරුණයා, ඇයගේ පෙම්වතා වන ප්‍රභූ සමාධියට අයත් අලේකාය. අහිගුණ්ඨික තරුණිය, සිය පියාණන්ට ඔහු හඳුන්වා දෙන්නේ මෙසේය.

“බලන පියාණනි,

අමුත්තෙකිය මොහු

සුවිසල් තණබිම කඳුගැට ඔබ්බෙහි

අනාථ වී සිට ‍මට හමු වූයෙය

නවාතැනකි ඔහුහට අප කඳවුර

අපගේ අණසක යටතට පැමිණී

අප’තර හිඳිනට ඔහු ගිවිසී ඇත.

අලේකො නම් වන ඔහු මින් මතුවට

මා යන යන තැන පසු පස එන්නෙය”

මහල්ලාගෙන් විරෝධයක් නැත.

ප්‍රේමය ම රැහැනක් ය, පෙම්වතුන් එකට බැඳලන. මේ අහිගුණ්ඨිකයන්ට නීතියේ බැමි - නීථියේ රැඟුන් - කුමටද? දැන් ඉතින් සෙම්හිරාත්, අලේකාත්, ගැහැනියත් මිනිහාත් ය. පබු යොවුනා ද අහිගුණ්ඨික රැහැට එක්ව තැන තැන යන්නේ ය. ඔහුට හැම දිනක් ම ගෙවෙන්නේ නිදහසේ පරම සුවය ද කැඳවමිනි. 

Comments