
සයුර
මෝදු වන ළහිරු රැස්
පොල් රුප්පාව
කෙළවරින් විත්
පෙරළෙන රළ හා
ගැටෙන විට නැඟෙන
සුදෝසුදුවන්
පෙණපිඬු
ඈත දියඹට
ඇදෙන ඔරුවක
රුවල හා මුසු වූ
සුළඟ හා එක් වී
මගෙ දෙපයට
ගෙනෙන්නේ
සිසිලසකි
මනෝජි අනුෂ්කා
සඳ තාම එතනයි ....
ගෙවා ගොස් මහ දුරක් තනිවම
හැරී බැලු විට දුකින් පසුපස
හිරු තාම එතනයි..
රැඳෙනු බැරි ළඟ තබා පරතර
සඳ තාම එතනයි.....
තරු එළිය පලවා හැරපු සඳ
දෙන්නෙ හිරුගේ එළියමයි
ඒ නමුත් සැමදාක ඒ හිරු
ඉන්නෙ දන්නැති වාගෙමයි ...
හිරු තාම එතනයි .....
සඳා තනිකම උරුම ඉර සඳ
කොතෙක් මැව්වද ලොවට කවි පද
සෑමදා මේ නිසල අහසට
සඳ එන්නෙ තනිවයි ......
හිරු එන්නෙ තනිවයි .....
හිරුත් සඳ එක ලෙසින් එකවිට
නැඟුණ හොත් ගිනි ගනී ලෝකය
ඒ නිසා ඒ ලොවට බියවී
සඳ ඉන්නෙ තනිවයි ....
හිරු ඉන්නෙ තනිවයි ....
ජගත් ප්‍රසන්න කුරුගම
බඹරකු හැඬුවා
එළඹුණු වසන්තය ළඟ මල් සුවඳ සොයා
ගී හඬ නඟා බඹරකු අසලකින් ගියා
පැහැයට නොරැවටී මකරන්දයම සොයා
ඌ තව තවත් ගැවසිණි ඉවතකට නොයා
අලුයම පිපෙන විට හිරුමල එළිය දිදී
සුපුරුදු පරිදි බඹරෙක් ඇත උයනේ රැඳී
සංගීතයක් මුමුණා සිත්වලට ළැදී
බඹරා සිතේ ඇඳි සිතුවම සොයන ලදී
තිබුණත් ගලා යන තරමට මකරන්ද
කටුවක් තිබේ සොබා දහමින් බැන්ද
ඉවසා බැරිම තැන බඹරිඳු සිත බැන්ද
හෙමිහිට ළං වුණා පාමින් මන නන්ද
පැණි වැගුරුණත් පෙති අග ඇති සිනාවේ
සංවේගයක සලකුණුමයි ගෙනාවේ
වැටහී නොගිය හින්දා මං මුළාවේ
බඹරා නඟන ගී ඇත හුදෙකලාවේ
නොපනත් පනත් කෙරුමට බඹරිදුට සිතී
පෙන්නා බලන්නට සිතුණා බලය ඇතී
ඒ වන විටත් විසිරුණු ජීවයක් නැතී
ගස මුල තිබෙයි පොඩි වී බිම වැටුණ පෙතී
සෝමරත්න හරස්ගම
ඉසිඹු කිම පල වාරු නැති කල
දැරූ මෙතෙක් මහ තනතුරු නිලතල
සුළඟේ පා වී සිහිනෙක සැඟවිණ
තිස් වසරක් දැරු සුවිසල් නිල බර
බර නොදැනිණිදෝ සුව බිමින් තැබූ විට...
කාලය වියතකි වින්ද ඉසිඹු සුව
දෙගුණෙකි දැනුණේ මහමෙර දිවිබර
රත් වී ගෙන එයි මහ දෙවි පඬුපුල
විසි වී ඉවතට හාන්සි පුටුවද
සිටගත් රිද්මෙට පා පහරක් වැද..
යළිදු පහන් දොර ගෙදරින් ඉවතට
කහවණු සොයනට තනතුරු ලැබුමට
පණස් පහෙන් බැරි නම් හැටකින් හෝ
ලැබු විශ්‍රාමෙට ඔච්චම් කරමින
නිලතල තනතුරුවල ආඩම්බරකම්
යට කොට සියල්ල ඒ මසු පොදියට..
වගකීමක බර කර මත දමාන
යළි දිව යන යුරු තනතුරු පසුපස...
නර කෙස පෑදිණි - නොමැදපු ඇඳුම ද
දෙ-රෝදයක් වී නිල වාහනයද...
බෝනස් බටාවට ටටා කියා ඇත
වැටුප තනි වෙලා දිනයට මාසෙක
නිල ලත් දිවියට ඉසිඹුව තැබුවත්
නොනිල දිවියෙ නිල විශ්‍රාමය ගැන
සිතනට වුව දැන් ඉසිඹුව කොහි වෙද..?
සරත් කුමාර වික්‍රමගේ
ඇඳුමක්
ඉස්ත්‍රික්කයට කියයි
තැළුණු පොඩි වුණු තැන්
(පිරි)මදින විට
පිච්චෙන තරම්
හදවත
අනුසාර මාහිංගොඩ
ඔළුවට ගැහීම
හුචු... හුචු... ගගා හඬන
වැස්ස..
පිපි හිනැහී
වැනෙන..
පෝච්චියක මතුව එන
මහනෙල් මලේ...
සිරසට ම
පහර දී...
පොලීසියේ....
විනයානුකූල
සංග්‍රහ වින්ද,
සරසවි
සිසුවකු
සේ,
බිම වැටී...
තාමත් වැසි වැටේ
සිනා සී මතු වන මල්
තළා පොඩි කරමින්
චම්මින්ද වෙලගෙදර
බාල ළමා
සුන්දරයි හරි ලස්සනයි
දරු පැටවු අවිහිංසකයි
උන්ගේ ලෝකය උන්ටමයි
කවුරු කවුරුත් දත යුතුයි
විටෙක සතුටින් සිනා සෙයි
විටෙක හඬමින් ඉකි ගසයි
හඬන හිනැහෙන ලෝකයේ
නෑ ඔවුන් සිත වෛරයක්..
පුංචි ලෝකය දරුවගේ
සතුට පමණයි එහි අගේ
නොසිතලා කරදර වගේ
අගයමු වැඩ දරුවගේ..
ජයසේන කොඩිතුවක්කු
නුඹයි... තාත්තේ...
ඉතිහාස පොතේ පිටු අතර
වැඩසිටි කාලිදාස
නුඹයි... තාත්තේ
කවි රැස් වීදුවමින්
ඔබ කවි ලියන සැටි
පැටිවියේ සිට
අපි බලා උන්නේ
විස්මයෙන්....
හද කොවෙහි
ඉසියුම්ව ගලා යන
සියලු දුක්ඛ දෝමනස්සයන්
සුදු ඩිමයි කඩදාසියක් මත
පුරණ සැටි
අප බලා සිටියේ හරි විස්මයෙන්..
ඔබ ගත් කවි මඟම
අප රැගෙන ගිය අපූරුව..
ඔබ නික්ම ගොස්
තිස්නව වියක් ඇවෑමෙන් වුව
ඔබේ කවි කැකුළු
අපේ ජාන මත කැටි වෙවී
ලේ මුසුව ගලා යන සැටි අදටත්
ඒ කවි සුවඳ
හද බිතෙහි මමියක්ව..
නිහාල් ගුණවර්ධන
බුදල්මි
බුදල්මි
ඔබ සොයා ආවෙමි
බොහෝ දුර බැහැර සිට
අසා ඇත්තෙමි කැටපත් පවුර ළඟ
ඔබ කවි ලියන වග...
මම දනිමි සැක හැර
ඔබ සීගිරි ලියන්නට
සෙනෙහස නුපුදනා බව
ඔබේ හද තුළ මා හැර
වෙන අයකු නොමැති වග...
අතීතය වත්මන වී
සෙනෙහසින් බැඳුණ අප වෙත
අනාගතය පලා ගිය බැව් දැන
හඬා වැටුණා මතක ඇති...
අද ද ඔබ දුර ගොස්
මා අතහැර දමා සදහටම
දුක පිරුණු එක් කවක් වත්
නොලියාම කැටපත් පවුර මත
කමලා ධර්මලතා ජයසූරිය
රත්තරන්
ඇගේ ගෙලේ බැබළෙන්නේ
අපෙ රත්තරන්
ඇගෙ ගෙල වට සරසන අප
ශ්‍රමය ඉස්තරම්..
ඇයට කොයින් රත්තරන්
අපට හොරා මිට මොළවා
ගනිපු රත්තරන්..
ආකරවල වැඩ කෙරුවේ අපි
දෝනා අග බඩ ගෑවේ අපි
මඩ මිරිකා රන් පෙරුවේ අපි
රන් ගෙනෙතැයි ගෙල දික්කර බැලුවාට
නැතේ රන් දෝණි දීගෙක යන කලට
නාඬන් රත්තරන් නුඹ නැති දේට
නුඹත් රත්තරන් අපි රජ වුණු දාක
විමලදාස මුදාගේ
මා කැලඹු නිලුපුල් දෙනෙත්
මත් වුණි රසින් නරඹන හැම විටම වගේ
සිත් දෙයි බලන්නට තව තව දැනෙයි අගේ
ඇත්තම තමයි මිහිරකි රසඳුනකි හැඟේ
නෙත් නිලුපුලින් කැලඹුණි සුන්දරිය තිගේ
සඳුනැති රැයක නුබ මැද රන්තරු දෙකකි
කඳුකර මැණික් පතලක නිල්මිණි දෙකකි
සිඳු මැද කිඳුරු විමනක එළිවැට දෙකකි
සොඳුරිය තිගේ නෙත නිලුපුල් මල් දෙකකි
පා මඳ සිනා ආදර රසඳුන් ගැල්මෙන්
කෝම ද කිය-කියා අහනව මෙහි බැල්මෙන්
නෑ අද සිතක් යන්නට අන් තැන බැල්මෙන්
මා බැඳ තබයි තී නෙත්නිල්මිණි කැල්මෙන්
රසවත් පෙම් හැඟුම් මතු කරවමින් නෙක
හදපත් ලෙන් නැඟුණු සොම්නස අහිංසක
ගුණවත් චාම් බව යන දෑ එකින් එක
මුසපත් වුණෙමි තිගෙ නිලුපුල් නෙතින් දැක
නිම්මී නමැති නිළියගෙ නිලුපුල් ඇසට
පෙම් කළ රසවතුන් ගැන කිව හැක යසට
උන් දුටුව නම් දෙනෙතක් පෙර මේ ලෙසට
සුන්දරියක් කොහිද අද මගෙ කවි රසට
නාගිස් සරෝජා මීනා මදු බාලා
පෑ උස් රැඟුම් ලලිතා පද්මිණි මාලා
බෝලස් සහ රාජ කුමරී හෝ ලීලා
මේ ඇස් හමුවේ යනු සැක නැහැ පැරදීලා
තිස්සෙම හෙළන නුවනග බැල්මෙන් මදුර
පිස්සකු වී සිටිමි දුක් කරදර දුරැර
ලස්සන ජීවිතය රසවත් කළ නිතර
ඇස් දෙක තිගේ නිලුපුල් මල්මය සොඳුර
සුමන අක්මීමන
(ප්‍රකට කවියකු වූ සුමන අක්මීමන කිවිඳුන් අභාවප්‍රාප්ත වී පසු ගියදාට 10 වසක් සපිරිණි. මේ කවි පෙළ කිවිඳුන් විසින් 1958 වසරේ 'සිළුමිණ' පුවත්පතට ලියන ලද්දකි)
අම්මා
පුරා සඳ රැස් ගලා එන්නේ
අම්මාගේ සිරියාවන්ත මුහුණ සිහි වේ
ඒත් මට කඳුළුම නැඟෙන්නේ
අට ලෝ දහම ගැන අටුවා ටීකා දත්
බවයෙන් බවය හිමි වන්න ඇති
ඒ තරමටම අහිමි වන්නත් ඇති
කිරි කඳුළක් පොවා මා දැඩි කරන්නැති
අතින් අල්ලන් හැකි හැම තැන යන්නැති...
චන්ද්‍රාණි වික්‍රමසිංහ
ඔබ එනවා නම්
අඳුරු ගුහාවක
බොහෝ කල් ගියත්
එළිය ළඟදි දලුලන
මන් ඔබ එන තුරු
බලා හිඳින්නම්..
මල් පෙති අස්සෙන්
ගලා එන
සඳ එළිය ලෙසින්
පිනි බිඳු සලමින්
හමා එන මඳ පවන ලෙසින්
ඔබ එනවා නම්..
කිරිල්ලියක දැක හඹා එන
කුරුල්ලකු ලෙසින්
තුරු බදට ළංව
තුරු බඳට ළංව වෙළා ගත්
මුදු ලියක ලෙසින්
ඔබ එනවා නම්..
සඳරුවන් කරුණාතිලක
නිල්වලා
සැඳෑ වලාවේ සඳ කැන්
සෙමෙන් පා වෙනා
නිල් දිය හැපී හඬයි
සඳ සිසිල සොය සොයා...
පා වෙලා නොයන් සඳේ
මේ ගං කුමරි නිල්වලා...
පෙම් ආත්මකයක බැඳි පෙම් කව
සිතුවමක් වෙලා
කැටයමක් වෙලා නිල් දිය රළ
මතට පා වෙලා
විහඟ ගී සරින් මිහිදිය
දැහැන්ගත වෙලා
මේ රාත්‍රියම මනරම්
පෙම් ගීතයක් කළා
නෙලුකා සංජීවනී ප්‍රනාන්දු
ඔබ දුර ඈතයි
අනේ ඇත්තමයි
ඔබ මගේම වුණා නම්
හිතන්නට තිබුණා මට...
ජීවිතය ගැන..
ඔබ මගේ නෙවෙයි
හරිම ඈතයි..
පෙර දවසකදි
ඔබට නොතේරුණු
අද දවසේදී
මට ද නොතේරෙන
මගේ කඳුළු හිත
කාට කියන්න ද..?
අනේ ඇත්තමයි..
ඔබ මගේම වුණා නම්
හිතන්න තිබුණ මට
ජීවිතය ගැන
මීට වඩා.
ඒත්...
ඔබ...
...?
සුදර්ශන බියන්විල
ළය මඬල
උල්පතක ජීවයක්
ලදිමි මනු ලොව ප්‍රාණයක්
රත් රුහිරු දාමයක්
නොවේ පණ නළ සමඟ කාලයක්
අපෙ රූ අසිරි සැම
රැඳෙයි නිතියෙන් ඔබ ළඟ
සිහිනයෙන් වත් ළැම
නොහැර යයි කිසිවිටදි සියොලඟ
අපේ රූ අසිරි සැම
රැඳෙයි නිතියෙන් ඔබ ළඟ
සිහිනයෙන් වත් ළැම
නොහැර යයි කිසිවිටදී සියොලඟ
සිත් අතර සැඟවුණු
කෙළිලොල් වියෙහි පිබිදුණු
නුරා ගී වෑහුණු
මතක පෙම් පොත ගතෙහි ගිලිහුණු
ළය තුරුලෙ ඉපදුණු
සුවඳ දස අත පැතිරුණු
කය සමඟ වියකුණු
නුඹම වේ භව ගමන ගමන තෙරපනු
තුරුණු සිත ආලයක්
සසර බැඳ දෙන රාගයක්
කෙලෙස් මළ දාමයක්
නුඹම වේ සෝ සයුරු රාවයක්
සෂිණි සිරිවර්ධන
මතක සැමරුම්
එක් දහස් නවසිය හැට ගණන්වල සිට හැත්තෑ ගණන්වල අග භාගය දක්වා මගේ කල්‍යාණ මිත්‍රයා වූයේ කොටිගල සරත්චන්ද්‍ර ජයකොඩි බව අද මා සිහියට නඟන්නේ මහත් සතුටකිනි. පාසල් සමය පසු කොට රැකියාවක් අපේක්ෂාවෙන් සිටි කාලයේ සතියේ බදාදා දිනවල ඔහු මා සොයාගෙන පාදුක්ක සහල් ගබඩාවට එයි. ඒ වන විට මම එහි ගබඩා බාරකරුය. අපේ වරුවේ නිවාඩු දවස ගෙවී යෙදී තිබුණේ බදාදා දිනයටය. එහිදී ඔහු 'දිනමිණ' පත්‍රය ගෙන කියවා එහි අගකොටසේ අකුරු නැති තීරුවේ කවියක් ලියයි. මම ඊට සුදුසු පිළිතුරු කවිය ලියමි. මේ ආකාරයට දිනමිණ පත්තරයේ ඉඩ ඇති තීරුවල එදා අපි කවි ලීවෙමු.
ආචාර්ය පදවිය දක්වා ඉහළට ගිය විට මට ඔහු හමු වූයේ කලාතුරකිනි. මේ කවි පෙළ සරත්චන්ද්‍ර ජයකොඩි කවියා 1974 වර්ෂයේ ජූනි මාසයේ 18 වැනි දින මා වෙත තැපෑලෙන් එවන ලද්දකි.
සටහන - ජයසේකර මලවිආරච්චි
සාදරයෙනි...
හතළිස් ගණන් වැනි ඉපැරණි යුගයේදී
නිජ කිවිකම් කුසල් කෙත කිරිවැද පීදී
කටයුතු කරන අද මගෙ හිතටද යාදී
ජයසේකර මහත්මාණෙනි හිත වාදී
ඔබ දුන් ලිපිය හංවැල්ලෙන් තැපෑලට
ආවා පියේ මෙහි නියමිත වෙලාවට
පස්සේ නිහඬ වූ යන ටික බැලූ විට
හිතුණා පියේ ඉකි බිඳ-බිඳ හැඬීමට
දවසට දෙ-තුන් වර ඔබ ගැන සිහි වෙනවා
එතකොට ළයෙන් මල් සුවඳක් විහිදෙනවා
සිතුවිලි බඹර පොදි ඉහිරෙනවා
ලේ පැහැ තෙතක් ගුමු දී දෑසෙහි එනවා
හමු විය යුතුම හොඳ මිනිහෙකු හමු වීමෙන්
මේ ටික කියන්නෙමි හිතවත්කම නාමෙන්
ජයසේකර මහත්මාණෙනි වෙනදා මෙන්
ජීවත් වෙමු ඉතින් අපි සොහොයුරු පේමෙන්
තරගෙට සැලෙන සමනල බඹර දැල් ඉහේ
දොරකඩ සුවඳ රොන් සුනු සලන මල් ගහේ
සිරි නරඹද්දි මින්දද විදින උල් පහේ
පෙළහර විණැයි ඇසුමෙන් මසිත ගල් ගැහේ
ලෝකය රසවත්ය එය විය යුතුය එසේ
රස දුටු තැනදි වියළේවා! කඳුළු ඇසේ
කොතැනක අපේ ජීවිත ගත වුවද කෙසේ
හිනැහෙමු පියේ පිපි මල් මෙන් එකැම ගසේ
යම් තම් ඉඩක් ලැබ ගත් විටදි පියේ
එමි ඔබ දකින්නට සෙනෙහස යුතුව ළයේ
පද හතරින් පෙරී උතුරන සුවඳ දියේ
කිමිදේවා පතමු මුණගැහෙන පැයේ
ජීවන රුවන් මඟ ගජ මුතු පරය බිඳ
රන් හුය අමුණමින් පොඩි දූ ගෙලෙහි බැඳ
පිය සොඳුරිය සමඟ ලොවුතුරු මිහිර විඳ
සැරදේවා පතමි සොහොයුරු සෙනෙහෙ කඳ
සරත්චන්ද්‍ර ජයකොඩි
මරණය සහ උපත
අතීතයේ අපි
ආගන්තුකයන්
නොවුණා නම්
උරහිස දෙන්නට තිබුණා...
දුක බෙදා ගන්න තිබුණා...
හිත හදා ගන්න තිබුණා...
කල්හාරි රූපසිංහ
දයාබර කවි කිවිඳියනි, අපේ පැරණි කවියන් පිළිබඳ මෙවැනි සොඳුරු මතකයන් ඔබ සතුව ඇත් නම් ඒවා අපට එවන්න.
ඉසවි
කවි කල්පනා, සත්මඬල,සිළුමිණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස්, කොළඹ 10.