
අද ද ‘හරි වහරෙහි’ ලා විමැසුමට ලක් වන්නේ තත්සම කිහිපයෙක හරි වහර යි.
1. චිරරාත්‍රඥ - නිතර නිතර වහරෙහි නො දැක්ක හැකි නමුදු අගනා අරුතක් දෙන යෙදුම් සාර්ථක වැ (අරුත් සහිත වැ) යොදති. ඇතැම්හු අරුත නො දැන ද, පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය පිණිස මෙ බඳු යෙදුම් යොදති.
මේ වදන් තුනෙක එකතුවෙන් උපන් යෙදුමෙකි. එ නම් චිර + රාත්‍රි + ඥ යනු යි. චිර නම් බොහෝ කල් යන අරුත දෙයි. රාත්‍රි නම් රෑ යි. ඥා නම් දන්නා යන අරුත දෙයි. බොහෝ රාත්‍රි කාල දන්නා යනු මෙහි වචනාර්ථය යි. බොහෝ කාලයෙක තොරතුරු දන්නා, දිගු කලක් පිළිබඳ ව දන්නා යනු මෙහි ගම්‍යමානාර්ථය යි. ‘චිරරාත්‍රඥ පණ්ඩිතයෝ’ ආදි වශයෙන් ව්‍යවහාරයෙහි යෙදේ.
මෙහි ‘රාත්‍ර’ යන්නෙහි ‘ත’ සමඟ ර කාරාංශය යෙදෙන බව ද ‘ඤ’ නො ව ‘ඥ’ යනු ම යෙදෙන බව ද වෙසෙනින් සැලැකිය යුතු වෙයි. ‘ඥ’ යන්නෙහි නිවැරැදි ඉසිරැවුම (උච්චාරණය) ‘ජ්+ඤ’ යනු යි. එ හෙයන් මෙය කියැවිය යුත්තේ ‘චිරරාත්රජ්ඤ’ යනුවෙනි.
2. චුදිත - මේ සංස්කෘත තත්සමයෙහි ‘චු’ යනු යෙදෙන සැටි ද ඉක්බිති ද (අල්පප්‍රාණ) දි, ත යෙදෙන සැටි ද අවධානය යොමු කොට බැලිය යුතු ය. ව්‍යවහාරයෙහි අතිශයින් ම යෙදෙනුයේ ‘චූදිත’ යන අපශබ්දය යි. විශේෂයෙන් අධිකරණ කාර්යවල දී එය යෙදෙනු දැක්ක හැකි ය. (කෙටි) ‘චු’ විනා (දිගු) ‘චූ’ මෙහි නො යෙදේ. සංස්කෘතයෙහි ‘චුද්’ යන ක්‍රියා මූලයට ‘ත’ (අතීනාර්ථයෙහි’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපන් පදයෙකි. චෝදනා ලද, චෝදනා කරන ලද යන අර්ථයෙන් යෙදේ.
3. චුම්බන - මෙ වදනෙහි සැලැකිය යුතු කරුණු නම් (අල්පප්‍රාණ) බ, (දන්තජ) න යෙදෙන බව යි. ඇතැමුන් (මහාප්‍රාණ) ‘භ’ සහිත වැ ‘චුම්භන’ යනු ලියන නමුදු ඒ වරදෙකි. සංස්කෘතයෙහි ‘චුම්බ’ ධාතුවට (ක්‍රියා මූලයට) ‘අන’ (වර්තමාන කෘදන්ත) ප්‍රත්‍යයය යෙදීමෙන් මෙය නිපැදේ. සිඹීම, සිපගැන්ම යනු අරුත යි. යට කී ධාතුයෙන් ම නිපැදෙන චුම්බිත, චුම්බක, ආදියෙහි දු ‘බ’ විනා ‘භ’ නො යෙදේ.
4. චූල / චූළ - මේ දෙ වදන ම නිවැරැදි ය. සැලැකිල්ලට ගත යුත්තේ යෙදෙන වාක් පරිසරය අනුව කවර වදන යෙදිය යුතු ද යනු යි. ‘චූල’ යන්න සංස්කෘතයෙහි යෙදේ. එ හෙයින් සංස්කෘත තත්සම සමඟ යෙදිය යුත්තේ (දන්තජ) ‘ල’ සහත ‘චූල’ යන්න ම ය. චූල රාජ්‍ය, චූලවංශ, චූල උපස්ථායක ආදි වශයෙනි. සංස්කෘත තත්සම සමඟ ‘චූළ’ යන්න යෙදීම නො මැනැවි. ලෞකික (ව්‍යවහාර) සංස්කෘතයෙහි (මූර්ධජ) ‘ළ’ නො යෙදේ.
පාලියෙහි චූල, චූළ දෙක ම යෙදේ. එ වුව ද බෙහෙවින් ‘චූළ’ යනු යෙදේ. එ හෙයින් චූළ වංසය, චූළගත්මි ආදිය යෙදෙනු දැකිය හැකි ය. චූලාර්ථයෙහි ‘චුල්ල’ යනු ද පාලි ව්‍යවහාරයෙහි බෙහෙවින් භාවිත වේ. චුල්ල පදුම, චුල්ල වග්ග, චුල්ල මානා ආදි වශයෙන් සිංහලයෙහි මේ හා අනුරූප වැ ‘සුළු’ යනු යෙදේ.
5. චූර්ණ - අග යෙදෙන (මූර්ධජ) ‘ණ’ කෙරෙහි මෙහි ලා සැලැකිල්ල යොමු කළ මනා ය. චූර්ණ නම් සුනු (හුනු) යි. ඉතා සිනිඳු ලෙස කොටස ලද බෙහෙත් ආදි ද්‍රව්‍ය හැඳින්වීමෙහි ද යෙදේ. රේඵය යොදා ලියතොත් චූර්‍ණ, චූර්‍ණණ යන දෙ විධියෙනුදු ලිවිය හැකි ය. දෙ වන විධිය අද්‍යතන ව්‍යවහාරයෙහි යෙදෙන බවක් නො පෙනේ.
- ශාබ්දික