දම්සෙනෙවිගේ බුදු සිරිත | සිළුමිණ

දම්සෙනෙවිගේ බුදු සිරිත

 සිංහල ව්‍යාඛ්‍යානාවලියෙහි වැදගත්ම අංගය ‘පරිකථා’ වෙයි. පරිකථාවකින් මූලික කොට දැක්වෙන්නේ මූලග්‍රන්ථයක තෝරාගත් පදයකට හෝ කථා පුවතකට විස්තරාර්ථ දැක්වීමයි. විටෙක එය අපේ ඉතාම විශිෂ්ට වූ විචාර ක්‍රමයකි. පරිකථා කරුවා මුල් කථාව සිත් සේ විචාරයට ලක් කරයි. මහාචාර්ය ආනන්ද කුලසූරියට අනුව පරිකථාව යම් රචනාවක දුරවබෝධ පාඨවලට විස්තරාර්ථ දැක්වීමකි. ඒ අනුව පරිකථාව වැඩිදුර විස්තර කිරීමකි.

සද්ධර්මරත්නාවලියෙන් පසුගිය සතියේ අප ඔබට පරිකථා කළේ සූවිසි විවරණයයි‍. මෙය සද්ධර්මරත්නාවලිය විශිෂ්ට ග්‍රන්ථයක් බවට පත් කරලීම පිණිස කළ යහපත් සමාරම්භයකි. ධර්මසේන හිමියෝ නිරතුරුවම ධර්මදේශකයෙකි. උන් වහන්සේ ගේ දේශනා පිළිවෙළ වර්තමානයට ද යාවත්කාලීනය. වත්මන් දේශකයෙකු එක් වරම මාතෘකාව විවරණයට බසින්නේ නැත. ඕනෑම දේශකයෙක් බුද්ධාලම්බන ප්‍රීතිය ශ්‍රාවකයාගේ සිතෙහි රැඳවීමට බුදුගුණයන්හි අගය වටහා දෙන්නට ක්‍රියා කරති. ඒ ඔස්සේ බුදුහිමියන් කවරෙකු ද යන්න ශ්‍රාවකයා වටහා ගනී. මේ අනුව ධර්මසේන හිමියන් කථාවේ ආරම්භයට චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව විමසීම ආරම්භ කළා නම් කෘතියෙහි පූර්වාපර සන්ධි ගැළපීමක් නොමැත. එවිට මෙම කෘතිය උසස් කෘතියක් වන්නේ නැත. එබැවින් බුදු කෙනෙකු ලෙඩ පහළ වන්නේ සූවිසි බුදුන් වෙතින් ලද විවරණයෙන් පසු ආරම්භයේ විවරණය අනතුරුව දෙව් ලොව සිට මනු ලොව වැඩි ගමනේ සිට පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතය ලුහුඬින් දැක්වීම කතුවරයාගේ අභිප්‍රායයි. ඒ අනුව අපගේ අවධානය මෙතෙක් යොමු නොවූව ද මෙහි එන බුද්ධ චරිත සංග්‍රහය ද ඉතාම වැදගත් පරිච්ඡේදයක් ව තිබෙයි.

එය ඇරඹෙන්නේ මෙසේ ය.

කාලො තෙ මහාවීර - උප්පජ්ජ මාතුකුච්ඡියං

සදේව තං කාරයන්තො - බුජ්ඣජ්ජු අමතං පදං

යනුවෙන් තුසී දෙව් ලොව වැඩ සිටි බෝසතුනට දස දහසක් සක්වළ දෙවිබඹුන්ගේ ආයාචනා වෙති‍. මහාවීර්ය මවු කුසක උපදින්නට ඔබට මේ කාලයයි. උතුම් බුදු බව ලබා දෙවියන් සහිත ලෝකයා සසරින් එතෙර කරන්නැයි දෙවියෝ අයැද සිටියහ. එම අයැදුම පිළිගත් බෝසතුන් මහාමායා දේවීන් කුස පිළිසිඳ ගෙන වැඩෙන්නේ ‘දවාණ කරඬුවකට වඩාල රන්පිළිමයක්’ මෙනි. එසේ පිළිසිඳ ගත් බෝසතුන් මවු කුසෙන් බිහිව කලාවෙන් කලාවට වඬනා සඳ පරිද්දෙන් වැඩිවිය පැමිණි අතර රම්‍ය සුරම්‍ය සුබ නමැති මාලිගා තුනෙහි වැඩෙන්නේ ශක්‍ර සම්පත්තියට අපහාස කරන්නාක් මෙනි.

සතර පෙරනිමිති දුටු බෝසතාණෝ සන්සුන් පියෝ ඇති මහණරුවක් දැක මහණ වීමෙහි රුචි උපදවා උයන් කෙළියට ගිය කල්හී බිම්බා බිසවුන් රහල් කුමරුවන් වැදූ නියාව දැන සුදොවුන් පිය රජුගේ අස්න අසා ‘දරු පෙම නම් බලවත් දෙයක, පුත්‍රපුති ලාභයට වඩා ශ්‍රාවණ්‍යඵල ප්‍රතිලාභය උතුම්, තවද මූ එකම පුතණු කෙනෙක් වේද මහභිනික්මන් නික්ම බුදු වුවහොත් අසංඛ්‍ය ගණන් දරුවන් ලද හැක්ක යැයි සිතා” මහාබිනික්මනට අදිටන් කළේ ය.

එසේ සිතා සපිරිවරින් මාලිගාවට එන ගම‍නේදී නිබ්බුතා නූන සාමාතා, නිබ්බුතා නූන සො පිතා... ආදී වශයෙන් එක් සොයුරියක නිවී ගියේ ය, සැනහී ගියේය යන වදන් තුළින් ජවයක් ලබා නිවී නිවෙන්නට සිතා වටිනා මුත්හර ගලවා ඇයට තෑගි කොට මාලිගාවට පැමිණ නිදන්නට වන. එහිදී නිදන නැටූ ගෑනුන්ගේ දත්කෑම් ආදී වූ නොයෙක් විකට දැක ගිහි සැපතෙහි ඇලුම් හැර සන් මහ ඇමැති පොබයා සෛන්ධව අශ්වයා පිටට‍ නැඟී අනන්ත වූ දෙවි බඹුන්ගේ පූජා සත්කාර ලබමින් ‘සර්වඥතා ඥාන නමැති අසු පිටින් තෘෂ්ණ නමැති මහ ගඟ පැන’ ඝටීකාර බඹුගේ අටපිරිකර ලබා බෝසත් තවුස් දිවිය ඇරඹීය.

එහිදී බිම්සර රජුගේ රාජ්‍යත්ව ඇරයුම් පිළිකෙව් කොට එසේ නම් බුදුවලා අනෙක් නුවරකට නොවැඩ අපගේ නගරයට වැඩිය මැනවැයි කළ ආරාධනාව පිළිගෙන දුෂ්කර ක්‍රියාවෙන් මිරිකී ගිය ශරීරය මධුරාහාරයෙන් පිනවා සුජාතාව පිදූ කිරිපිඬු ද පිළිගෙන වළඳා බුදුවන නියාව විමසන්ට තලිය උඩුගං බලා යවා ඒ නිල්තරා හෝ බඩ සල් උයන්හි කල් ගෙවා සොත්ථිය බමුණාගේ හීතණ රැගෙන බෝ මැඩට වැඩ ඊතණ අතුරුවා බුදුව මිස නැඟ‍ී නොසිටිමි’ යි තරව අදිටන් කළේ ය. එවිට යෙළ සියයක් යොදුන් දිග ඇති ගිරිමෙවුලා ඇතු පිට පැමිණි වසවත් මරු සමතිස් පැරුම් නමැති යෝධ භටයන් තිස් දෙනා වෙතින් පලවා හැර ත්‍රිවිද්‍යාවන් උපදවා බුදු වූහ. සත් සතියක් එහි ගෙවා සෙවණ දුන් වෘක්ෂයට තම කෘතවේදිත්වය පළ කොට මහ බඹනුගේ අයදමෙන් බණ දෙසනු කැමතිව බුදු ඇසින් බලා පළමු කොට කවුරුන්ට බණ කියම්දෝහෝයි බලා පස්වග තවුසන්ට ම උපකාර කිරීම කෘතෝපහාරයකැයි දැන බරණැස ඉසිපතනයට වැඩ තමන් බුදු වූ නියාව වදාරා දම්සක් සුතුර දෙසා කොණ්ඩඤ්ඤ තවු‍සන් සෝවාන් ඵලයට පත් කළ සේක.

එදිනට යස පිරිස පැවිදි කරවලා දම් සැරියෙහි යවා තමන් උරුවෙලාවට වඩිනාතුර අතරමගදී ‘තුණ්ඩිල ජාතකයෙහි හුරුව උපන් බෝසතුන්ගේ හූරු තුඩින් කියාලු බණ අසා සැට දහසක් හවුරුදු පන්සිල් රැකි රාසොඳුන් තිස භද්දවග්ගිය කුමාරවරුන් ද පැවිදි කරවාලා, තුන්බෑ දුළුල්ලන්ගේ (ජටිල) දෘෂ්ටි නමැති අඳුර පෙළහර නමැති හිරුරසින් දුරු කොට බිම්සර රජුගේ ගෙට වැඩියහ. රජුට දහම් දෙසා සෝවාන් කරවා වේළුවනාරාමය පිළිගත්තේ ය.

සුදොවුන් රජුන්ගේ පණිවිඩ රැගෙන පැමිණි දූතයන් එය අමතක කරද්දී, කාළුදායි නම් ඇමැතියා ‘රාජපක්ෂපාත කෙනෙකුන් අත්ලස් ලෝභයෙන් අත්ලස් හැරගෙනත් රාජපක්ෂපාතකමින් ගිය මෙහෙවරක් නොවරදවන්නා සේ” බුදුනට ආරාධනාව පිළිගැන්වී ය. කිඹුල්වතට වැඩි ගමනේ ‘මේ සිද්ධාර්ථ කුමාරයාණෝ වයසිනුත් නෑකමිනුත් අපට බාලයෝය වයස බාල වුවත් නෑකම හෝ ම‍‍ූකුරා සිටිය මැනව එලෙසකුත් නැති කලට අපි නොවදුම්හ තෙපි වඳුවයි බාල බාල නෑයන් ලවා වන්දවා තමන් හැම නොවැඳ මාන කොට සිටි කල්හි” ඔවුන්ගේ මන් බිඳින්නට කිඹුල්වත් පුර අහසේ රුවන් සක්මන මවා යමා ‍මහපෙළහර කොට ‘මී පැණිත් පිපාසායෙන් නොහිදෙන්නවුන්ට ශර්කරා පැන් වත් කරන කලක් වෙත්’ බුද්ධවංස දේශනාව වදාරා පියරජු පිළිගැන්වූ නුගාශ්‍රමයෙහි එක් වසක් වැඩ වදාරා දෙව්රමෙහි දහනම වසක් ද, පූර්වාරාමයෙහි වස සයක්ද, වශයෙන් පස් විසි වසක් වැඩ වදාරමින් ලෝසසුන් වැඩ වැසූහ.

අනේපිඬු හා විශාඛා මේ වෙහෙරට වන් කල කුඩා වහන්දෑවරුන් ‘කිරිබොන දරුවන් ම‍ෑණියන් දුටු කල කිරට එලෙන්නා සේ ගෙනා සේ කිම්දැයි විචාරන සේක් සිසතින් නොගියවිරූහ.” පෙරවරු අවුළුපත් ද පස්වරු ශර්කරා ආදී පානයන් ද රැගෙන යති. භික්ෂුහු දෙදහසක් දෙමාලිගාවේ එක් දිනක වළඳති. වළඳන්නට කැමති කැමති දෑ ‘අනාථ පිණ්ඩික කප්රුකින් හා විශාඛා කල්පලතාවෙන්’ පසුවෙයි.

මෙසේ වැඩ සිටිමින් ද බොහෝ තැන් සැරිසරමින් ද කළ දෙසුම් හා ඊට අදාළ පුද්ගල තොරතුරු එතැන් සිට විවරණය කරන්නට දම්සෙනෙවියෝ උත්සුක වෙති. සමාරම්භ කථාව චක්ඛුපාල තෙරුන්ගේ කථාව වන අතර අවසන් කථාව දේවංගික බමුණානන්ගේ වත දක්වා කථා 308 ක් පුරවා අවසන ඉතා මනහර වූ මංගල සූත්‍ර අටුවාව දක්වති. ලබන සතියේ සිට අපි ඔබට කථා පරිකථා කොට රැගෙන එන්නෙමු.

Comments